Tuesday 23 January 2018

උදව්ව...


එකා පරයා එකා බස් රථ  විදුලි  වේගයෙන් ඇදේ.
ජනතා සේවාව උදෙසා මෙතරම් අඥාන අවදානමක් ගන්නා වෙනත් කවුරුත් නැති තරම් යයි මට  විටෙක සිතේ. කාස්ටක අව්වේ බස් රථයක් එනතුරු බලා සිටින කාට වුවද සිතෙන එකම සිතිවිල්ල මෙයම වේ.
"සල්ලිත් දීලා තව මැරෙන්නත් ඕන , මුන් යන විදියට...."
මම මටම කියා ගතිමි......
හිතින් මටම කියගත්තද මටත් හොරා මගේම හඬ ලොවට ඇසී අති බව වටහුනේ වට පිටාවේ බොහෝ දෙනා මදෙස බලා කට කොනකින් හීන් සිනහවක් නගන අයුරු ඇස් කොනින් දුටු විටය.
මගේ මතයට කිසිවෙක් විරුද්ධ නැති වග ප්‍රත්‍යක්ෂ වූ බැවින් පුරුදු ආඩම්බර ලීලාවෙන්ම නැවත මගේ කල්පනා ලොකයටම රින්ගුවෙමි.
"කතා කරල වැඩක් නෑ පුතා.... ඔවා ඔහොම තමයි...."කෙනෙක් මා අසලටම පැමින සෙමේන් මුමුණ හඬ ඇසී මම මඳක් හැරී බැලුවෙමි.
තරමක තලතුනා පෙනුමක් සහිත  , හොඳින් ඇඳ පැළඳ සිටි මහතෙකු මදෙස සිහින් සිනහවක් නඟමින් බලා සිටිනු මම දුටුවෙමි.
දිග කුඩයක්ද සහිතව හොඳින් මදින ලද අත් දිග කමිසයකින් සැරසී සිටි  ඔහු රජයේ සේවයෙන් සමුගත් විශ්‍රාමිකයෙක් විය යුතු යයි මට සිතිනි.
"මම පුතා දැන් පැය භාගයකට වඩා වැඩියි මෙතනට  ඇවිල්ල..
තාම එක බස් එකක් වත් ආවේ නෑ. මොකද මේ බස් නැතුවද....නැහනෙ...
කොටනව....
හැමතනම කොටනවා......
අපි ඉතින් දවසෙම පාරේ....  කියල වැඩක් නෑ...."
ඔහු නැවත පාර දෙස බලාගෙනම මවෙත අදස් පල කලේය.
අසාධාරණයට එරෙහිව නිතරම හඬ නඟන මට  ඔහුගේ කතාව ගින්නට දැමූ පිදුරු වැනි විය....
"මේව මුල ඉඳන්ම හදන්න ඔනා අන්කල්........ හරියට කාල සටහන දීල.. ගහන්න ඕන දඩ අයෙත් නැගිටින්න බැරි වෙන්නම ...."
මේව ඉතින් අධ්‍යපන මට්ටමේ වැරද්ද......
යන්තම් එකතු කරන්නයි අඩු කරන්නයි පුලුවන් උනු ගමන් , යනව කොන්දොස්තර වැඩේට... මාස දෙකෙන් මිනිහ ඩ්‍රයිවර් වෙනව.....ඉතින් කොහොමද අන්කල් නීතියට පාරේ යන ඩ්‍රයිවර්ල හැදෙන්නෙ......."
මම හිතේ තදවුනු තරහ ඇතිපදම පිටකර දැම්මෙමි.
ආගන්තුකයෙකු සමඟ ඇතිවුනු රට ගොඩනඟන  නිශ්ඵල සාකච්චාව ඉතා හොඳින් ඉදිරියට ඇදුනි....
 වාසනාවකට හෝ අවාසනාවකට , ඔහුටවත් මටවත් යාමට බස් රථයක් නම් එන පාටක් තිබුනේද නැත.
"අන්කල් මේ කොහෙට යන ගමන්ද ?"
"කොටුවට පුතා.....කොටුවට යන්නෙ...... ස්ටේශන් එකට යන්නෙ...."
ඔහු බොහොමත්ම සතුටින් මෙන්ම උධ්‍යෝගයෙන් පැවසීය.
