Saturday 27 January 2018

අන්තෝ ජටා..... බහි ජටා.....

මේ  තරම් ඝෝෂාව මැද්දෙත් මට ඇහෙන්නෙ මගේ පපුවෙ ඩිඩ් ඩිඩ් ගාන සද්දෙ විතරයි.ඒක ඒ තරම්ම සද්දෙට මට ඇහෙනව.
ඇහෙන ගානටම මගේ මුළු පපුවම ගැහෙනව.ඒක මටම පාලනය කර ගන්න බැහ.නෑ පපුව නෙමෙයි...මුලු ඇඟම .....ඔව්...මුලු ඇඟම  ගැහෙනව...
"ම්හ......" තත්පරයක් ඇස් පියගෙන  , තොල් තදකරගෙන  , ලෝකෙම ඇදල ගන්න පුලුවන් වගේ හුස්මක් අරන් ,  එලියට දානකොට මුලු ඇඟ පුරාම ,  ආපුහු නතර වෙලා තිබුනු ලේ ටික ගමන් කරන්න පටන් ගත්ත වගේ දැනෙනවා.

වෙච්ච් දේ වෙලා ඉවරයි...දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හිතේ හයිය විතරයි.
ඒක හයියක් නෙමෙයි...බලාපොරොත්තු වලින් හදපු පොඩි මුක්කුවක් විතරයි.

කමක් නෑ බලමු.

"ඇඳ අටේ ලෙඩාගෙ කවුරු හරි ඉන්නවද ?"
මිස් කෙනෙක් ඈතින් කෑ ගහන සද්දෙ ඇහුනු ඔය වෙලාවෙ තමයි...

මම එනකොටම මොක උනත් හැමෝම ඉඩ දෙනවා. බොරුවට ලෝකෙට පේන්න හරි , මිනිස්සු නැති මනුස්සකම් පෙන්නන්න හදන එකත් වෙලාවකට ලොකු දෙයක්.
"ඇයි මිසී"..

"ලෙඩාගෙ බ්ල්ඩ්  එකක් චෙක් කරන්න තියෙනව. හැබයි ඒ ටෙස්ට් එක මෙහෙ කරන්න විදියක් නෑ.
අපි බ්ල්ඩ් එකක් ටියුබ් එකකට අරන් දෙන්නම් , පුලුවන් තරම් ඉක්මනට නරාහෙන්පිටට ගිහිල්ල දීලා අදම රිපෝට් එක අරන් එන්න වෙයි. මේක බොහොම හදිසි තත්වයක්...."

ඔලුවට ගල් ගෙඩියකින් ගැහුව වගේ ගැස්සෙන්න ගත්ත.

"බය වෙන්න එපා . අපි බ්ල්ඩ් එක අයිස් වල දාල දෙන්නම් , පැයක් වගේ ඇතුලත ගිහින් දෙන්න බලන්න."

"හරි...මිස්..." ඒ වෙලාවේ , මම හිතල කිව්වද නැද්ද කියල මටත් අදහසක් තිබුනෙ නෑ.

"ඔයාද අරන් යන්නෙ.... වෙන කවුරුවත් නැද්ද ?" මිස් මගේ මූන දිහා නොබල , ඒත් මං දිහා බලගෙන අහුවෙ.

"නෑ , ගැටළුවක් නෑ මිස්..  මම කොහොමහරි , කවුරු හරි අතේ හරි යවන්නම්. මට බ්ලඩ් එක ඉක්මනට අරන් දෙන්නකො"

කරන ව්දිය කෙසේ වෙතත් ඒ වෙලවෙ මට තිබුනෙ මේක කොහොම හරි කරනව කියන හැඟීම විතරමයි.

සල්ලි දාගන්න කියල පර්ස් එකක් තිබුනට දැන් එකෙ තියෙන සොච්චමෙන් ත්‍රීවීල් වල යන්න බෑ.
ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි උනාට , දැන් නම් ජීවිත දෙකක්ම තියෙන්නෙ සල්ලි උඩ.

ටෙස්ට් එකට සල්ලි තියාගන්නත් ඕන.. සෝවාන් වුනා වගේ කතා කලාට මෙතන ඉඳන් නාරාහෙන්පිටට නිකන් එක්කන් යන්න කවුරුවත් කැමති  නෑ. මම ඒක දන්නව.
ලෙඩා ඉන්නෙ රජයෙ රෝහලේ උනාට , අපි අවේ රෝද හතරකින් කියල පෙන්නන්න වගෙ යතුර කර කවකව හිටපු මහත්තුරු කීප දෙනෙක්ම මට කිව්ව පණිවිඩය ඇහිල ඇහුන්නෑ වගේ ලිස්සල යන හැටිත් මම දැක්ක.
කවුරු උනත් කැමති  නෑ බොරු කරදර වල වැටෙන්න.
එහෙම තමයි හැමෝම.
මේ ප්‍රශ්නෙ මගෙ. මේක දැන් මම විසඳන්න ඕන.

"මිස් මට මේ රෙජිෆෝම් පෙට්ටිය පොඩි කඩදාසියක ඔතල දෙන්න පුලුවන්ද ?"
ලේ සාම්පලය අතට දුන් ගමන් මම ඒ ගැම්මටම අරන් යන විදිය හිතින් මවා ගත්ත.
ගමනට උපරිම ලෙහෙසි වෙන විදියට හැම දේම පුලුවන් විදියට ලෑස්ති කර ගත්ත.
බයික් එකේ යතුර ඉස්සෙලම  මගේ ළඟට ගත්ත.
මෙහෙම දෙයක් ගැන හිතල නොවුනට මම ඉස්සෙල්ලම කළේ ඒක.
"තැන්ක් යූ මිස්"
මම යනවද , ඉබේ යැවෙනවද කියල මටම තේරෙන්නෙ නෑ. මට හරියටම දැනෙන්නෙ ඉංග්‍රීසි චිත්‍රපටියක වීරය ලොකු වීරක්‍රියාවකට යනව වගේ. වීරයා නම් හැම වෙලාවෙම දිනනව. ඒත්........
මමත් වෙන්න පුලුවන් හොඳම දේ හිතින් මවා ගෙන , ලේ සාම්පලය පපුවට තද කරගෙන එලියට දිව්ව.

ඔලුවෙ නානාප්‍රකාර ප්‍රශ්න පෝලිම් ගැහිල ඉන්නව පිළිවෙලට වද දෙන්න.
කොච්චර හොඳ දේම හිතුවත් , ක්ෂනිකව වෙන්න පුලුවන් භයානකම දේත් හිතෙන එක නවත්තනත් බෑ.

ගෙනාපු කෑම එක ඇටෙන්ඩර් කෙනෙක් අතේ අම්මට යැව්වට ඒක හම්බ උනාද දන්නෙත් නෑ...
ඒ යකා අම්මට මොනව කිව්වද දන්නෙත් නෑ....
රුපියල් දෙසීයකට කෑම එක ගිහින් දෙන්න කැමති වුන එකම හොඳයි.
වීරය වගේ ආවට බයික් එකේ මට යා ගන්න පුලුවන් වෙයිද මන්ද..

කෙළවරක් නැතුව ඔලුවට එන දේවල් වලින් හැම තිස්සෙම මගේ අවදානය බිඳුනා.

"හරි" , බයික් එකටත් නැග්ග, බලමු... "
 ලේ සාම්පලය පුලුවන් තරම් තදින් පපුවට තියල තද කරගෙන බයික් එක සමබර කරගත්ත.

"පුලුවන්...ඔව් ....පුලුවන්....."
මම ඇස් තද කරගෙන පුලුවාන්තරම් හයියෙන් , හිතින් කෑ ගැහුව.
බයිසිකලය සමබර කරන විට මගේ දකුනතේ මස් පිඬු ඉලිප්පෙන හැටි පේන කොට ඇඟ පුරාම පුදුම ශක්තියක් ගලා ගියා.
ඒක කවදාවත් නොආපු ආත්ම විශ්වාසයක්. ඉස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා  හිරි වැටිල දැනුනු ඒ ගැම්මට  , යොධයෙක් උනත් උස්සල පොලවෙ ගහන්න පුලුවන් ශක්තියක් තියෙන බව මට තෙරුනා.  
මම ලැහස්තියි..... දැන් කාටවත් මාව නවත්තන්න බෑ.
එක ගැම්මටම මම ගමන පටන් ගත්ත.

හෙල්මට් දාගෙන හිටියත් , කරන්නෙ වැරද්දක් කියල මම හොඳාකරවම දැනගෙන හිටිය. දැන් මම ඉන්නෙ හරි වැරැද්ද විනිශ්චය කරන්න පුලුවන් මානසික මට්ටමක නොවන බවත් මම දැනගෙන හිටිය.
ඒ සියල්ල මැද මම අසීමිත ආත්ම විශ්වාසයෙන්, ඉදිරියටම ඇදුන.

