අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාව තවමත් බැද්දේගම තුල හිර වී සිටී

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 17, 2018

“විශ්වයේ තියනව යමක්. ඒක විස්තර කරන්න සහ විශ්ලේෂණය කරන්නට දායක වෙන්න ස්වභාවික විද්‍යා අපොහොසත්. ඒ සිද්ධීන් වලට එහායින් තියෙන තව සිද්ධීන් තමයි නිරීක්ෂණය කරල විස්තර කරන්න ස්වභාවික විද්‍යා සුදුසු වෙන්නෙ. ඒ තියෙන්නෙ මිනිස් ක්‍රියාකාරකම්.” ලුඩ්විග් වොන් මීසස් එහෙම සඳහන් කරන්නෙ 1962 දී ලියූ “ආර්ථික විද්‍යාවේ පරම පදනම, ක්‍රමය ගැන රචනාවක් නම් වූ කෘතියේ. රචනාවක් කිව්වට මේකෙ පිටු 150 ක් විතර තියනව. යේල් විශ්ව විද්‍යාලයේ ප්‍රකාශනයක් හැටියට පිටු 885 ක් පමණ වූ ලුඩ්විග් වොන් මීසස් ලියූ “මිනිස් ක්‍රියාකාරකම්” පොත නිකුත් වුනේ 1949 දී. නමුත් තවමත් ලෝකයේ බොහෝ දෙනෙකුට “මිනිස් ක්‍රියාකාරකම්” ගැන ඇති අවබෝධය ඇබිත්තයි.

මිනිස් ක්‍රියාකාරකම් ගැන අනාවැකි කියන්න පුළුවන් හරිය බැහැරකට දාලා අනාවැකි කියන්න බැරි කොටස ගැන විශේෂ අවධානයකින් යුතුව වැඩකරන හැදියාව තවමත් ලොව පුරා හැම අත පැතිර පවතිනව. අරමුණු ගැන බෙර ගහල පටන් ගන්න වැඩසටහන් ගොඩක් අසාර්ථක වෙන්නෙ ඒ මිනිස් ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් නැතිකම නිසයි.

1913 දී ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නවකතාව තුල දකින්න පුළුවන් වාතාවරණයේම තමයි ලංකාව තවමත් කටයුතු කරන්නෙ. මේ සහ ඊ ළඟ සටහන් වලින් මම මේ ගැන තව පැහැදිලි කරන්නම්.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ යටත්විජිත පරිපාලන සේවයේ නිලධාරියෙකු හැටියට සේවය කළ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් බැද්දේගම නමින් අපිට කියවන්න ලැබෙන The Village in the Jungle ලිව්වෙ එයා 1904 සිට 1911 දක්වා ලංකාවේ පරිපාලනයේ යෙදී සිටි කාලය තුල ලබාගත් අත්දැකීම් වලින්.

බැද්දේගම කියන්නෙ දුෂ්කර පළාතක පිහිටන පුංචි ගමක වාසය කරන දුප්පත් පවුලක් ගැන ප්‍රබන්ධයක්. රුදුරු ස්වභාව ධර්මයෙන්, දුප්පත්කමෙන්, බෝවෙන ලෙඩ රෝග වලින්, මිථ්‍යා විශ්වාස වලින් වගේම කිසිත් අනුකම්පාවක් නොදක්වන යටත්විජිත ක්‍රමයෙන් ද ඒ දුප්පත් පවුල නැඟී සිටින්න ගන්න වෑයම මේ කතාවේ තේමාව වෙනව.

කැළෑව කියන “රකුසා” නිතරම ඔවුන් බිලිගන්න බලාගෙන ඉන්නව.

