between_02

 

පහතින් පළ වන්නේ, අප වෙත අහම්බයෙන් ලැබුණු, ‘අනන්ත එදිරිසූරිය’ මහතා ගේ සටහන් පොත් අතර තිබූ එක සටහනකි. එහි කිසිදු සංසකරණයකින් තොරව මෙහි පළ කර තිබේ. මේ සටහන සඳහා දිනයක් දමා නොමැති වුවත් මෙය 2017 වසරේ අවසානයේ ලියවූවක් කියා විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ. මේ කාලය තුළ අනන්ත එදිරිසූරිය, අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ කළ දීර්ඝ සංචාරයට පසුව, සිය සොයා ගැනීම් ලියා තැබීමේ අරමුණින් මහරගම දුම්රිය පටුමගේ පිහිටි සිය බෝඩිම් කාමරයට නැවත පැමිණ තිබේ.

සංස්කරණය කිරීමකින් තොරව පළ කරනා බැවින් මෙම ලිපි අතර අකණ්ඩතාවයක් හඳුනා ගැනීම එතරම් පහසු නොවේ. නමුත් ඉදිරි මැතිවරණය සමග ඇති වී තිබෙන දේශපාලන උනන්දුව වැඩිදියුණු කිරීම දේශපාලනය සම්බන්ධයෙන් තිබෙනා පොදු කතා බහ වඩා උසස් තැනකට ගෙන යාමට යොදා ගත හැකි නිසා, මෙම ලියවිලි – “අහසින් වැටුණු අදහස්” යන නමින් – මෙලෙස පළ කරන්නට තීරණය විය.

 

***

 

දර්ශනයේ ප්‍රාග්ඉතිහාසය ආරම්භ වන්නේ ‘වටිනාකම’ පිළිබඳව කතිකාව සහ ‘පැවැත්ම’ පිළිබඳව කතිකාව අතර සිදු වන වෙන් වීමක් සමගයි. පූර්ව-සොක්‍රටීසියානු දාර්ශනිකයන් – තේල්ස්, ඇනෙක්සිමැන්ඩර්, හේරක්ලිටස් ආදී – අතින් පළමුවෙන් සිදු වූ දෙය තේරුම් ගත හැකි එක් ආකාරයක් වන්නේ මෙයයි. සමහරවිට, ඉතිහාසයේ පළමු වරට, ‘ස්වභාවික ලෝකය’ පිළිබඳව කතිකාව අර්ථකථනය කිරීමේ හැකියාව පුරාකතා (myths) වලින් චින්තනය වෙත මාරු විය. එයට පෙර පුරාතණ ග්‍රීකයන් ලෝකය සහ යථාර්ථය තේරුම් ගත්තේ මෙම පුරාකාතා ඇසුරිනි – මිහිකත දිව්‍ය කාන්තාව ගායා ගේ පුත් ක්‍රෝනස් සහ ඔහුගේ පුත්‍රයා වන සියුස් දෙවියන් අතින් පාලනය වන ලෝකයක්.

තේල්ස් සහ ඔහුට පසුව පැමිණි අයෝනියාවේ පෞරාණික චින්තකයන් අතින් අභියෝගයට ලක් වන්නේ ලෝකයේ ස්වභාවය පිළිබඳව මෙම පෞරාණික ආකෘතියයි. මේ හරහා පැවැත්ම පිළිබඳව කතිකාව පළමු වරට පුරාකතා වලින් සහ ආගමික භක්තියෙන් වෙන් විය. නමුත් පුරාකතා සහ ආගමික භක්තිය මගින් පැහැදිළි කළේ මිනිසාගේ සහ ලෝකයේ පැවැත්ම පමණක් නොවේ. ඒ හා සමාන ලෙස එය වටිනාකම යනු කුමක්ද කියා අපට පැහැදිළි කර දෙන කතිකාවක් ද විය. යුක්තිය, සත්‍යය, සුන්දරත්වය, යහපත ආදිය කුමක්ද කියා අර්ථකථනය කෙරුණේ මෙම කතිකාව හරහාය. අයෝනියාවේ චින්තකයන් මැදිහත්වීමට පෙර මේ සියල්ල – ‘පැවැත්ම’ සහ ‘වටිනාකම්’ – අර්ථකථනය කරනු ලැබුවේ එකම කතිකාවකින් – ‘ග්‍රීක පුරාකතා’ – වන නිසා කිසිදු ගැටලුවක් ඇති වූයේ නැත. නමුත්, පූර්ව-සොක්‍රටීසියානු චින්තකයන් අතින් ‘පැවැත්ම’ පිළිබඳ කතිකාව සබුද්ධික ප්‍රශ්නකිරීමක් බවට පත්කිරීමත් සමග ‘වටිනාකම’ පිළිබඳ කතිකාව සතු වූ සද්භාවවේදී පදනම එයින් ගිලිහී යයි. තවදුරටත් යහපත් දේ කිරීම සඳහා පරම වූ හේතුවක් නොමැති වේ. ‘අයහපත්’ දේ කරනා මිනිසුන් ට එරෙහිව දිව්‍යමය අකුණු සැර පතිත කළ හැකි සියුස් දෙවි කෙනෙක් ‘යථාර්ථයේ’ නොමැති විය. එම නිසා අපගේ ලෝකයේ ඇති යහපත සහ යුක්තිය යනු ප්‍රායෝගිකව, අවස්ථානුකූලව තීරණය කළ යුතු ‘සාපේක්ෂ’ වටිනාකම් මිස, තවදුරටත්, සද්භාවවේදී වටිනාකමක් ඇති දේ නොවේ. මක්නිසාද යත්, පැවැත්ම පිළිබඳව කතිකාව සහ වටිනාකම් පිළිබඳව කතිකාව තවදුරටත් සමපාත වන්නේ නැත.