"දවල් කෝච්චියෙන් නුවර යනවා.... පුතාලගෙ ගෙදර......"
ආරධනයකින් තොරවම සියළු විස්තර පැවසීමට ඔහු නොපැකිලි විය.
"මම පුතා මාසෙකට සැරයක් ඔය රවුමෙ ගිහින් එනවා......අද නුවර ගිහින් , අනිද්දට යනව කුරුනෑගල.... එහේ මගෙ ලොකු පුතා ඉන්නව....  දවස් තුනක් හතරක් කොහොම හරි ඔය ගෙවල් ටිකේ ගත කරල එනවා..."
"අනික මට ඊයෙ පෙන්ශන්... හා!..  හා!  "  ඔහු මගේ කනට කර සෙමින් පවසා උජාරු සිනහවක් නැඟීය.
"සල්ලි තියෙන්නෙ පුතා හොඳට වියදන් කරල ජොලියෙ ඉන්නනෙ..  අනික අපිට වෙන මොන වැඩද ?"
සෑහෙන වේලාවක් යනතුරු මට කිසිඳු අදහසක් පැවසීමට අවශ්‍ය නොවීය.
වෙනදා බසයක් එනතුරු ලේ කොපවෙමින් සිටින මට අද කාලය ගතවන බවක් වත් නොදැනිනි.
කතාව දිගින් දිගටම ඇදුනි....
.රටේ ආර්ථිකය....
71 /89  කැරැල්ල.....
විවෘත්ත ආර්ථිකය,
රජයේ සේවයේ ඉතිහාසය මෙකී නොකී බොහෝ දේ ගැන ඒ සුළු කාලය තුල අපි සාකච්චා කලෙමු.
සියළු දෙබස් අතරතුර සිත් පහන් කරන්නාවූ දසුනක් නෙත ගැටුනි.....
ඒ පිටකොටුව බසයක් අප ඉදිරියට යාන්තම් අමාරුවෙන් ඇදීමයි.
කවදා පිටකොටුවට  මෙය යාවිදැයි මට එය එන සැටියෙන් සිතාගන්න තරම් වත් නොහැකි විය. එය ඒතරම්ම මන්දගාමීය.
'නගිමු නේද අන්කල්... කීයට හරි යන්නෙ නැතෑ..."
මම ඔහුව පෙරටු කරගත්තෙමි...
"පුතා යන්නෙත් කොටුවටද ?"
බසයක් නොමැතිව දැඩි අපහසුවෙන් සිටියද , බසය පැමිනි පසු ඔහුට එයට ගොඩවීමට තරම් ලොකු උනන්දුවක් තිබුනේද නැත. වටපිට බලමින් වෙනත් බස් ගැන සොයමින් බසයට නැඟීම මඟාරින බවක් මට ඉවෙන් මෙන් දැනුනි...
මමත් සමඟ යාමට ඔහු අදිමදි කරනවාදෝයි මට එක්වරම සිතුනි....
"අන්කල්  , සීට් නම් තියෙනව .... මම නඟින්නද එහෙනම්.. ?
මාගේ උපකල්පනය නිවැරදි නම් තව දුරටත් ඔහු අපහසුතාවයකට පත්කිරීම එතරම් සුදුසු නැතැයි මට සිතුනි...
"මේ මනුස්සයට මම මාර වදයක් වෙලාද දන්නෙ නෑ තිබුනෙ මෙච්චර වෙලා..  මම මොනව කරන්නද...මේ මනුස්සයමනෙ මාත් එක්ක කතාකරන්න පටන්ගත්තෙ..."
මටම සිතින් මුමුනමින් නැවත හැරී ඔහු දෙස බැලීමී..
තවමත් ඔහු සිය දුරකතනය ඔබමින් හිස බිම බලාගත් ගමන්ම සිටියේය...
"අන්කල්...."
මම අවසන් වතාවට ඔහුට ඇමතීය....
"යමු යමු පුතා..... "
එවර ඔහු මා පසුපසින් විත් බසයට ගොඩනැඟිනි...
මෙතරම් වේලා ඉතාම සන්සුන්ව උද්‍යොගීව සිටි ඔහු දැන් තරමක් අපහසුතාවයකින් සිටින බවක් පෙනුනි....
