Main Logo

Monday 19 March 2018

නයා නැටීම


නයා නැටීම



ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද?  ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්‍රේක්‍ෂකයො නයි නැටුම නටලා. මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ගම්වලත් ජනවර්ග සිටීම. සිංහල බෞද්ධයන් පමණක් හිටිය, එහෙමත් නැත්නම් වෙනත් සංස්කෘතීන්වල බලපෑමක් නොතිබුණු, අසන්නට නොමැති වුණු ගම්වල සිංහල බෞද්ධ කියන සංකල්පයට වැදගත් තැනක් තිබුණෙ නැහැ. එහෙත් දැන් හැම තැන ම සිංහල සංස්කෘතියට විරුද්ධකම් ඇති වෙලා. ඒ ගැන බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ගමෙත් සිංහල බෞද්ධකමක් ගැන අද හැඟීමක් තියෙනවා. නැති කම්කරු පංතියක් ගැන හිතමින් කම්කරු පංතියට ඊනියා පංති විඥානය ගෙන ගොස් කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බටහිර චින්තනයේ මාක්ස්වාදී ප්‍රවාහයේ දීන දාසයන්ට නම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පමණයි. ඒත් ඔවුන්ට ඒකෙ කිසිම නිර්මාණයක් කර ගන්න බැහැ.




සිංහල බෞද්ධයන් ඉන්දියාවට සුබ පතනවා ඇති. ඒ අස්සෙ පුටින් දිනලා දැන් ඔහු හතරවැනි වතාවටත් ජනාධිපති. 2024 වන තුරු ඉන්න පුළුවන්. මෙරට 2019 ජනාධිපති කවුද? එතෙක් ජනාධිපති ක්‍රමය තියේවි ද? ජෙනීවාහි දී ඉන්දියාව අපට පක්‍ෂ වේවි ද? ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රෝ ඔත්තු සේවයේ අය සිටිය ද? සිංහල බෞද්ධයන් සිද්ධියෙන් සිද්ධියට යන  පිරිසක්. සැලසුමක් නැහැ. සමස්තයක් ගැන හිතන්නෙ නැහැ. අර විශ්වාසභංගයට මොකක් ද වෙන්නෙ. ජ වි පෙ ඒකට අත්සන් නොකරන්න හේතුවක් හොයා ගෙන. හොරුන්ට විරුද්ධව රනිල් කිසිවක් නොකළ නිසා ඔහු ගැන විශ්වාසයක් නැති බව කියන්නලු. ජ වි පෙ නයා පෙන්නන්නෙ කාට ද? රනිල්ට වෙන්න බැහැ. මහින්ද කියනවා විශ්වාසභංගෙන් පස්සෙ  ඒකාබද්ධ විපක්‍ෂෙ ආණ්ඩුවෙ නිලතල ගන්නෙ නැහැ කියලා. ඒ මොකද? ඊට පස්සෙත් තියෙන්නෙ රනිල්ගෙ ආණ්ඩුවක් ද? එහෙම නැත්නම් 2019ට එහෙමත් නැත්නම් 2024ට සූදානම් වෙන්න ද? ඒ වන විට පුටින් කොහොම වෙතත් මෛත්‍රිපාල දේශපාලනයෙ ඉඳියි ද? ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංගෙ දිනයි ද? හැමෝම එකතු වෙලා දිනන්න උත්සාහ කරාවි ද? ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රනිල් ක්‍රියා කරයි ද?



කොහොමටත් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගෙන. ඒ තරගාවලියෙ අවසාන තරගයට එන්න ලංකාවට බැරි වුණා. මේ නිදහස් කුසලාන ලංකාවෙ ඊනියා නිදහසට හැත්තෑවසරක් පිරීම නිමිත්තෙන්. අප එහි අවසාන තරගයෙනුත් ඉවත් වෙලා. අප මහත්වරුන් නිසා අපේ නිදහස් කුසලාන ඕන කෙනෙක් ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා අප හිතුව ද? හතුරුසිංහ මහත්මයෙක් ද? අර කුමා මහත්මයෙක් ද? මගෙන් අහන්න එපා මොන කුමාද කියලා. සුද්දන්ට නම් ඔහු මහත්මයෙක්. ඔහුගෙ නම කුමාර්. ඒක ඉන්දියන් නමක්. එය ඉංගිරිසියෙන් ලියලා ශබ්ද කරන කොට ආර් ශබ්දය නැති වෙලා කුමා කෑල්ල විතරක් ඉතිරි වෙනචා. ඉන්දියන් කාරයො නම් ආර් හොඳට ශබ්ද කරනවා. සුද්දන් කියන්නෙ දිව රෝල් කරලා ශබ්ද කරනවා කියලා. ඉංගිරිසියෙන් පවර් කියන එක ශබ්ද වෙන්නෙ පව(අ) කියලා. ඒක අපේ පවක් ද කුමාගෙ පවක් ද? නැත්නම් ඉන්දියාවෙ පවක් ද? මටත් කුමාර් කෑල්ල තියෙනවා. ඒත් කවුරුන්වත් මට කුමා කියන්නෙ නැහැ. ජ වි පෙ සම්භවයක් තියෙන අය නම් මට නලින්ද කියනවා. ඒ නලින් කියන එකට ද සිල්වා කියන එකෙ ද කොටස එකතු කරලා. ජ වි පෙ හරි නිර්මාණාශීලියි.



