ස්වෙත්ලානා


මම සුපුරුදු පරිදි ඇවිද යමි. පසුගිය වසර විසිපහ පුරාවටම හැමදාම හවසට ඇවිද ගිය පාරේ හැම අඟලක්ම මට මතකය. බඩ අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් අඩු කර ගැනිමට, සිතට දුකක්-ආවේගයක් දැනුනු විට , බිරිඳ සමඟ අමනාපව ඇයටම දිනුම දීමට අවශ්‍ය වූවිට වැස්ස හෝ තද ශීතල නැති හෑම හැන්දෑවකම ඇවිද ගියේ මේ මාර්ගය ඔස්සේය.
සුදු තීන්ත ගෑ ලී වැටක් ඇති කුඩා එහෙත් දැකුම්කළු නිවසේ පදිංචි වී සිටියේ රුසියන් ජාතිකයෙකි. ඔහුගේ නම දිමිත්‍රි බැව් ඔහු හඳුනාගත් දිනක මට කියා ඇත.
මිදුලේ ඔංචිල්ලාවකි. එහි පැද්දෙනවා වෙනුවට ලණු දෙපොට එකට ඇඹරී යන පරිදි එකම තැන කැරකෙමින් සිටි කෙළි පොඩිත්තකි.
” හලෝ හව් ආර් යූ ඩුයින්ග්?” කියා ගෙන ඔහු මා අසළට- වැට අයිනට ආවේය.
“මිණිබිරීද?”
“ඔව්.. ස්වීට්ලානා.”

“ලානා” යනු කෙල්ලකට ගැලපෙන කදිම කෙටි නමකි. මා දන්නා ලානා නම ඇති කෙල්ලන් කීප දෙනෙකි. උන්ගේ නම ලානා වූවාට නියම නම ස්වෙත්ලානාය. මා දන්නා හැම ලානාවක්ම ස්වෙත්ලානාවකි.
“ග්‍රෑන්ඩ් පා…. මම ස්වෙත්ලානා..ස්වීට්ලානා නෙවේ”
පොඩිත්තිය සිනාසුනාය. ඇගේ උඩු ඇන්දේ එක් දතක් වැටී ඇති බව මා දැක්කේ එවිටය.
” හරි.. ස්වීට් කියන්නේ ලස්සන.. ස්වෙට් කියන්නේ දාඩිය… ඔයා මගෙ ස්වීට්ලානාද ? එහෙම නැත්නම් දාඩිය ගඳ ලානාද?”
ලානා බිම බලා ගෙන ඔංචිල්ලාවේ ඇඹරුම දිග ඇරෙන්නට ඉඩ දී කුඩා දෙපා ඉහළට ඔසවා ගත්තාය. දිමිත්‍රි සුරුට්ටුවේ අග කතුරකින් කපා දමා නැවත දල්වා ගත්තේය.
“කෝ බබාගෙ පේරන්ට්ස්ලා?”
” නෑ කවුරුවත් නෑ. මම තමා මෙයා බලා ගන්නේ. මට මෙයා විතරයි. මෙයාට මං විතරයි”
රෝස පාට රවුම් මූණ විඩාවෙන් රතු වෙලා. ගෙතූ කොණ්ඩ කරල් දෙක ඇයට ටිකක් වැඩුමළ් පෙනුමක් එක් කලා. ඇය සමහර විට අම්මා වගේ වෙන්නැති. පවු.. අම්ම කෙනෙකුගෙ උණුහුම අවශ්‍යම වයස..
” ලානගෙ තාත්ත නම් කවුද කියල මම දන්නෙ නැහැ. මගේ දුව මට කිව්වෙත් නෑ. මම හාර අවුස්සන්න ගියෙත් නෑ.. දුව අපිව දාල ගියා.. හරියටම කියන්න බෑ කොහේ ඉන්නවද කියල”

