Facebook වෙතින් දරුවන්ට වෙනමම Messenger app එකක්.

Facebook සමාජ ජාළය භාවිතා කරන බොහෝ දෙනෙකු Facebook messenger සේවාවද භාවිතා කරනවා. තමන්ගේ මුහුණුපොතේ සිටින හිත මිත්‍රාදීන් අතර අදහස්, ඡායාරූප, හැඟීම්, වීඩියෝ ආදිය හුවමාරු කරගැනීමට messenger යෙදුම කදිම අත්වැලකි. මෙතෙක්කල් facebook පරිශීලකයන් සඳහා වෙන්ව තිබූ messenger සේවාව දැන් කුඩා දරුවන් සඳහා යෝග්‍ය ලෙස නිර්මාණය කර එළිදැක්වීමට, Facebook සමාගම කටයුතු කර තිබෙනවා. එය Messenger Kids ලෙස නම් කර ඇති අතර පරිගණක පියසේ මෙවර ලිපියෙන් සාකච්ඡා කරනුයේ ඒ පිළිබදවයි.

දරුවන් සදහා ආරක්ෂාකාරී හා විනෝදකාමී වීඩියෝ සංවාද.

Messenger Kids යනු දරුවන් සතුව ඇති ස්මාට් ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක උපයෝගී කරගෙන ඔවුන්ගේ සමීපතම යහළුවන් හා පවුලේ උදවිය සමග වීඩියෝ සංවාද හා පණිවුඩ හුවමාරුව සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද යෙදුමකි. මෙමගින් දරුවන් හට දෙමව්පියන් විසින් අනුමත කරන ලද පුද්ගලයන් සමග පමණක් සම්බන්ධ විය හැකි අතර එයද සිදුකල හැක්කේ දෙමාපියන්ගේ පාලනාධිකාරියට යටත් වූ පරිසරයක් තුළ බැවින් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන්ට බිය විය යුතු නැත. කණ්ඩායම් වශයෙන් හෝ තනි – තනි වශයෙන් සංවාද පැවැත්විය හැකි Messenger Kids යෙදුම ඔබේ දරුවන් හට විනෝදකාමී අත්දැකීමක් වනු ඇත.

සම්පූර්ණ පාලනය දෙමාපියන් සතුය.

Messenger Kids ඔස්සේ දරුවා සම්බන්ධ විය යුතු පුද්ගලයන් කවුරුන්දැයි තීරණය කිරීමේ සම්පූර්ණ බලය දෙමාපියන් හට සපයා ඇති අතර දරුවන්ට මේ ඔස්සේ Facebook මෙන් අලුත් යහළු සම්බන්ධකම් ගොඩනගා ගත නොහැකිය. මෙහි ඇති පණිවුඩ මැකීමට හෝ සැගවීමට නොහැකි වන ලෙස නිපදවා ඇති අතර එමගින් දෙමාපියන් විසින් පරීක්ෂා කරන අවස්ථාවේදී දරුවන්ට වංචා කළ නොහැක.

දරුවන්ට වැඩි විනෝදයක්.

Messenger Kids භාවිතා කරන දරුවන් හට දරුවන් සඳහා ගැළපෙන වෙස් මුහුණු, රාමු (Frames), ස්ටිකර් හා GIF රූපරාමු ආදීය භාවිතා කරමින් විනෝදජනක වීඩියෝ නිර්මාණය කරමින් තමන්ගේ සමීපතමයන් සමග විනෝදවීමට අවස්ථාව උදාවනවා ඇත.

භාවිතය පහසුයි.

දරුවන් සතු ස්මාට් උපාංගයක Messenger Kids ස්ථාපනය කළපසු දෙමාපියන්ට හෝ වැඩිහිටියන්ට දරුවන් සමග සම්බන්ධ වීම සිදුකල හැක. ඒ සඳහා දෙමාපියන්ට වෙනමම යෙදුමක් ස්ථාපනය කිරීම අනවශ්‍යය ය. මෙම යෙදුම ඔස්සේ පණිවුඩ හුවමාරුව සිදුවන්නේ Wi -Fi තාක්ෂණය භාවිතයෙන් නිසා දරුවන්ට දුරකථන අංකයක් අවශ්‍ය වන්නේද නැත.

පටන් ගන්නේ මෙහෙමයි.

  • මුලින්ම ඔබ Messenger Kids යෙදුම ඔබගේ දරුවාගේ ස්මාට් උපාංගයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන සංස්කරණයක් Messengerkids.com වෙබ් අඩවියට පිවිස ඩවුන්ලෝඩ් කර ස්ථාපනය කරගන්න.
  • ඉන්පසුව Messenger Kids විවෘත කර Get Started ක්ලික් කර ඔබගේ Facebook ගිණුමට Log විය යුතුයි. මෙම පියවරෙන් දරුවන් සඳහා Facebook ගිණුමක් නිර්මාණය නොවන අතර ඔබගේ දරුවන්ට ඔබගේ Facebook ගිණුමට පිවිසිය හැකියැයි අනවශ්‍ය බියක් ඇති කර ගත යුතුද නැත.
  • තෙවනුව ඔබගේ දරුවාගේ නම ආදී විස්තර ඇතුලත් කර ගිණුමක් සෑදිමෙන් පසුව එම උපාංගය මගින් Messenger Kids භාවිතය සඳහා දරුවාට භාරදිය හැක.
  • අවසානයේ ඔබගේ සුපුරුදු Facebook යෙදුමේ ඇති Messenger Kids Control Panel වෙත ගොස් ඔබගේ දරුවා සම්බන්ධ විය යුතු පවුලේ උදවිය හා හිත මිතුරන් ආදිය එකතු කරන්න.

තවත් විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

පසුවදන –

දරුවන් හට දෙමාපියන් සමඟ සංවාද පැවැත්වීමට නව තාක්ෂණයෙන් ක්‍රමෝපායන් සාදා දුන්නද ඒවා කෙතරම් ප්‍රායෝගික දැයි දෙමාපියන් ලෙස දෙවරක් සිතා බැලිය යුතුයි. Facebook messenger kids යෙදුම ඔබේ දරුවාට භාවිතයට සුදුසුද යන්න තීරණය ඔබ සතුය. මන්ද නව තාක්ෂණය මගින් සිදු කරනුයේ සබදකම් තවත් දුරස් කිරීම පමණක් බැවිනි. 

සැකසුම – බවන්ත හේරත්

Leave a comment