Main Logo

Thursday 15 February 2018

භාරකාර ආණ්ඩුවක් කුමකට ද?



භාරකාර ආණ්ඩුවක් කුමකට ද?


භාරකාර ආණ්ඩුවක් ගැන අප කියා ටික දවසක්. අද බොහෝ දෙනා ඒ ගැන කතා කරනවා. එහෙත් සුපුරුදු පරිදි භාරකාර ආණ්ඩුවක් කියන්නෙ කුමක් දැයි දන්නේ නැහැ. මෙරට ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සාක්‍ෂතාරව වැඩිවීම තරමට විචාරශීලී බව වැඩි නො වීම. අද පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ජනාධිපතිට බලකරන කී දෙනකු ඒ සම්බන්ධ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තියෙනවා ද? අප බටහිරයන් අනුකරණය කරනවා පමණයි. ඔවුන්ගේ පිළිවෙළ අප ළඟ නැහැ. අපේ තිබූ පිළිවෙළත් අප නැති කර ගෙන. ජනාධිතිට 2020 ජනවාරි වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ඒ වන විට මෛත්‍රිපාල ජනාධිපති ද නැද්ද කියා කියන්න බැහැ. අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න නම් මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍ය වෙනවා. නාමල් රාජපක්‍ෂ වැන්නන් කෑ ගහන්නේ ඒ බව දැනගෙන ද? භාරකාර ආණ්ඩුවක් පිහිටෙව්වත් අවශ්‍ය තුනෙන් දෙක ලබා ගැනීමට හැකි වේ යැයි සිතන්න බැහැ.

මුහුණු පොතේ පඬි පෝතකයන්ට නම් ඒ ගැන කිසිම වැටහීමක් නැහැ. ඔවුන් පොරවල් වීමට කෑ ගහනවා. මේ පොරවල්වලට නිරවුල් ව හිතන්න බැහැ. ලිපියක් කියවා ගන්න බැහැ. මා මේ ලිපි ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුට යවන බව ඊයේ ලිපියෙන් කිව්වා. එක් පඬි පෝතකයකු අහනවා මා ඒ ලිපිය ජනමාධ්‍යයට යැවුවේ එහි ජනමාධ්‍යවේදීන් ගැන කියා ඇති ඡෙද දෙක ඉවත් කර ද කියා. මා ලිපි යවන්නේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ප්‍රධානීන්ට මිස ජනමාධ්‍යවලට නොවන බව තෙරුම් ගැනීමටවත් නිරවුල් මනසක් ඔහුට නැහැ. අනෙක් අතට ජනමාධ්‍යවේදීන්ට මා යවන්නේත් අනෙක් අයට යවන ලිපිය ම මිස වෙන එකක් නො වේ. මා පොදු කරුණු කිසිවක් කිසිවකුගෙන් හංගන්නේ නැහැ.

අද නැවතත් අගමැති පත් කිරීම ගැන කතා කරනවා. මේ ගැන මා කලක සිට ම කතා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති වශයෙන් පත් කළ හැකියි. මෙහි වැදගත් වචන වන්නේ තම මතය අනුව යන්න. ඔළුගෙඩි 113ක් අවශ්‍ය යැයි මෙහි කියැවෙන්නේ නැහැ. අගමැති එලෙස පත්කරන අතර 43 (3) ව්‍යවස්ථාව යටතේ ඒ ඒ අයට ඇමති ධුර නියම කරන්න පුළුවන්. ආණ්ඩුව පිහිටුවීමේ දී  ඔළුගෙඩි 113ක් පෙන්වීමට අවශ්‍ය නැහැ. 2015 ජනවාරි නවවැනි දා රනිල්ට ඔළුගෙඩි කීයක් තිබුණා ද? දි මු අස්වෙලා හිටියා ද? වෙනත් අගමැතිවරයකු පත් කිරීමට රනිල් අස්වීමට අවශ්‍ය නැහැ.