අනිත් සත්තුන්ට වගේ පණ ආරක්ෂා කරගෙන වැඩිවියට පත්වෙන්න හැකියාවක් මිනිසාට සහජයෙන් ලැබී නැහැ. මිනිස් සත්වයා කියන්නෙ උප්පත්තියේ දී ඉතාමත් අසරණ ප්‍රාණියෙක්. ඒත් එහෙම උපත ලබන මිනිස් සත්වයා අනිත් සියළු සත්තුන්ට වඩා ස්වභාව ධර්මය තම වාසියට හැඩගසා ගන්නට සමත් වෙනව. ඒ ඔහුට කළින් විසූ මිනිසුන්ගේ දැනුම සිය වාසියට යොදාගන්න හැකියාව ඔහු සතුවීම නිසයි. තවත් විදියකින් කිව්වොත් සාර්ථක දේවල් තෝරාගෙන අසාර්ථක දේ නොකර ඉන්න හැකියාවක් ඔහුට තිබීමයි.

ඒත්, 1913 දී අසාර්ථක වූ ප්‍රතිපත්ති 2017 දී ත් ඒ විදියටම ක්‍රියාත්මක කරන පිළිවෙතක මිනිසා හිරවෙලා ඉන්නව නම්? එවැනි සමාජයක වාසය කරන මිනිසෙකුගේ ජීවන තත්වයේ වැඩි දියුණුවක් තියේද?

වුල්ෆ් බැද්දේගම පටන් ගන්නෙ ගම ගිලගන්න බලාගෙන ඉන්න කැලෑව ගැන අනතුරු දැක්වීමකින්. “අපි වනයට බිය නැතැයි වහසි කියන්නෝ සිටිත්.” … “බය වෙන්නට දෙයක් කැලයේ නැතැයි පුරසාරම් දෙඩූ ඔහු අන්තිමේ දී කැලයට බත් වුණ බව පමණක් මට කිය හැකිය.”

මෙතැන දී වුල්ෆ් කරන්නේ රජය ගෙනෙන ක්‍රියාදාම වලින් වනය නමැති රකුසා හමුවේ ගම්වැසියාට ආරක්ෂාවක් ලැබේවි යන්න ව්‍යංගාර්ථයෙන් පැවසීමට ඉඩකඩක් පාදා ගැනීමයි. ගම්වැසියන් ඉදිකරගත් වේල්ලක් ගැනත්, එහි එකතු කරගන්නා වර්ෂා ජලයෙන් වගා කරන කුඹුරු ගැනත් සඳහනක් කැලෑව නැමති රකුසා සඳහනට අනතුරුව දැක්වේ.

වැව් පිරෙද්දී පමණක් ගොවිතැන් කළ බැද්දේගම පළාතේ මිනිස්සුන්ට, බ්‍රිතාන්‍ය පාලනයෙන් වැව් ජලාශ සහ වාරිමාර්ග ඉදිකරදෙනු ලැබීය. බැද්දේගම නවකතාවේ නොකියැවෙන, ඒත් වුල්ෆ් සටහන් තබන “හම්බන්තොට දිනපොත්” වලින් දකින්නට ලැබෙන, හේන් ගොවියා වී ගොවියෙක් බවට හරවන ලද අනතුරුව ඔහුට ලැබෙන වතුර පාලනය කෙරිණ.

1909 අගෝස්තු 3 වැනිදා වුල්ෆ් සිය දිනපොතේ මෙසේ සටහන් කරයි:
“දේපල අයිතිකරුවන් සහ ගොවියන් විශාල පිරිසක් මාව හමුවෙන්න ආවෙ සොරොව්ව වහල කියල අගෝස්තු 1 වැනිදායින් පස්සෙ වතුර නිකුත් කරන්නෙ නැහැයි කියල පැමිණිලි කරන්න. ප්‍රතිඵලය තමයි අක්කර 1,500 සිට 2,000 ක් දක්වා ප්‍රමාණයක වගාව වතුර නැතිව විනාශ වෙනව. මම ඇහැව්වා වාරිමාර්ග ඉංජිනේරුවා (IE) ගෙන් මේ වතුර ප්‍රශ්නය ගැන. අගෝස්තු 1 වැනිදායින් පසුව වතුර නිකුත් කරන්න එපා කියල එයාට වාරිමාර්ග අධ්‍යක්ෂක (DI) දීපු උපදෙස් අනුගමනය කරනව කියලත්, ඒ උපදෙස් කැන්සල් කරන තෙක් වතුර නිකුත් කරන්න බැහැ කියලත් එයා උත්තර දුන්න. එයා පවතින තත්වය ගැන DI ට දැනුම් දීලා, කළ යුතු උපදෙස් විදුලි පණිවිඩයකින් එවන්න කියලත් ඉල්ලල. වැඩේ හදිසි නිසා මම DI ට විදුලි පණිවිඩයක් යැව්ව කෙළින්ම, වහාම වතුර නිකුත් කරන්න ඕඩර් කරන්න යැයි ඉල්ලුව.”