දර්ශනයේ ඉතිහාසය සත්‍ය වශයෙන්ම ආරම්භ වන්නේ සොක්‍රටීස්ගෙන් කියා පවසනා විට එහි අර්ථය වටහා ගත හැකි වන සන්දර්භය මෙයයි. පැවැත්ම පිළිබඳව සබුද්ධික කතිකාවක් ඇති කිරීමෙන් යහපත සහ සාධාරණත්වය පිළිබඳව ආගමික සහතිකකිරීම අර්බුධයට යන බව වටහා ගත් පළමු චින්තකයා වන්නේ ඔහුයි. යුක්තිය, යහපත, සුන්දරත්වය ආදිය පිළිබඳව තවදුරටත් සම්ප්‍රදාය මත පමණක් පදනම් වී අර්ථයක් ලබා දිය හැකිද යන්න ඔහු අතින් ප්‍රශ්න කිරීමට ලක් විය. ඉතිහාසයේ පළමු දාර්ශනික පද්ධතිය බිහි වන්නේ සිය ගුරුවරයා ගේ මෙම අතිමූලික ප්‍රශ්නයට ප්ලේටෝ අතින් නිර්මාණය වූ පිළිතුරත් සමගයි. ‘අදහස’ (Idea) යන ප්ලේටෝනික සංකල්පය හරහා නැවතත් පැවැත්ම පිළිබඳව කතිකාව සහ වටිනාකම පිළිබඳ කතිකාව යළි එකතු විය. එකිනෙකා සමග ගැටෙන්නේ නොමැතිව පරිපූර්ණ වෘතාකාර චලනයක යෙදෙනවාය කියා ප්ලේටෝ උපකල්පනය කළ ග්‍රහ වස්තූන් අතින් මෙම ‘අදහස්’ වල ලෝකයේ යුක්තිය නිරූපණය වන බව ප්ලේටෝ විශ්වාසය කළේය.

දර්ශනයේ ඉතිහාසය අපට තේරුම් ගත හැකි එක ආකාරයක් වන්නේ සොක්‍රටීස් ගේ ප්‍රශ්න කිරීම සහ ප්ලේටෝ ගේ පිළිතුර විවිධ ස්වරූපයන් වලින් පුනරාවර්තනය වීමක් ලෙසයි. වෙනත් ආකාරයකට කියන්නේනම් දර්ශනය භ්‍රමණය වන්නේ පැවැත්ම පිළිබඳ කතිකාව සහ යුක්තිය පිළිබඳ කතිකාව යන දෙකම පිළිබඳව එක විට සිතන්නේ කොහොමද යන කේන්ද්‍රීය ප්‍රශ්නය සහ එයට ලබා දෙන පිළිතුර වටාය. එම නිසා ‘යුක්තිය’ පිළිබඳ ප්‍රශ්නය අමතකර කරනා කෙනෙක් හට කිසිදා දර්ශනය පිළිබඳව සිතීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

ජ.වි.පෙ පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරමු කියා මා යෝජනා කරනා ප්‍රවේශය වන්නේ මෙයයි. ජ.වි.පෙ., සිය පෙනී සිටීම හරහා, අප වෙත එල්ල කරන අර්ථකථන අභියෝගය මග හැර ගොස් ‘යුක්තිය’ පිළිබඳව සමකාලීන සාකච්ඡාවක් කළ හැකියැයි මා සිතන්නේ නැත.

මෙයට විශ්වාසී,

අනන්ත එදිරිසූරිය

 

 

 

***