සාමාන්‍යයෙන් භාරකාර ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් රට පාලනය කරන අමාත්‍ය මණ්ඩලයට. අද එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න හැකි වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගැනීමෙන් පසුවයි. එසේ තුනෙන් දෙකක් ලබාගත නොහැකි නම් කළ හැක්කේ භාරකාර ආණ්ඩුවක් වැනි ආණ්ඩුවක් පිහිටුවීමයි. එහි අගමැති මහින්ද විය යුතු යැයි මා හිතනවා. එහෙත් එසේ නොවන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂයේ වෙනත් අයකු විය යුතුයි. එයත් ඉටු නොවන්නේ නම් මෛත්‍රිපාලගේ කණ්ඩායමේ අයකු විය යුතු යි. එයත් ඉටු නොවන්නේ නම් පමණක් රනිල් රවි පාද සටහන් කල්ලිය, චම්පක, සරත් ෆොන්සේකා වැනි පාරාජිකා වූවකු නොවන, එ ජා පෙරමුණට අයත් අයකු විය හැකියි.

ඒකාබද්ධ විපක්‍ෂයේ අය එවැනි ආණ්ඩුවක ඇමතිකම් භාර ගැනීම අනිවාර්ය නැහැ. එහෙත් රට අස්ථාවර නොකර, හුදෙක් ආණ්ඩුව පෙරළීම සඳහා ගෙනෙන විශ්වාසභංග යෝජනාවලින් ආණ්ඩුව ආරක්‍ෂා කර ගත යුතුයි. ආණ්ඩුවේ කාර්යයන් අතර පහත සඳහන් කරුණු ද විය යුතුයි. මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගැනීම (එංගලන්තය හා බටහිර රටවල් ඊනියා අනාගමික නොව ක්‍රිස්තියානි  රාජ්‍ය වෙයි), මහා සංඝයා වහන්සේට ඓතිහාසික ව හිමි තැන ලබා දීම, විදේශවලට කිසිසේත් ගැති නොවීම, විදේශීය තානාපතියන් රටේ පාලනයට ඇඟිලි  ගෑසුවොත් ඔවුන් රටින් පිටමං කිරීම,  උතුරු හා නැගෙනහිර පළාත්වල විශේෂයෙනුත් අනෙක් පළාත්වලත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන/සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම (හුදු සංස්කරණය නොව), ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හැරීම, හැකි නම් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම (නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු එය වලංගු නැහැ), 13+ මුළුමනින් ම අත්හැර දැමීම, එට්කා අහෝසි කිරීම, රාජ්‍ය දේපොළ/ආයතන ආරක්‍ෂා කිරීම, ඒවා කිසිම හේතුවක් නිසාවත් පෞද්ගලික ආයතනවලට නොවිකිණීම/නොපැවරවීම, අත් අඩංගුවට ගෙන ඇති රණවිරුවන් නිදහස් කිරීම, මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය (එෆ්සීඅයිඩී) අහෝසිකිරීම, මැයි 18-22 කාලය නිදහස් කාලය ලෙස සැලකීම, පෙබරවාරි හතර නිදහස් දිනය ලෙස නොසැලකීම, වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මය දියුණු කර රට අහරින් ස්වයංපෝෂිත කිරීම, සිංහල වෙදකම දියුණු කිරීමට වැඩ පිලිවෙළක් දියත් කිරීම,  ඉතිහාසය පාසලේ අනිවාර්ය විෂයක් කිරීම, ජාතික දැනුමට මුල් තැන දෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම, සිසුන්ට දත්ත සැපයීම නොව ඔවුන් නිරවුල් චින්තනයට යොමු කිරීම, පාසලේ හා විශ්වවිද්‍යාලවල භාවනාවට කාල පරිචේඡද වෙන් කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතික හර පද්ධතිය ශක්තිමත් කිරීම හා ඒ ඇසුරෙන් අපරාධ වැළැක්වීම, ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා ශිල්පීය අධ්‍යාපනයට සිසුන් යොමු කිරීම, ජනමාධ්‍යයෙන් සංස්කෘතික හර පද්ධතිය විනාශ කිරීම වැළැක්වීම, නීතියෙන් නොව සංස්කෘතියෙන් මිනිසුන් දැහැමි කිරීම.

මේ එකක්වත් සිද්ධ වේ යැයි බලාපොරොත්තුවක් නැහැ. අද දේශපාලනඥයන් තීරණ ගන්නේ මීළඟ මැතිවරණය දෙස බලා ගෙන. එහි දී වැදගත් වන්නේ රට නොව ආසන සංවිධායකකම්, මන්ත්‍රීකම්, ඇමතිකම්, සභාපතිකම්, තානාපතිකම් ආදී කමකට නැති කම්.     


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-15