අපට හුඟක් දේ ඉන්දියාවෙන් හරි ඒ ප්‍රදේශයෙන් හරි ලැබිල තියෙනවා. ඒත් ක්‍රිකට් ලැබුණෙ එංගලන්තෙන්. සමහරු කියනවා ක්‍රිකට් එංගලන්තෙට ලැබුණෙ ප්‍රංශෙන් කියලා. ඉංගිරිසි කාරයො ඒකට නම් කැමති වෙන එකක් නැහැ. ඒ ඔවුන් මහත්වරු හින්ද? ඔවුන් අදාළ ඊනියා මුලාශ්‍ර ඔවුන්ට වුවමනා අන්දමට සකස් කර ගෙන ක්‍රිකට් එංගලන්තෙ ම ඇති වුණු බව පෙන්නාවි. මේ මූලාශ්‍ර සෙල්ලම ඉංගිරිසින් ගණනාථගෙන් ඉගෙන ගත්ත ද නැත්නම් ගණනාථ ඒක ඉංගිරිසින්ගෙන් ඉගෙන ගත්ත ද? ක්‍රිකට් මහත්වරුන්ගෙ සෙල්ලමක්ලු. අද භාෂාවෙන් නම් ගේමක්.



ක්‍රිකට් ලංකාවට පුරුදු කෙළෙ රාජකීය විදුහල. පහුගිය දා රාජකීය ශාන්ත තෝමස් 139 වැනි තරගය පැවැත්වුණා. ඒ තරගයට එන විදුහල් දෙකේ ම ආදි ශිෂ්‍යයො මස්ටන්ග්ස් මඩුවට එකතු වෙනවා. මඩුව කිව්වට තරහ වෙන්න එපා. ඕන නම් සිංහලෙන් ටෙන්ට් එක කියලා කියන්න. එක් සිංහල මහාචාර්යවරයෙක් එක කියන නාම පදය වර නගලා පර්යේෂණ පත්‍රිකාවක් ලියලා තියෙනවා. මොන තරම් ශාස්ත්‍රීය අධ්‍යයනයක් ද? මස්ටන්ග්ස් මඩුවට මෙවර අවුරුදු සියයක් පිරුණා. ඒ සම්බන්ධයෙන් කේක් ගෙඩියක් ද කපලා තියෙනවා. ඒක කපලා තියෙන්නෙ රනිල්. ඔහු මහත්මයෙක්. ඒකට මහින්ද සාක්‍ෂි කියාවි. මා කියන්නෙ බටලන්ද ගැනවත් හොරු ඇල්ලිල්ල ගැනවත් නො වෙයි.



මෑතක් වන තුරු ක්‍රිකට් ක්‍රීඩා කෙළේ මහත්වරුන්. ඒ කියන්නෙ ඔවුන් වෘත්තියක් ලෙස ක්‍රීඩාව සැලකුවේ නැහැ. ටික කලකට පෙර මහත්වරුන් හා ක්‍රීඩකයන් අතර තරග පැවැත්වුණා. ඒත් දැන් ක්‍රිකට් අනෙක් ක්‍රීඩා වගේ ම වෘත්තියක් වෙලා. අර කුමාගෙන් අහන්න. දැන් මහත්වරුන් ක්‍රිකට් ක්‍රීඩාවෙ නැහැ. එවැනි මහත්වරුන් ඉන්නෙ ක්‍රීඩා විචාරකයන්ගෙ ඊනියා විස්තර ප්‍රචාරවල.



බංග්ලාදේශීයයන් අපට නයි නැටුම පෙන්නුවා. කී දෙනකු අප නටවලා තියෙනවා ද? අප දන්නෙ නයි අරින්න. බංග්ලාදේශ ක්‍රීඩකයන් මහත්වරුන් නොවෙයි කියලා වැඩක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙ මුදලට ක්‍රීඩා කරන වෘත්තිකයන් මීිස මහත්වරුන් නැහැ. සිංහලයන්ගෙ ජානවල වංග ජාන 25%ක් පමණ තියනවළු. විජය ආව කියන්නෙත් වංගයෙන්. ඔළිඳ තියෙන්නෙත් බංගලිදේශයෙ. ගෙනත් හදන්නෙ සිංහල දේශයෙ. ඔය හැම තැන ම තියෙන දේ ගෙනත් හදන්න සිංහල දේශය සුදුසුයි. අප මෞර්යය අශෝකගෙන් ලැබුණු බුද්ධාගම රැක බලා ගත්තා. ඉංගිරිසින්ගෙ ක්‍රිකට් රැක බලා ගන්නවා. එංගලන්තෙන් ක්‍රිකට් නැතිව ගියත් ලංකාවෙ ක්‍රිකට් තියේවි. අපි ඊයෙ ඉන්දීය ධජය වැනුවා. ඉන්දියාව අපට 13+ වනනවා. එට්කා වනනවා. ඉන්දියන් චිත්‍රපටි, වෙළෙඳ දැන්වීම් නැතිව අප රූපවාහිනි නාළිකා පවත්වගෙන යන්නෙ කොහොම ද? අපේ ශාස්ත්‍රීය නිර්මාණ ගැන මොනව කියන්න ද?. බුදුදහමටත් කිසිවක් එකතු කර නැහැ. පඬියකු කියන්න පුළුවන් බුදුදහමට එකතු කරන්න දෙයක් නැහැ කියලා. ඕනම නම්  අපි බුද්ධාගම කියලා කියමු. අපි ශීල්පීය වශයෙන් නම් නිර්මාණ කරලා තියෙනවා. අපි නැටවෙන අතර නයි අරිමු.