"මොකද අන්කල්.... මොකක් හරි ප්‍රශ්නයක්ද ? "  මම ඇසුවේ නිතැතින්ම උදව්වක් කිරීමේ  අභිලාෂයෙනි...
"පුතා මාරු සල්ලි හෙම තියෙනවද ?"  ඔහු මගේ කනට කර පවසා.... ඔහුගේ මුදල් පසුම්බියද දිගහැර පෙන්වීය.
එහි පන්දහසේ කොලයක් සහ  දහසේ කොල දෙකක් තිබුනි...
"සල්ලි තියෙනව පුතා.. දැන් මේක කොන්දොස්තරට දික් කලොත් මේකා නොසෑහෙන්න කෑගහයි.."
"අයියෝ ඕකද ප්‍රශ්නයක් කරගෙන හිටියෙ..... මම ටිකට් ගන්නම්....."
මම ඔහුගේ නිහතමනී බවට ගරු කලෙමි.
මට ඔහු කෙරෙහි වූ ලෙන්ගතු කම , ටිකෙන් ටික ගෞරවයක් බවට පත්වෙමින් තිබුනි.....
පාරේ සිටගෙන සිටි වේලාව තරම් වේලාවක් බස් රථය තුලද ඉඳගෙන සිටීමට අපට සිදුවිය. වෙනසකට තිබුනේ  , මෙවර බොහෝ විට හඬ අවදි කෙලේ ඔහු නොව මමය.
ඔහු බොහෝවිට සිටියේ වට පිට කෙරෙහි අවදානය යොමු කරමින්ය.මගේ අදහස් වලට බොහෝ විට පිලිතුරු ලැබුනේද හිස ඒ මේ අත හරවමින්ය.
"අන්කල් කලබල වෙන්න එපා..මම බහින්නෙත් ස්ටේශන් එක ඉස්සරහින් තමයි....."
මට නිතරම සිතුනේ ඔහුගේ කලබල වීමට හෙතුව කොළඹට ඔහු ආගන්තුක වීම යන්නයි...
කෙමෙන් කෙමෙන් කාලයද ගතවිය. සියල්ල අවසානයේ අප කොටුව දුම් රිය නැවතුම්පල අසලට ලඟා විය....
ඔහුට ප්‍රථම මම මූලික විය. බසයේ දොර අසලට ඔහුද මා පසු පසින් සෙමෙන් සෙමෙන් පැමිනියේය.
"කොටුව බහින්න....කොටුව බහින්න....... ඉක්මන් කරන්න ..ඉක්මන් කරන්න...."
කොන්දස්තර බෙරිහන් දුනි...
අප දෙදෙනා පසු පස බසයේ සිටි බහුතරයක් පෝලිමක් සේ බසයෙන් බසින්නට විය....
"පුතා....මගෙ  පර්ස් එක......"
එක්වරම ඔහු කෑ ගැසීය...
බසය තුළ එක් වරම කලබලයක් ඇති විය...එක් එක් අය කලබල වී වට පිට බලමින් සොරෙකු සොයන්නට විය....
"මගේ පර්ස් එකට ගහලා...." ඔහු මහ හඬින් කෑ ගැසුවේය.
ක්ෂනින්කව මම බස් රථය අවට වෙත මගේ අවදානය යොමු කලෙමි.
කලබලයෙන් දුවන බොහෝ දෙනා දුටුවද සැක කල හැකි කෙනෙක් දකින්නට නොවීය.
සැක කටයුතු කෙනෙකු සෙවීමට බසයේ සිටි බොහෝ දෙනා අවංකවම යම් උත්සාහයක් ගත්තද ඉන් ඵලක් නොවීය.
"අයියෝ  පුතා...බලන්නකො වෙච්ච වැඩේ........අයියෝ......"
ඔහු මා උර හිසට අත තබා ලතොනී දුනි..... ඔහුගේ හිස කඩා වැටුනු ගමන්ම විය.....
"අන්කල්  දැන් ඉතින් ඉක්මනටම කරන්න තියෙන්නෙ පොලීසියෙ ඇන්ට්‍රියක් දාන එක...අපි යමු...."