“ඊට පස්සෙ IE ට ටෙලිග්‍රෑම් එකක් ලැබුණ DI ගෙන් වතුර නිකුත් කරන්න නම්, ඊ ළඟ මහ අස්වැන්න සඳහා යාල වගාවට අගෝස්තු 1 වැනිදායින් පසුව වතුර නිකුත් කරන දින ගණන් අඩු කරන කොන්දේසියට ගොවියන් එකඟ වෙන්න ඕන කියල. ගොවියන් කැඳවල මම මේ කොන්දේසිය කිව්ව. ඒකට විරෝධය ප්‍රකාශ කරමින් ඔවුන් ඒ කොන්දේසිය පිළිගන්න එකඟ වුණා…”

ගොවියෙකුගේ වගාබිමට වතුර ඕන දවස් මොනව ද කියල, අවුරුද්දකට කළින් තීන්දු කරන්න දැනුමක් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයෙක්ට තියෙන්න පුළුවන් ද?

හේන් ගොවිතැනෙන් කුඹුරු ගොවිතැනට ගම්මුන්ව මධ්‍යම සැලසුම් ප්‍රතිපදාන වලින් නම්මවා ගත් රජය එතෙක් කල් පාරම්පරිකව වගා කටයුතුවල නියැළී සිටි ගොවියාට වඩා සාර්ථක ලෙසින් වගා කරන පරිස්ථානීය දැනුමක් තමන් දියත් කරන ක්‍රමවේදය සතුව ඇතැයි තීන්දු කළේ කෙසේද?

පාරම්පරිකව තමන්ට උරුම වූ භූමිය හිටිහැටියේ රජයේ බාරයට යද්දී, කීට ප්‍රදාන වැනි ක්‍රමවේද වලින් එය නැවත බෙදාහැරෙද්දී, දේපල අයිතිය ගැන ඒ ගොවීන්ට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොවීය.

හේන් ගොවිතැන් කරන්නට නම් යටත්විජිත පාලකයන්ගේ නිර්දේශය අනුව ගමේ ආරච්චිලට “සුදුස්සා” තෝරා වගා ඉඩම් සඳහා අවසර නිකුත් කිරීම බාර විය. රදළ ඉඩම් හිමියන් දුප්පත් ගොවියා තළා පෙලා වැඩගන්නේය, ඔහු උපයන ධනයෙන් වැඩි කොටසක් උදුරාගන්නේය යන හේතු දක්වා රජය මැද්දට පැන ඇත්තේ “සුදුස්සන්” තීරණය කිරීම සඳහා ය. ඒ බලය ලැබෙන්නේ ද, රදළ ඉඩම් හිමියා මෙන්ම වූ මිනිස් ස්වභාවයෙන්ම යුතු අයෙකුටයි.

ඊට වෙනස්ව, එළිපෙහෙළි කර වගා කරන ලද භූමියේ අයිතිය ඒ තැනැත්තා හෝ ඔහුගේ උරුමක්කාරයන් සතු වූවා නම්, එහි දී “සුදුස්සා” කවුදැයි තීරණය අන් අයෙකු සතු බලයක් නොවන්නේය.

ලංකාවේ භූමියෙන් 82% ක ප්‍රමාණයක් තවමත් රජය බාරයේ පවතින අතර ඒවා කුමන “සුදුස්සන්” වෙතට පැවරිය යුතුදැයි යන්නත් රජය තීරණය කරයි.

මතු සම්බන්ධයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න