බයිසිකලයේ වේගයට  , පපුව හරහා යන සුළං පහරෙනුත් මගේ මුළු ඇඟම සීතලට වෙවුලලා ගියා. දකුනත පණ නැති වේගෙන එන තරම් වේදනාවක් අත දිගේ උරහිස දක්වාම ඇදීගියා.
"නෑ...  මම නතර වෙන්නෙ නෑ..."  ඒ වේදනාවම පොලව දෙදරන හඬින් මගේ කන් දෙක අසලම දෝංකාර දෙන්න ගත්ත.

මගේ පලමු කඩඉම මටත් වඩා මේ ලේ වල උරුමක්කාරයගෙ වාසනාවට පහුකරගන්න පුළුවන් වුනා.ඒ කොලඹ දැවැන්තම පස්මන් හන්දිය  අවට සිටි පොලිස් නිලධාරීන් දෙන්නෙක් ගෙ ඇස් වලට වැලි ගසා ඒමයි.

මෙතනින් පස්සෙ බය වෙන්න දෙයක් නෑ.
එය මොනම ආකරයකින් හෝ මගේ සිතේ සැහල්ලුවක් ගෙන ඒමට තරම් කාරණ්යක් වූයේ නැත.

"තව ටිකයි....ඔහොම යං...." ටිකෙන් ටික නරාහෙන්පිට හන්දිය කිට්ටුවටම අවා.
වාසනාව හැම තිස්සෙම මගේ ළඟ නැති බව මට ටික වෙලාවකින්ම පෙනුනා.
හන්දියෙ හිටපු රාලහාමි විසිල් එක ගහල ඈත ඉඳන්ම මට අත වැනුව.
ඒක විසිල් එකක් උනාට මට ඇහුනෙ කණ බීරි වෙන සද්දයක් වගේ. ඇත්තටම ඒ වෙලාවෙ මගේ කකුල් දෙකම ටිකක් වෙව්ලල ගියා.
පපුවෙ ගැස්මත් වැඩිවුනා....... ඒ ක්ෂනිකයෙන් මට මොක්ද්දෝ දෙයක් ආවේශ වුනා වගෙ එකපාරටම බයික් එක රේස් කරල වංගුව ගත්ත.
ඒ කිසි දෙයක් මම හිතල කරාද කියලවත් මට මතක නෑ.
පොලිස් අණට විරුද්ධව යන එකේ බරපතල කම අන්ශුමාත්‍රයක් වත් හිතට දැනුනෙ නෑ.

"ඕන මඟුලක්....මම යනව යනව යනවමයි.......  " කොච්චර වේගෙන් ගියාද කියනවනම්  මම තනි අතින් බයික් එක කොහොම සමබර කරගෙන ගියාද කියල මටම හිතාගන්න බෑ.

විදුලි වේගයෙන් කිව්වට මට දැනුනෙ මම ඊටත් වඩා වේගයෙන් ගියා කියලයි.
මගේ දෑස් දිලිසෙන්න පටන්ගත්ත ඇස් ඉදිරිපිටම  ලැබ් එකෙ බෝඩ් එක පෙනෙනකොට. මීටර සියය තරඟයක් දින්න වගෙ හැඟීමක් මට ඒ වෙලාවෙ නම් තිබුනෙ.
"චරාස්......." පාරේ රොද පාර අඟලක් තරම් ඇතුලට හිටින විදියට බයික් එක නතර කළ මම , එකඳු තත්පරයක්වත් අපතේ නොයවාම ,  පැමිනි රාජකාරිය සඳහා ඉගිලුනා.

කෙළවරක් නැති ප්‍රශ්න පත්‍රයක එක් ප්‍රශ්නයක් ඉවර උනා. මම සැනසුම් සුසුම් හෙලනු වෙනුවට ඉතිරි ප්‍රශ්න ගැන ආපහු හිතන්න පටන් ගත්තා.

එක එක විසඳමු..... කලබල වෙලා කොහොමත් වැඩක් නෑ. දැන් ඔලුවටත් උඩින් වතුර ගිහින් ඉවරයි. පීනන විදිය ගැන පස්සෙ හිතමු. දැන් අත පය ගහල හරි උඩට එන්න ඕන.

මම කෝටියක් දෙවල් හිත හිත නැවත බයික් එක ළඟට එන්න ගත්තා.

