පළා බබා – 2


මස් කඩේ මුදලාලි සුල්ෆි නානා සිංහළ සමඟ දෙමළ කළවම් කරල; රත්නම් මහත්තයා සිංහළ, ඉංග්‍රීසි සමඟ දෙමළ කළවම් කරල දොඩමලු උනා. බීම බෝතල් එක එක හිස් උනා. රත්නම් මහත්තයා කිවු කතා වලට නම් කවුරුවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒකට සුල්ෆි නානා.. මාර කටක්.
හැමෝගෙම අදහස උනේ රජීව් ගාන්ධිට කෙළපු එක හොඳයි කියල.
දයා මැණිකේ .. ඒ කියන්නේ රත්නපාල මහත්තයගෙ පවුලයි , දුව- රත්නයි උදව්වට ඇවිත් උන්නු ළඟ පාත ගෑණු කෙනෙකුයි විටෙන් විටේ කුස්සියට දිව්වා. බයිට් සපයන්ට. හරක් මස්- කුකුළ් මස් බදින්ටයි.. මස් මාංශ නොකන රත්නම් මහත්තයට පපඩම් බදින්නයි.. බාලවයස්කාර කොලු ගැටවුනට ප්ලේන් ටී හදන්නයි.
පාටිය ඉවර වෙන කොට පහුවදා පාන්දර 2.00 යි. ඒ වෙන කොට රත්නම් මහත්තයාට බයිට් එක මාරු වෙලා කුකුළ් කටුවක් ලෑටි ගාමිනුයි හිටියේ.
” මචං.. අපි දෙන්නම් නියම ඔපීනියන්.. අපි දිනන්ට ඕන. නැද්ද මචං.. අපි මේ ගමේ මිනිස්සු. අපි මැරෙන්නෙත් මේකෙ. අරි..ද මචං.. අපි දිනල මේ ගමට සේවයක් කරමු..”
අවරුදු 15 ක විතර කොලු ගැටයෙකුට වැඩි වෙලා. උගෙ අම්මා ඇවිත් උගෙ කණට දෙකක් දීල ඇද ගෙන ගියා.
” අම්මේ…හ්.. අද මට සංතෝෂ වෙන්න ඕන දවසක්.. අම්ම යන්න.. මම එන්නම්.. අපි රත්නපාල මාම දිනවන්න ඕන..අරි.. ද.. අම්මා…හ්”
” යමන් ගෙදර.. දෙන්නම් මහ එකා ඉස්සරහ පිටම වෙරි බහින්ට”

සාලෙයි, මිදුලයි හරියට බෝම්බ දාල වගේ. කට්ටිය තැන් තැන් වල නිදි. ගල් අරක්කු බෝතල 15 කට එහා. බඩු මදි වෙලා ලුණු කැටත් දාල බීල තියෙන්නෙ. තැන් තැන් වල බාගෙට බීපු වීදුරු.. එකෙක් නියම හෝටලයක් දාල රත්නගෙ ඇන්තූරියම් පාත්තිය විනාසයි.
” අම්මේ. මට බෑ ඒ ජරාව අදින්න. දැන් නිදා ගම්මු. මම මේව හෙට අස් කරන්නම්”
” අද මෙහෙම නම් පහු වෙනකොට කොහොම තියෙයිද ? අද තමා ඔන්න තාත්තගෙ කෙරුවාවත් දැනගත්තෙ හරියට”

සාලෙ බිත්ති පුපුරල. තැන් තැන් වල ඩිස්ටෙම්පර් ගැලවිල. වේවැල් පුටු සැට් එක දයා මැණිකේ එනකොට ගෙනා එකක්. දහ දෙනෙක් එක පාර ආවොත් තේ හදන්න අහල පහල ගෙවල් වලට දුවන්න වෙනව.. පීරිසි කෝප්ප හොයන්න..කවදා ගොඩ එනටද මේ ජීවිතෙන්..

දහවල් 12.00 ට විතර මස් කඩේ මුදලාලිගෙ ලොරිය ආඟිරි ගා ගෙන වත්තට ඇතුළු උනා. ගේ දොර කඩට පස්ස සැට් වෙන්ට නතර කළා.
” මේක අපේ මුදලාලිගෙ ඕඩර් එකක්.. ගේ ඇතුළටම බාන්න කියලයි කිව්වේ”
අළුත්ම අළුත් පුටු සැට් එකක්. කෑම මේසයක්. ඒකට පුටු හයක්. තව සාමාන්‍ය පුටු දහයක් දොළහක් විතර.. ලොකු පොල් ලී වීදුරු කැබිනට් එකක්..
ඕං බලමුකෝ ඒකෙත් හැටි ? තව දිනලයැ. මේ මිනිස්සු කරන උදව් මතක තියා ගෙන ඉඳල ආපිට සළකන්න වෙයි ඔන්න”