"වැඩක් නෑ පුතා.....පොලීසියට ඕකුන්ව හොයන්න පුළුවන්නම් ඉතින් මේවා මීට වඩා ගොඩාක් වෙනස් පුතා....." ඔහු තවමත් බිම බලාගත් ගමන්ම හිස සලමින් කීය.
"ඒකට කාරියක් නෑ.. අපි යමු..... "
"ගොඩක් වෙලාවට ඕක ලියුම් පෙට්ටියකට වගේ දාල යන්න ඉඩ තියෙනව....එහෙම උනොත් ඇන්ට්‍රියක් දාලා තියෙන එක වඩා හොඳයි..."
මම ඔහුත් කැටුව පොලීසිය වෙත පා ගමනින්ම ගියෙමි...
ඔහුගේ මුවින් එකඳු වචනයක්වත් පිටවූයේ නැත...තවම හරිහැටි මට මුහුන දුන්නේ ද නැත. එයට හේතුවද මා හට තේරුනි.... දැන් ඔහු සතුව කිසිවක් නැත....කිසිවක් යනු මුදල්ය..... ගමනාන්තය දක්වා යාමටවත් ඔහු සතුව මුදල් නොමැති බව මම දනිමි....
නීතිමය රාජකාරි අවසන් කර අපි නැවත දුම් රිය ස්ථානය කරා ගමන් කළෙමු.
"අන්කල් කලබල වෙන්න එපා.....  කෝච්චියට තව වෙලා තියෙනවනෙ...... අන්කල් දැන් ඔවා අමතක කරලා යන ගමන යන්න. ඇන්ට්‍රි කොපිය ළඟ තියගන්න.....
ඕව ඔහොම තමයි.." මම එසේ පවසමින් මගේ මුදල් පසුම්බිය ඉවතට ඇද්දෙමි.
"මේක තියගන්න......."  මම රුපියල් දහසක් ඔහු අත තැබිමි.
"පරෙස්සමින් ගිහින් එන්න..... ගොඩක් වෙලාවට පර්ස් එක හම්බවෙයි....සල්ලි නැති උනත් අනෙක් දෙවල් ටික හරි හම්බවෙන එක ලොකු දෙයක් නෙ..."
බිම බලාගෙනම ඔහු එම මුදල අතට ගත්තේය.
ඔහු යනතෙක්ම මම දුම් රිය ස්ථනයේ රැඳි සිට පසුව මගේ රාජකරිය වෙත ගියෙමි....
කලෙකින් පසුව මම ඉතා දීර්ඝ දිනයක් ගතකළ බව මට තේරුනි......

යහපත් ක්‍රියවක නිරත වූ නිසාමදෝ වෙනදාට වඩා අද මගේ කර්ත්ව්‍යයද තරමක් ඉක්මනින් කර ගැනීමට මට හැකි විය.
දහවල සිදුවූ සිදුවීම සෑම විටම සිතේ හොල්මන් කරන්නට විය. මට ඒ සියළු සිද්දි ච්ත්‍රපටියක් සේ නිතර නිතර පෙනෙන්නට විය. නොයෙක් චිත්තරූප මවමින් මම ආපසු ඒමට නැවත බස් රථයකට ගොඩ වැදුනි.
ජනේලයක් ළඟට ගොස් එළිය බලන විට මට ඒ මනූස්සය වැන්නුවන් හැම තැනම පෙනෙන්නට විය. ඒ තරමටම මට  ඒ සිද්දිය සිත තුලට කා වෑදී තිබුනි.

කිසිඳු අරමුණක් රහිතව මම ඔහේ ජනේලයෙන් එලිය බලාගෙනම පැමිනියෙමි.....
බස් රථය සෙමින් සෙමින් ඉදිරියට ඇදුනි....
ලේක් හවුස්...  ගාමිනී හෝල්.......  පසුවුනි......
මෙතෙක් නිසොල්මන්ව සිටි මගේ දෑස්  , ක්ෂනිකව පාරේ වූ ඒ සුපුරුදු කුඩය හා එහි හිමිකරු ඇඳ සිටි අත් දිග කමිසය දැක ප්‍රකම්පනය විය...
"මොනවා...     අන්කල් ?"

කෝච්චිය ගොඩාක් දුර ගොස් ඇති බව මට තේරුම් ගියේ එවිටය..........

1 comment: