Main Logo

Thursday 1 March 2018

ආණ්ඩුවේ ජනවරම



ආණ්ඩුවේ ජනවරම


පසුගිය පෙබරවාරි දහයෙන් ආණ්ඩුවේ ජනවරම වෙනස් වූවා යැයි කියන්න පුළුවන් එක් අර්ථයකින්. එහෙත් මා රනිල් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ ඔහු මෙරට සංස්කෘතිය නියෝජනය නොකරන, ක්‍රිස්තියානි සංස්කෘතියේ ජීවත්වන ඒ සංස්කෘතියට හා අදාළ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට රට ඇද ගෙන යන නව ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතිවාදයට රට පාවා දෙන රට බෙදීමට කටයුතු කරන රණවිරුවන්ට දඬුවම් දීමට ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් සමග අත්වැල් බැඳගත් අයකු නිසා. ඒ පඬියන්ට අනුව මගේ මුග්ධ ජාතිකත්වයෙන් ගලා එන දේ. ඒ සඳහා පෙබරවාරි මැතිවරණය අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවට එකඟ ව රනිල් ඉවත් කළ යුතුයි . එය කළ හැක්කේ මෛත්‍රිපාලටයි. 

දැන් සුළු පිරිසක් හරි රනිල් ඉවත් කළ යුතුය යන මතයට පැමිණ තිබීම ගැන සතුටුයි. ඔවුන්ගෙන් ඇතැමුන් එය යුක්තියුක්ත කිරීමට විවිධ තර්ක ගෙනෙනවා. ඔවුන් තර්ක සොයන්නේ තම මතය (එය නිගමනයක් නො වේ) සනාථ කිරීමටයි. ඒ නිසා ම ඒ තර්කවල වැදගත්කමක් නැහැ. ඔවුන්ගේ එක් තර්කයක් නම් ජනවාරි අටවැනි දා ලැබුණු ජනවරම පෙබරවාරි දහවැනි දා අහෝසි වූ බවයි. ජනවාරි අටවැනි දා ජනවරම ලැබුණේ මෛත්‍රිපාලගෙන් සංකේතවත් වූ එ ජා පෙරමුණට හා දෙමළ ජාතික සංධානයට. මෛත්‍රිපාල එදා සංකේතයක් පමණයි. ඉන්පසු අගෝස්තු මැතිවරණයේදීත් එ ජා පෙරමුණට ( එ ජා පක්‍ෂයට නොව) ජනවරමක් ලැබුණා. එහි දී ද මෛත්‍රිපාල නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සංධානය තරග කෙළේ එ ජා පෙරමුණට විරුද්ධවයි.

2015 ජනවාරි අටවැනි දාත් අගෝස්තු දහහත්වැනි දාත් ජනවරම ලැබී ඇත්තේ එ ජා පක්‍ෂය ප්‍රධාන එ ජා පෙරමුණටයි. 2018 පෙබරවාරි දහවැනි දා එ ජා ප ඡන්ද ප්‍රතිශතය අඩුවෙලා තියෙනවා. ඒත් එයින් කියන්න බැහැ ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. ඒ ආණ්ඩුව යන්න මෛත්‍රිපාල රනිල් එකතුව ලෙස සැලකුවහොත්. මෛත්‍රිපාලට ඡන්ද 13%ක් හා රනිල්ට ඡන්ද 33%ක් ලැබුණා. ඒ දෙක එකතු කළහොත් පොහොට්ටුව ලබාගත් ප්‍රතිශතයට වඩා වැඩියි. එ ජා පක්‍ෂයට සාමාන්‍යයෙන් ඇත්තේ 35%ක පමණ ඡන්දයක්. 2010 දී එය 29%ට අඩු වුණා. ඒ නන්දිකඩාල් ජයග්‍රහණය සමග.

මේ වන විට ශ්‍රී ල නි ප ප්‍රධාන පෙරමුණකට 45%ක පමණ ඡන්දයක් සාමාන්‍යයෙන් තියෙනවා. 2015 ජනාධිපතිවරණයේදීත් මහින්දට 48%ක් ලැබුණා. ඒ  අවාසි සහගත තත්වයක. අගෝස්තු මැතිවරණයේ දි සංධානයට 42%ක ඡන්දයක් ලැබුණා. එවර එ ජා ප 46%ක් ලබා ගත්තා. 2010 මැතිවරණයේ දි සංධානයට 60%ක ඡන්දයක් ලැබුණා. ඒ නන්දිකඩාල් ජයග්‍රහණය සමග.

මේ ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන කාරණය මේ වන විට ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන රටේ ප්‍රධාන පාලන බලවේගය බවට පත් වී ඇති බවත් එ ජා පක්‍ෂය පාලු කපන්නාගේ තත්වයට පත් වී ඇති බවත්. ශ්‍රී ල නි පක්‍ෂයේ, පොහාට්ටුවේ හෝ වෙනත් ජාතිකත්වය නියෝජනය කරන පක්‍ෂයක හෝ ඡන්ද ප්‍රතිශතය අද වන විට (මෙරට ජාතිකත්වයට) 45%ක පමණ සාමාන්‍ය ඡන්දයක් තියෙනවා.  විජාතික එ ජා පක්‍ෂය ප්‍රමුඛ බලවේගවලට ඇත්තේ 35%ක පමණ සාමාන්‍ය ඡන්දයක්. මෙරට ජාතික බලවේග මේ කාරණය තේරුම් ගෙන නැහැ. පෙබරවාරි මැතිවරණයෙන් කියන්නේත් එයයි.

