Main Logo

Saturday 17 March 2018

විශ්වාසභංගය



විශ්වාසභංගය


ඊයේ පළ වූ ලිපියෙහි එක් තැනක මෙසේ සඳහන් වුණා. “නන්දිකඩාල් ගැන කලකට පෙර දි අයිලන්ඩ් පත්‍රයෙහි ඉන්දියාවේ හිටපු හමුදා නිලධාරියකු ලියූ ලිපියක සඳහන් වූයේ ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් නොවූ නිසා බවයි.” එය  ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් වූ නිසා බවයි ඉන්දීය හමුදා නිලධාරියා කියා ඇත්තේ ලෙස නිවැරදි විය යුතු ය. මෙහි දී ප්‍රශ්නය වන්නේ ඉන්දියාව මැදිහත් වූයේ කෙසේ ද යන්නයි. ඒ බව පැහැදිලියි. වඩමාරච්චියේ දී මෙන් ඉන්දියාව උඩින් පරිප්පු හෙළුවේ නැහැ. ඉන්දීය සාම සාධක හමුදා එව්වේත් නැහැ. ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කෙළේත් නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වුණා. ඒ ඉන්දිය  හමුදා නොඑවා ලංකාවට කොටි පරාජය කිරීමට අවස්ථාව සැලසීමෙන් හා 13+ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව එකඟ කරවා ගැනීමෙන්. අපට නන්දිකඩාල්හි දී ලැබුණේ ආංශික ජයග්‍රහණයක්. අදත් මහින්ද 13+ දෙන බවට ඉන්දියාවට වූ පොරොන්දුව තියෙනවා. දයාන්ලා වේදිකාවට අවතීර්ණ වූයේ ඉන් පසුවයි. මේ සම්පූර්ණ සිද්ධියේ දී ඉන්දීය ඔත්තු සේවය හා ආණ්ඩුවේ ම සිටි එහි මෙරට නියෝජිතයන් ක්‍රියා කෙළේ කෙසේ ද යන්න හෙළි වී නැහැ. 13+ ආවේ කා සමග ද? බටහිර නන්දිකඩාල්හි දී පරාජය වුණා. ඒ ප්‍රභාකරන් පරාජය කිරීම නිසා.  එහෙත් ඉන්දියාවේ අවශ්‍යතාව වූ ප්‍රභකරන් නැති දෙමළ ජාතිවාදයක් මෙරට ඇති වීම නන්දිකඩාල් ප්‍රතිඵලයයි. ඒ ඉන්දියාවේ ජයග්‍රහණයක්.




මෙය කිසිසේත් ම රණවිරුවන් අවතක්සේරු කිරීමක්වත් මහින්ද දුන් දේශපාලන නායකත්වය සුළු කොට තැකීමක්වත් නො වෙයි. මහින්දටත් වඩා කොටි පැරදවිය හැකිය යන ස්ථාවරයේ සිටියේ ගෝඨාභය. ගෝඨාභයට යුද සැලසුමක් තියෙන්න ඇති. ඒ හැරෙන්න වෙනත් අයගේ සැලසුම් තිබුණෙ නැහැ. එදා වෙනත් සැලසුම් ද තිබුණා යැයි කියන්නේ පුද්ගලයන් පුම්බන වංචනිකයන්.  නන්දිකඩාල් කලපුවේ දී ජයග්‍රහණය කෙළේ අප නොව ඉන්දියාවයි. එහි දී මූලික වූයේ මෙරට රෝ නියෝජිතයන්. අප තවමත් දෙමළ ජාතිවාදයත් සමග ජීවත් වනවා. එපමණක් නොව බටහිරයන් තම පරාජයේ වාඩුව පිරිමසා ගැනීමට රණවිරු දඩයමේ යෙදෙනවා. එහි දී රනිල් ආණ්ඩුවේ හිඳ තම කාර්යභාරය ඉටු කරනවා.



