“තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු ගීතයේ නිදාන කතාව”


“මෙය පළ කරන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම මත ය..

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තරමක් තරුණ වියේ දි දෙහිවල සත්තු වත්තට ගිහින් තියෙනව මිතුරන් කිහිපදෙනෙක් සමඟ, ගිහින් සත්තු වත්තෙ සිංහ කූඩුවට ඉහළින් තියෙන වැට ළඟට වෙලා සිංහයො දිහා බලාගෙන ඉන්නකොට එක සිංහයෙක් මේ පිරිස දිහා සමච්චල් සහගත බැල්මක් හෙළල කූඩුව ඇතුලට ගියාලු..
ඒ වෙලාවෙ මේ පිරිස අතර කතා බහක් ඇති වුණාලු අපිත් සිංහයා ජාතික සලකුණ කරගනිපු සිංහයො නෙ, ඇයි එහෙනම් සිංහයො අපි දැකල ලැජ්ජාවෙන් අහක බලා ගත්තෙ කියල..
මේක ගැන කල්පනා කරනකොට සුනිල් සර්ට හිතුණලු සිංහයො කියල කියාගන්න මිනිස්සුන්ගෙ තියෙන නිවට නියාලු ගති නිසා වෙන්න ඇති සිංහයො අපි දැකල ලැජ්ජාවෙන් වගේ මඟ ඇරල යන්නෙ කියල. ඒ වගේම අපි සිංහයො කියල කියාගත්තට ලංකාවේ කැලෑ වල එකම සිංහයෙක්වත් නැත්තෙ ඇයි කියල කල්පනා කරනකොට සුනිල් සර්ට හිතුණලු අපේ මිනිස්සුගෙ නිවට නියාලු ගති නිසා උනුත් රට අත් හැරල ගිහින් වෙන්න ඇති කියල.. ඒ ඔස්සේ සර් මේ ගීතය ලියන්න පටන් ගන්නව,

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්…
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විලි වැද යති දැක හෙළයන්…

සිංදුවෙ මීළඟ කොටසින් කියන්නෙ සිංහයෝ යැයි කියාගන්න අපි සරු පොළවක් තියාගෙනත් විදේශ රටවලින් හිඟමන් යදින බවත්, සැබෑ සිංහයන් නම් එලෙස අනුන්ගේ ඉඳුල් නොකන බවත් ය..

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

සිංදුවෙ අන්තිම කොටසින් කියනව දැනට අපිට සිංහයො ඉතුරු වෙලා ඉන්නෙ අපේ කොඩියෙ විතරයි මේ විදියට ගියොත් ඒ සිංහයො ටිකත් පැනල යයි ඊට කලින් අලස ගතිවලින් මිදෙන්න කියල,

අප ධජයේ සිටිනා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්…

මෙය නන්දා මාලිනිය ‘පවන’ විරෝධාකල්පික ගී ප්‍රසංගයට ගැයූ උපහාසාත්මක මෙන්ම උපදේශාත්මක ගීයක් මිස කිසි ලෙසකින්වත් දේශාභිමානී ගීයක් නොවේ.නමුත් මෙයට යොදා ඇති ආරම්භක සංගීතය තුළ කිසියම් දේශාභිමානී ස්වරයක් තිබීමත්,ගීතයේ මුල් පේළි දෙක “සිංහ පැටවු රට අතැර ගොසින් නැත” ලෙස බොහෝ දෙනා තේරුම් ගැනීමත් නිසා මෙම ගීතය දේශාභිමානී ගී ප්‍රසංගවල පවා ගායනා කෙරේ.”

(මූලාශ්‍ර: කැම්පස් කාලයේ සුනිල් ආරියරත්න සර් හා කළ සාකච්ඡාවකදී දැනගත් තොරතුරු හා එතුමන් පුවත්පතකට දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.)

උපුටා ගන්නා ලද්දකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න