Main Logo

Friday 9 March 2018

දීර්ඝ ගමනක අවසානය


දීර්ඝ ගමනක අවසානය



අද හැම තැනක ම වගේ ඇහෙන්නෙ සාම කතා. සාමය නැත්තෙ සිංහල බෞද්ධයන් නිසා කියන කතා. සිංහල බෞද්ධ උගතුන් යැයි කියන්නන් ඒවාට වටලප්පන් කතා කියනවා. අප වටලප්පම බෙදා ගන්නවා කියනවා. මෙරට ජාතිවාදයක් නැහැ කියලා හැමෝම වගේ අපට කියනවා. ඒ වුණාට කොත්තුව බෙදා ගන්නෙ නැහැ. කොත්තුවට වඳ පෙති දාලා කියනවා. බැලුව ම ඒක වඳ පෙත්තක් නොවෙයි. ඒක පිටි ගුළියක් කියලා කියනවා.


දැන් ඔන්න මහාසොහොන් බලකායෙ නායකය ව අල්ල ගෙන. ඒ තැනැත්තා හා ඥානසාර හිමියන් අතර සම්බන්ධයක් තියෙනවයි කියනවා. මා නම් කූඹියෝ නාට්‍යය බලන්නේ නැහැ. ඔය නාට්‍යයෙ කියන දේශපාලනඥයා කවුද කියලා දන්නෙ නැහැ. ඒත් අර හීන්දෑරි ජාතික ඇඳුම් කාරයා කවුද කියලා හිතා ගන්න පුළුවන්. ඒ තැනැත්තා මටත් කාගෙ දෝ ජාතික ඇඳුමක් අන්දලා නාමල් රාජපක්‍ෂට බුලත් අතක් දෙන ඡායාරූපයක් සකස් කළා. ඒත් ඒක මා අඳින ජාතික ඇඳුම නොවෙයි, දේශපාලනඥයන් අඳින ජාතික ඇඳුම. මට හීන්දැරි හාදයත් නාමලුත් දේශපාලනඥයන් දෙදෙනකු පමණයි. කිසිම දේශපාලනඥයකුට මා බුලත් දෙන්නේ නැහැ.


බොදු බල සේනා මහාසෝන් බලකාය හීන්දැරි හාදයා මේ ඔක්කොම මුස්ලිම් මූලධර්මවාදයක් ගැන කියනවා. පහුගියදා නැවතත් මූලධර්මවාද කතාව කියලා තිබුණා. මා ඔවුන් අනුගමනය කරන ක්‍රියා මාර්ග කිසිවක් අනුමත කරන්නේ නැහැ. ඒ සියල්ලෙන් සිදුවන්නේ පොදුවේ සිංහල බෞද්ධයන්ට අවාසියක්. හීන්දැරි හාදයාට අවශ්‍ය බලයට පැමීණීම මිසක් වෙනත් කිසිවක් නො වෙයි. ඔහු ඒ සඳහා සිංහල බෞද්ධයන් යොදා ගැනුීමට උත්සාහ කරන වංචනිකයකු පමණයි. 


මොවුන්ගේ ක්‍රියා මාර්ග අනුගමනය නොකළත් මෙරට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන් ඉන්නවා නම් ඒක අර පැස්බරා ඔළුව හංගගෙන ඉන්නවා වගේ වැඩක්. පැස්බරාට අඩුම තරමෙන් ඔළුවක් තියෙනවා. සිංහල බෞද්ධ යැයි කියන උගතුන්ට ඔළුවක් නැහැ. සුද්දන් ඔවුන්ගෙ ඔළු සෝදලා විතරක් නොවෙයි ඔළු අරන්දාලා. සාමාන්‍ය සිංහල මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙන බව තේරෙනවා. ඒත් ඔවුන්ට නායකයන් නැහැ. ඔවුන්ට හා රටට ප්‍රශ්නයක් තියෙන නිසා තමයි හීන්දැරි හාදයා ඒ ප්‍රශ්නය ගසාකන්න හදන්නෙ. ප්‍රශ්නයක් නැත්නම් ඔහුට ගසාකන්න දෙයක් නැහැ. ඔහු අමුතුම ජාතියෙ සතෙක්. ඔහු අඟේ ඉඳන් කණ කාලා අඟත් ගලවන කෙනෙක්. 