“කොහොමද එහෙම උනේ. බලපන් මගේ කෙල්ලට දැන් විසි අටක්. වෙනම ඉන්නේ. මම හැමදාම කෝල් කරනවා. ඒයා ඒකට කැමති නෑ. ඒත් බැරිවෙලාවත් එක දවසක් කතා නොකළොත් මට සැර කරනවා ඇයි කතා නොකලේ කියල.”
“මගෙ දුවත් මට ආදරෙන් හිටියා. ඒ නිසාම තමා මට ඈ අහිමි උනේ.. එයාට ඕන උනා මට හොඳට සළකන්න”
දිමිත්‍රි ඔහුගේ කතාව දිග අරින්නට පටන් ගත්තේය.
මගෙ දුවගෙ නමත් ලානා.. ස්වෙත්ලානා. ස්වෙත්ලානා පොපොවිච්..
******************************************************
” ඩැඩී… ඉස්කෝළෙ ළඟදී මාව ඉඹින්න එපා..”
“අර මොකෝ?”
“මොකෝ තමයි. ළමයි මට හිනා වෙනව.. මම දැන් ලොකුයි. මම ලොකු ගෑණු ළමයෙක්..”
දිමිත්‍රි, කර ගැඹුරට කැපූ මේස් බැණියමක් වගේ සැට්ටයක් ඇඳ සිටි තම දියණිය දෙස ඕන කමින් බැලුවා.
“හප්පා. ඇත්ත නේන්නම්.. ” දිමිත්‍රි ලැජ්ජාවෙන් දෑස් ඉවතට ගත්තා.
“ඩැඩී.. සල්ලි ටිකක් වැඩිපුර ලැබුනාම මට ඇඳුම් කීපයක් අරන් දෙන්න පුළුවන්ද? මම ආයෙ ගොඩ කාලෙකට කරදර කරන්නෙ නෑ”
ලානා දැන ගෙන හිටියා මට හම්බ වෙන ගාණ. ඒක සොච්චමක්. ගෙවල් කුලිය ගෙවල, ලයිට් බිල්, ෆෝන් බිල්,ගෑස් බිල් ගෙව්වම ඉතුරුවෙන බම්බුවක් නෑ..
“ලානා.. මොකද මේ ඔයාගෙ ස්කූල් බෑග් එකෙන් කුණු ගඳක් එන්නෙ?”
” අනේ ප්ලීස්.. ඩැඩී මගෙ බෑග් එක අදින්න එපා”
” ඇයි ළමයෝ මම ආසාවෙන් හදල දෙන ලන්ච් එක කන්නෙ නැත්තෙ. මේ දවස් තුනකට ඉස්සර හදල දුන්නු ලන්ච් එක. කුණුවෙලා…”
ලානාට ඉස්කෝළෙන් හොඳ දිවා ආහාර වේලක් හම්බ උනා. නොමිළයේ. ඒ ලානලාගේ-දිමිත්‍රිලාගේ වාර්ෂික ආදායම අඩු නිසා. දොඩම් යුෂ වීදුරුවක්… පිස්සා කෑල්ලක් හෝ බර්ගර් එකක්, චීස් පෙත්තක් සමඟ ඇපල් ගෙඩියක්..
“ඩැඩී ඒව කන්න බෑ. ළමයි සේරම දැන ගන්නව අපි දුප්පත් කියල. මට මොනව හරි හදල දෙන්න බැරිද උදේට ?”
ඔන්න ඔහොමයි දිමිත්‍රි හැමදාම උදේට පාන් පෙති දෙකක් මැදට තක්කාලි පෙත්තක්, සලාද කොලයක්, මස් කෑල්ලක් තියල ලන්ච් එක හදල දුන්නේ.
” ඔයාට මොනවද වෙලා තියෙන්නේ. ඉස්කොළෙන් දෙන එක කන්නත් බෑ. මම හදල දෙන එක කන්නත් බෑ..”
“මට උදේට ඩොලර් දෙකක් දෙන්න පුළුවන්ද? චිප්ස් පැකට් එකක් කාල සෝඩ එකක් බීපුහම ඇති”
ඩොලර් දෙකක් දවසකට. එතකොට මාසෙකට අමතර ඩොලර් හතලිහක් පණහක් විතර.
********************************************************
” ඩැඩී.. මම හෙට ඉඳල බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලට ටිකක් හවස් වෙන තුරු ඉන්නවා. බය වෙන්න එපා..”
දිමිත්‍රිට ඇත්තටම බය හිතුනා. නරක වයස. කෙල්ල ක්‍රීඩා වලට වැඩි කැමැත්තක් නැති බව දිමිත්‍රි දන්නවා.
දවසක් ඉස්කෝළ් ඇරෙන වෙලාව අල්ලලා දිමිත්‍රි, ලානට නොදැනෙන්න පස්සෙන් ගියා…

ලානා..ස්වෙත්ලානා.. දිමිත්‍රිගෙ දුව .. පවු…අම්මා නැති කෙල්ල. ඉස්කෝළෙ ඇරිල කොහේද යන්නෙ කියල දැනගන්න.. කියවන්න “ස්වෙත්ලානා” හරියටම තව සතියකින්…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Responses to ස්වෙත්ලානා

  1. තඩිය පවසයි:

    පටන් ගත්තු තැනම නවත්තලනෙ…..හයියූ දැන් සතියක් ඉන්ට එපැයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න