නිදහස් දිනයදාට පෙළපාලියේ යෑමට නියමිත ලැප්ටොප් නැටුමේ වීඩියෝව මමත් උපහාසාත්මකව පවුලේ වට්ස්ඇප් කණ්ඩායමත් එක්ක බෙදා ගත්ත තමයි. නමුත් අජිත් පැරකුම්ගේ ලිපියකින් ලැබුණු තොරතුරු ඔස්සේ මම නැවතත් ඒ ගැන  දිගට කල්පනා කරා.

මේ නැටුම පුහුණු කරලා තියෙන්නේ බිංගිරියේ සෞන්ධර්ය අධ්‍යාපන පීඨයේ ගුරුවරු පුහුණු කරන ප්‍රවීනයන්ලු. නටන්නේ අද හෙට පාසල්වල සෞන්ධර්ය උගන්නන්න යන ගුරුවරුලු. මේ අය උදේ හවා හරඹ කරන්නේ ලැප්ටොප් එක්ක මිසක් දෑ කැති කළ ගෙඩි එක්ක නෙවෙයිනේ. ගොයම් නැටුමෙන් කල ගෙඩි නැටුමෙන් ගොයම් කපන්න වතුර අදින්න  ඇගට ඕනි නම්‍යශීලී බව හෝ ඔරොත්තුව (stamina) ලැබුනා කියලා හිතමු. එහෙම බැලුවාම ලැප්ටොප් එක්ක හරඹ කරන පුහුණු ගුරුවරු ලැප්ටොප් එක අරන් නැටුවම වැරැද්දකුත් නෑ නේද?

මේ අය ඒ නැටුමෙන් අපට කියන්නේ මොකක්ද? මේ මොහොතේත් ලැප්ටොප් එක ලඟ කුදු ගහගෙන ඉන්න මටත් තක්කිට තරිකට කියලා නැටුම පදයක් නැටුවොත් හොඳයි කියල ද? ඇත්තටම එර්ගොනොමික්ස් දන්නා අය කියන්නේ එක දිගට වාඩි වෙලා දිගටම වැඩ කරන්නේ නැතුව පොඩ්ඩක් ඇඟේ හිරි ඇරෙන්න මොනවා හරි කරන්න කියලා. මේ  ලියන මමත් පොඩ්ඩකට නැගිටලා කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල පොඩි නැටුමක් නටලා ආවා! ඇත්තටම ඇඟට හොඳ ප්‍රබෝධයක් ලැබුනා.

ඊ ලඟට, ‘සබක්’ හෙවත් substance නැතිව ආටෝපය මුල් කර ගත් උත්සව පෙරහැරවල් ගැන කතා කරන්නත් මේක හොඳ අවස්තාවක්.

මම මේ ලඟදි තෙත් බිම් ගැන ආණ්ඩුවේ ආයතනයකින් සූදානම් කරපු පැය දෙකක වැඩ සටහනකට ගියා. අන්තර්ගයේ ඇති දෙයක් නෑ. නමුත්ව ආටෝපය ඉහලයි. ලියා පදිංචි වෙන කොටම පොඩි තෑග්ගක් ලැබුනා. පටන් ගන්න කොටම ආයතනයේ තරුණ ඉංජිනේරුවරියක්  දිලිසෙන සාරියක් ඇදගෙන පැනලයේ අය ගැන ප්‍රශස්ති කිවුවා. ඒ විකාර නැතිව මේ ගෑනු ළමයට තිබුනනේ දැනට අපේ තෙත් බිම් ගැන වල සංඛ්‍යා ලේඛන ඇතිව අපට යම් හැදින් වීමක් දෙන්න.  එහෙම දෙයක් මේ අයගේ මොලේට වැටෙන්නේ නෑ. අයි ඉස්කොලවල්ත්එ කරන්නේ විභාග වලට ලෑස්ති වීමය පෙරහැරවල්යා කිරීමයි පමණක්නේ. ප්‍රශස්ති කියපු පැනලයේ අයගෙන් පිටරටින් ආපු එක්කෙනා හැරුනාම අනිත් අයගේ දැනුමයි මාතෘකාවයි අතර වැඩි සම්බන්ධයක් නෑ. ඒ අය මාතෘකාව කෙසේ වෙතත් තමන් දන්නා දේ ගැන මොන මොනවාද කිවුවා. ඉවර වුණාම වෝට් ඔෆ් තැන්ක්ස්  කියලා ආයෙත් ප්‍රශස්ති කිවුවා. මේ පැය දෙකේ සොච්චම් වැඩේට අරයට මෙයාට ඉස්තූති කරා. ඊ ලඟට තේ පැන් සංග්‍රහයකටත්  ආරාධනය කළා. ආටෝපය මිස සබ නැති මේ වගේ පෙරහරවල් තියන අයගේ සංග්‍රහ අනේ එපා කියලා  මම ගෙදර ආවා.

මොනවා වුනත් මේ නැටුම නිසා සමාජයේ සංවාදයක් ඇති කරන්න හොද අවස්ථාවක් ලැබුනා කියලා මම හිතනවා.

තරුණ ගුරු මෙනවියෙනි,  ඔබ මොන අර්ථයෙන් මෙම නැටුම නැටුවත්, ඔබත් අපිත් අපේ සමාජයේ යථාර්ථයේ නැති සංස්කෘතියකට ආවැඩීම නැවැත්වීම අපේ ඉස්කෝල වලින් පටන් ගන්න ඔබට විචාර  බුද්ධිය හා ධෛර්ය පතමින් මම නවතිනවා.