අනෙක් දේශපාලනඥයන් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නෙ සිංහල නොවන ඡන්දවලට අපමණ අගයක් ලැබෙන නිසා. සිංහලයන් එකතු කිරීමට අවංක නායකයකු නැහැ. සිංහලයන් එකතු වුණොත් සිංහල නොවන ඡන්දවල වටිනාකම බිංදුවට බහිනවා. ඒත් අද සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් බිංදුවට බැහැලා. සාමාන්‍ය සිංහලයන්ට ප්‍රශ්නයක් තියෙන බව තේරුණත් කොත්තු නොකා ඉන්න බැහැ. වඳ පෙත්තක් නැතත් වඳ පෙති ඇති බවට සැක කළත් කොත්තු කන්න ඕන. මේකත් ප්‍රශ්නයක්. කෑමෙදි පමණක් නොවෙයි ඇඳුම් ඇඳීමෙදිත් ගමන් බිමන් යෑමෙදිත් මේ ප්‍රශ්නය තියෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ.


ඊයේ මා සඳහන් කළ ලිපියේ ස්මාට් ජාතිකවාදියා කීියන්නේ ඉංගිිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට වැරදිකරු සිංහල බෞද්ධයන් කියා. මේ ප්‍රශ්නය ගැන මා බොහෝ දේ ලියා තියෙනවා. ඒත් සාමාන්‍ය සිංහලයන් ඒ කියවලා නැහැ. ඔවුන් තරමක්වත් දන්නේ මා රූපවාහිනියේ කියා ඇති දෙයක් පමණයි. ඒත් රුපවාහිනියේ මට දැන් ඉඩක් නැහැ. පඬියකු කියා තිබුණේ ඒ ඉඩක් නොලැබෙන්නේ මා මගේ කතාව පමණක් ඇත්ත කියා හිතන නිසා කියලා. පඬියන් රූපවාහිනියේ කතා කරන්නෙ හුදී ජන පහන් සංවේගය සඳහා පමණක් ද? ඊනියා උගතුන් අවුරුදු විසිපහකට පස්සෙත් ප්‍රභාකරන්, ඔහුගෙ සීයලා මාමලා බාප්පලා පොතට පිළිතුරු දීලා නැහැ. තුට්ටු දෙකේ උගතුන් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයට තුට්ටු දෙකේ (දැන් ව්‍යවහාරය අනුව නම් දෙකයි පනහේ) පිළිතුරක්වත් දී නැහැ. ඒත් ස්මාට් ජාතිකවාදියා ඒ සියල්ල අමතක කර ප්‍රශ්නය පනස්හයෙන් පටන් ගන්නවා. ඩොනමොර් යුගයේ තිබූ ජාතිවාදීි දෙමළ දේශපාලනය ගැන බටහිරයන් ම  ලියා ඇති දේ මේ ඊනියා දේශපාලනවිද්‍යාඥයා කියවා නැදද? දෙමළ ජාතිවාදීන් ශ්‍රී අකුරේ තාර ගෑවා මිස ඊට පෙර හෝ පසු හෝ ඉංගිරිසි අකුරුවල තාර ගෑවේ නැහැ. එය මෙරට ප්‍රශ්නයේ එක් සරල උදාහරණයක්  පමණයි. මෙරට ප්‍රශ්නය අන් කිසිවක් නොව සිංහල ථෙරවාදී බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන අහිමි කිරීම. එදත් අදත් ඇත්තේ මේ සංස්කෘතික ආක්‍රමණයයි. එයට බටහිරයන්ගේ සහාය ලැබෙනවා. 


සිංහල බෞද්ධයන්ට ගිහි හෝ පැවදි හෝ නායකත්වයක් නැහැ. හීන්දැරි හාදයා ගැන මා කියා අවුරුදු විසිපහකට වැඩියි. සුද්දන් නායකකම් දී භික්‍ෂූන් වහන්සේගේ කොඳු නාරටිය කඩා දැම්මා. අද මහානායක පදවි මුදලට විකිණෙන බව කවුරුත් දන්නවා. සුද්දන් නායක පදවි දුන්නේ ඔත්තු ලබා ගැනීම සඳහාත්. ඕල්කට්තුමා සිංහල බෞද්ධකම නැති කර  ඊනියා ජාත්‍යන්තර බෞද්ධකමක් උගතුන්ට දුන්නා. ඔවුන් දැන් ඕල්කට් බෞද්ධයන් වෙලා. විද්‍යාලංකාරෙ භික්‍ෂු දේශපාලනයත් අවසානයේ දී ව්‍යාජ සමාජවාදී දේශපාලනයක් වුණා. එය අයාලේ ගියා. අද සිංහල බෞද්ධ විරෝධී උගතුන් ඒ දේශපාලනය වර්ණනා කරනවා. ඒ සත්භාවයෙන් කෙරෙන්නක් නො වෙයි. 


අද අප ඉන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අවසානයේ. අප එය අත්දකිනවා. එයට වරදකරුවන් බොහෝමයි. අප 2019 එනතුරු බලන් ඉන්නවා.