"අන්තෝ ජටා.. බහි ජටා..."  පොලිසිය මගේ බයික් එක ගාව.

එනකොට තිබුනු සන්ත්‍රාසය පොඩ්ඩක්වත් මගේ හිතේ මේ වෙලවෙ තිබුනෙ නෑ. තව මොනව වෙන්නද..
ගිහින් ඇත්තම කියනව.....

"ලයිසන් තියෙනවද"
මම මුකුත් නොකියාම බිම බලා ගෙනම හිටිය.

"දැන් ආපහු කොහේ හරි යන්න හිතන් ඉන්නවද ?" රාලහාමි අමුතු ප්‍රශ්නයක් මගේ ඇස් දෙක දිහාම බලාගෙන ඇහුව.

මට කියන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නැහැ එ වෙලාවෙ.... තව වෙන්න කියල දෙයකුත් නැහැ.
"ඔව් රාලහාමි.... ඉස්පිරිතාලෙට යන්න ඕන.."
රාලහාමි මමත් කැටුව සෙනඟ අඩු ,තද බදයක් නැති තැනකට පයින්ම ගියා.

"අතට මොකද්ද උනේ...."

"ඉපදෙනකොටම මෙච්චර තමා රාලහාමි තිබුනෙ..."
රාලහාමිට මගේ ශාරිරික දුබල තාවය නිසා හෝ අනුකම්පාවක් සිතුනොත් ඒ මගේ වාසනාවයි මට සිතුන.

"රාජකාරියට අනුකම්පාව අදාල නෑ.... තමුන් කරේ බරපතල වැරැද්දක්....."

මගේ අවසන් බලාපොරිත්තුවත් ගිලිහී ගියා...
"ඔව් රාලහාමි... මම දන්නවා.. මට ඕන දඩයක් ගහන්න.....ඕන නඩුවක් උනත් කමක් නෑ.... මම මේ වෙලාවෙ කොහොම හරි ඉස්පිරිතාලෙට යන්න ඕන...."

"අම්ම අසනීප වෙලා ඇඩ්මිට් කළේ ඊයෙ....  අම්මට ලොකු අමාරුවක් නම් නෑ... අද මමයි මල්ලියි  අම්ම බලන්න ඉස්පිරිතාලෙට ආවා.කෑමත් අරගෙන.
ඉස්පිරිතාලෙ ඇතුලට  ගියා විතරයි... මල්ලි එක පාරටම පපුව පොඩ්ඩක් රිදෙනව කියල වාඩි වුනා... ඒත් එක්කම මල්ලි පුටුවෙනුත්සිහි නැතුව වැටුන.... දැන් මල්ලි ඉන්නෙ දොලහෙ වට්ටුවෙ , ඇඳ අංක අටේ. මල්ලිට නම් ටිකක් අමාරුයි රාලහමි..."

"ඉතින් මෝඩයෝ , මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුන්  ඊටත් වඩා අවදානමක් ගත්තහම හරියනවද ?  , දැන් මේ ගමන එද්දි වෙන මොකක් හරි කරදරයක් තමුන්ට උනානම් , තුන් දෙනාම අමාරුවෙ වැටෙනවනෙ..... බලනව තමුසෙ කරපු ගොන් වැඩක තරම"
"තමුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක නවත්තන්න මට බෑ.... දෙනව මට අයිඩී එක.."

"මිනිස්සු උනාම සුපර් මෑන්ල වෙන්න යන්න කලින් කලබල නොවී කරන්න තියෙන හොඳම දේ කරන්න ඕන.."

මගේ සියළුම විස්තර සටහන් කරගන්නා අතර තුර කෙලවරක් නැතිවම මට දොස් දෙන්න විය.

"පී සී , මේ බයික් එක පොලීසියට ගෙනියන්න.  අතන ඉන්න දෙන්නට ජන්ක්ශන් එකේ ඩියුටි පොඩ්ඩක් බලන්න කියන්න."

"හ්ම්.... යමු මාත් එක්ක.... මොකද්ද වාට්ටුව කිව්වෙ.....දොලහනෙ.... මම දන්න කීපදෙනෙක් ඉන්නව එතන. නගින්න...."

මගේ ප්‍රශ්න පත්‍රයට තව ප්‍රශ්නයක් එකතු වුනා......
එ උනාට කලින් ප්‍රශ්නෙන් තව ගොඩක් ප්‍රශ්න විසඳුනා........

No comments:

Post a Comment