ඉලෙක්ෂන් එකට සෑහෙන සල්ලියක් යාවි. ගමේ තියෙන කුඹුරු කෑල්ලවත් විකුණන්න ඕන. පස්සෙ බැරියැ ගන්ට එකට දහයක්..
ලොරිය පුටු ටික බාල ගියා විතරයි. ටොයෝටා හයි ඒස් එකක් ආවා. ඒක මිදුලේ අයිනේ පාක් කළා. ඩ්‍රයිවර් ගේ ඇතුළට ආවා.
ඒක එවල තියෙන්නේ පළාතේ ගරු මන්ත්‍රී තුමා.. හමීඩ් මහත්තයා. චන්ද වැඩ වලට වාහනයක් ඕනමයිනේ.
” මහත්තයට ඩ්‍රයිවර් කෙනෙක් නැත්නම් මට උනත් එන්න පුළුවන්.” ඩ්‍රයිවර් ගැටයා රත්නගෙ කකුල් දෙක දිහා හොරෙන් බලල එහෙම කිව්වා.”
අපි අපේ මල්ලිගෙ පුතාට එන්න කියමු. පොළිසියේ හිටියේ. දැන් වැඩ තහනම් කරල. ආරක්ෂාවටත් හොඳයි. විස්වාසෙටත් හොඳයි.

ගුරු මණ්ඩලයම දැන් දයා මැනිකේ ටීචර්ට පණ ඇරල.තේ බොන වෙලාවට ස්ටාෆ් රූම් එකට මොනව හරි කෑමක් අරන් එනව තරඟෙට. ඉස්කෝලෙ හාමිනේ දැන් උදේට ඉස්කොලේ යන්නෙ වෑන් එකේ. අතරමඟ ඉන්න අයත් දා ගෙන.

එදා රෑ තමයි රෑ.. එක පාරටම පිපිරුම් හඬක්. රතිඤ්ඤ වෙන්න බෑ. ඊට වඩා ලොකු බෙලෙක් සද්දයක්. ඊට පස්සෙ ගල් වරුසාවක්. වෙද මහත්තයගෙ බෙහෙත් සාප්පුවට.
” අනේ මේ මොන නස්පැත්තියක්ද ? අපි හිටපු විදියට හිටිය නං හොඳයි කියල හිතෙනව. තව ඉස්සරහට මොන මොන දේට මූණ දෙන්න වෙයිද ?”
” අර විල්සන්ගෙ කොල්ලගෙ නඩේ ඊයෙත් මේ පැත්ත බල බල ගියා. උන්ගෙ වැඩක් වෙන්න ඕන. පුක කහ ගන්න නියපොත්ත නෑ. රට අල්ලන්න යනව. හෙට බලා ගම්මුකෝ පොලිසියෙදි”
” නෝනාවරුනි. මහත්වරුනි.. සහෝද්ද සහෝදරයනි.. මට මේක දරා ගන්න බෑ. බොහොම මහන්සි වෙල හදපු අරිෂ්ට බෝතල් ටික. මම මේ ගමේ අයගෙන් තියා අහල ගමකින් ආවත් සල්ලි වලට බෙහෙත් දෙනවද?අතේ තියෙනවා නම් කීයක් හරි දීල යන්න කියවා මිසක්. මේවා කරන්නේකාටද? මව් වරුනි.. පියවරුනි.. මම මේ තමුන්නාන්සේලට හොඳ කරන්න නේද හදන්නේ…”

රත්නපාල වෙද මහත්තය බොහොම ආවේගවත් කතාවක් කළා. වචන ගලා ගෙන ආවෙ පීල්ලකින් වගේ. වයසක පහේ ගෑණු තුවා කෑලි වලින් කඳුළු මාත්තු කළා.

” නැන්දේ මාමට දැන ගන්න තියන්න එපා. ඒක කළේ මම. එහෙම තමයි චන්ද කඩන්නේ.. චන්ද එකතු කරන්නේ…මේ වැඩෙන් කී දෙනෙක් අපේ පැත්තට හැරුනද කියල නැන්ද හිතනවද ?”
එහෙම කිව්වෙ දයා මැණිකෙගෙ මල්ලිගෙ පුතා. අර ඩ්‍රයිවර් කමට ආ හාදයා.
” ඒත් අර විල්සන් ගෙ කොල්ල පොලිසියෙන් අරන් ගියේ?. උන්ගෙ අම්ම ඉස්සරහම පයින් ඇනල.. පව්..”
” එහෙම තමා නැන්ද චන්දෙ.. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි..”

මතු සම්බන්ධයි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to පළා බබා – 2

  1. මද්ද පවසයි:

    සුපිරියක් ලියමු ලියමු දිගටම

  2. rangi පවසයි:

    නිහාල් ආයේ ලියනන් ගත්ත එක නම් අගේ කරන්නම ඕනේ. කලින් කතාවේදිත් ඉක්මන් වෙලා බැහලා ගියා කියලා හිතුනේ මට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න