රනිල් හා මෛත්‍රිපාල එකට ගතහොත් ආණ්ඩුවේ ජනවරම 2015 අගෝස්තු මැතිවරණයෙන් අඩු වී නැහැ. ඇතැමුන් ආණ්ඩුවේ ජනවරම පහුගිය පෙබරවාරියෙ අඩුවෙලා හරි නැතිවෙලා හරි කියන විට ආණ්ඩුව කියන්නේ කුමක් දැයි පැහැදිලි කරන්නේ නැහැ. ඒ රනිල් හා මෛත්‍රිපාල නම් ආණ්ඩුවේ ජනවරම අඩුවෙලා නැහැ. පොහොට්ටුවේ ඇතැමුන් මෛත්‍රිපාල සමග කිසිම දෙයක් වෙනුවෙන් වැඩ කරන්න කැමති නැහැ.  රනිල් ඉවත් කරන්නවත් මෛත්‍රිපාලට ශක්තිය  දෙන්න කැමති නැහැ. ඔවුන් රනිල් ඉවත් කිරීම රංගෙ බණ්ඩාරට පවරලා. ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුව ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් එ ජා ප මන්ත්‍රීන් සහාය දෙන්නේ නැහැ. රංගෙ බණ්ඩාර යෝජනාව නොගෙනාවොත් මොකද වෙන්නෙ කියන එක ඔවුන් අහන්නෙ නැහැ. කාගෙ කාගෙත් වැඩ නිසා අන්තිමට වෙන්නෙ රනිල් තහවුරු වෙන එක.

අප රනිල් හා මෛත්‍රිපාල වෙන් කළොත් මොකක් ද වෙන්නෙ. මහින්දවාදීන්ට (බැසිල්වාදීන්ට) හිරිකිතයක් විය හැකි වුණත් මෛත්‍රිපාලගෙ ඡන්ද මහින්දගෙ ඡන්දවලට එකතු කළහොත් 58%ක් වෙනවා.  එයින් 3%ක් එ ජා ප ඡන්ද කියමු. එවිට එකතුව 55%යි. එය 2010 මැතිවරණයේ දී ගත් 60% නූණත් විශාල ප්‍රතිශතයක්. 2010 ඡන්ද නන්දිකඩාල් ජයග්‍රහණය සමග ලැබුණු ඡන්ද. පෙබරවාරි ප්‍රතිඵලවලින් කියන්නේ රනිල්ට 33%ක ඡන්දයක් හා  ජාතික බලවේගවලට 55%ක ඡන්දයක් තිබෙන බවයි. පෙබරවාරියේ ආණ්ඩුවේ ජනවරම අඩු වී ඇතැයි අපට කිව හැක්කේ මහින්දගේ හා මෛත්‍රිපාලගේ ඡන්ද එකට ගත්තොත් මිස මෛත්‍රිපාල හා රනිල් එක ගොඩකට දැමීමෙන් නො වෙයි. ජාතික බලවේග අද පැහැදිලිව කියා සිටින්නේ රනිල් ඉවත් කළ යුතු බවයි. මහින්දවාදීන් හිතේ කැමැත්තට ආණ්ඩුවේ ජනවරම අඩු වී ඇතැයි කියන විට එය ඇත්තක් වන්නේ ආණ්ඩුව යනු රනිල් යැයි සැලකීමෙන්. ආණ්ඩුව යනු රනිල් හා මෛත්‍රිපාල ලෙස ගතහොත් ආණ්ඩුවේ ජනවරම අඩුවී යැයි කියන්න විධියක් නැහැ.      

මගේ මුග්ධ ජාතිකත්වය කෙසේ වෙතත් අද මෙරට ජනතාව අතර යම් ජාතිකත්වයක් ශක්තිමත්. එහෙත් පොහොට්ටුවේ නායකයන් අතර ජාතිකත්වය නියෝජනය කරන්නන් අඩුයි. අද ප්‍රශ්නය එයයි. ජාතිකත්වය නියෝජනය නොකරන්නන් අංගුලිමාලට කැප්පෙටිපොළට පමණක් නොව දේවදත්තටත් සමාව දෙන නමුත් මෛත්‍රිපාල නයාට අඳුකොළ වගේ. පළාත් සභා, 2019, 2020 ගැන කේන්දර නොබලා රනිල් ඉවත් කිරීමේ සක්‍රීය වැඩ පිළිවෙළක් අද ආරම්භ නොකළොත් 2019 නැති වේවි.

ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයෙ බලවතකු පළාත් පාලන මැතිවරණයේ මන්ත්‍රීධුර වෙන් කිරීම වැරදි යැයි කීවේ කාගේ හරි වැරදි උපදේශයක් පිළිගෙන. පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත අනුවයි මැතිවරණ පැවැත්තෙන්නේ. එය ඉතා පැහැදිලියි සරලයි. මට තේරෙන හැටියට බලවතා 2017 අංක 22 දරණ ප්‍රාදේශීය සභා පනත වරදවා වටහාගෙන. එහි යම් ආයතනයක කොට්ඨාස සංඛ්‍යාව දී ඇති විට ලැයිස්තුවෙන් තේරෙන මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කරන ආකාරය දක්වා තිබෙනවා. එහි දී තමයි පූර්ණ සංඛ්‍යාව පමණක් සැලකීමට කියා තිබෙන්නේ. උදාහරණයක් වශයෙන් කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීන් 16 දෙනකු තේරෙනවා නම් 60:40 අනුපාතයට ලැයිස්තුවෙන් තේරෙන මන්ත්‍රීන් සංඛ්‍යාව 16 x 40 /60  = 10.66 හි පූර්ණ සංඛ්‍යාව එනම් 10 විය යුතුයි. මෙහි දී ශේෂය සැලකෙන්නේ නැහැ. එහෙත් පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත අනුව ලැයිස්තුවෙන් මන්ත්‍රී සංඛ්‍යාව නිර්ණය කරන විට ශේෂය (කොටය) සැලකෙනවා.


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-01