රනිල් ඉවත් කළ යුතුය යන හඬ අප එදා සිට ම නැගුවා. එහෙත් එයට ඇහුන්කන් දීමටවත් කවුරුන්වත් සිටියේ නැහැ. රනිල් ඉවත් කිරීමට මහින්ද ශක්තිය ලබා දිය යුතු ය යන්න පළාත් පාලන ආයතන ඡන්දයේ දී මෛත්‍රිපාල හා මහින්ද එකතු විය යුතු ය යන්න ලෙස විවිධ පුද්ගලයන් අර්ථකථනය කළා. මා කොහේවත් එසේ කියා නැහැ. ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමට යෑම තේරුමක් නැති වැඩක්. හොරට නිදාගෙන ඉන්නවුන් නැගිට්ටවන්න බැහැ. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දීම විවිධ ක්‍රමවලින් ක්‍රියාත්මක වන්න පුළුවන්. මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න පුළුවන් ව්‍යවස්ථාවට අනුව පමණයි. එබැවින් ව්‍යවස්ථාව අනුවයි ක්‍රියා කළ යුත්තේ. ඒ කිසිවක් සඳහා 2019 වන තුරු බලා ඉන්න අවශ්‍ය නැහැ. රනිල් 2019 වන තුරු සිටියොත් විවිධ දේ සිදුවන්න පුළුවන්. ජනාධිපතිවරණයක් නොඑන්නත් පුළුවන්.



විශ්වාසභංගයත් රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමේ එක් ක්‍රමයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංගයකින් රනිල් ඉවත් කරන්න නම් එය රනිල් අගමැති ව ඉන්න ආණ්ඩුවට එරෙහි ව 48(2) අනුව්‍යවස්ථාව යටතේ ගෙන එන්නක් විය යුතුයි. විශ්වාසභංගය සම්මත වුවහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙන අතර ජනාධිපතිට වෙනත් අගමැති කෙනකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. එවිට පිහිටුවන ආණ්ඩුවේ සමහර ඇමතිවරු මේ පවතින ආණ්ඩුවේ ම ඇමතිවරුන් විය හැකි නමුත් නව ආණ්ඩුව වෙන ම ම ආණ්ඩුවක් වෙනවා. ඒ ආණ්ඩුවේ ඇමත ධුර භාර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයට ප්‍රශ්නයක් වන්නේ නැහැ. නව ආණ්ඩුව මේ ආණ්ඩුවේ පව් කරගහන ආණ්ඩුවක් නො වෙයි. මා නම් බලාපොරොත්තුවන්නේ භාරකාරසම ආණ්ඩුවක්. එයින් කළ හැකි දේ ගැන මා කලින් සාකච්ඡා කර තියෙනවා



මා දන්නා ආකාරයට විශ්වසභංගයේ වගන්තියකින් රනිල් අගමැති ධුරය දරණ ආණ්ඩුවට විරුද්ධ ව ගෙන එන්නක් බව කියැවෙනවා. එය එසේ කෙටුම්පත් කර තිබීම හොඳයි. එහෙත් ඒ වගන්තිය සන්දර්භයෙන් බාහිර ව ආණ්ඩුවට විරුද්ධව ගෙන එන්නක් බවට උලුප්පා අර්ථකථනය නොකළ යුතුයි. රනිල් ට වක්‍රව ආධාර කරන රෝ නියෝජිතයන් ආණ්ඩුවට විරුද්ධව යන්න ඉස්මතු කර විශ්වාසභංගය කඩා කප්පල් කිරීමට ඉඩ තියෙනවා.



ඒ ගැන ඉතා පරෙස්සමෙන් ඉන්න වෙනවා. එයට අමතර ව විශ්වාසභංගය ගැන කරුණු කිහිපයක් කිව යුතුයි. කීකරු ජයසූරිය මෙහි දී කෙසේ ක්‍රියා කරාවි ද? ඔහු රනිල්ට නැවතත් කීකරු වේවි ද? විශ්වාසභංගයට අත්සන් කරන එ ජා ප මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කර ගන්නේ කෙසේ ද? විශවාසභංගය න්‍යාය පුස්තකයට ඇතුළත් කරයි ද? එය ඇතුළත් කර ගන්නේ කෙසේ ද? රනිල් කිනම් බලපෑම් කරයි ද? අවසානයේ දී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගන්නේ කෙසේ ද?



යම් ආකාරයකින් විශ්වාසභංගය සම්මත වුවහොත් ඒ මගින් රනිල් එ ජා ප නායකත්වයෙන් ද ඉවත් කරන්න හැකි වෙනවා. එය එ ජා පක්‍ෂයේ කටයුත්තක් බව ඇත්ත. එහෙත් රනිල් සමස්ත දේශපාලනයෙන් ම ඉවත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කෙසේ වුවත් විශ්වාසභංගය අතුරේ යෑමක් පරෙස්සමෙන් යා යුතුයි.