Main Logo

Tuesday 16 January 2018

මේ ආණ්ඩුූව අවශ්‍ය කාට ද?

මේ ආණ්ඩුූව අවශ්‍ය කාට ද?


මේ ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යෑමට අවශ්‍ය කාට ද? එයට ඇත්තේ ඉතා පැහැදිලි පිළිතුරක්. ඒ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන්ට. ව්‍යාජ සමාජවාදීන් ද කියාවි තමන්ටත් මේ ආණ්ඩුව පළවා හැරීමට අවශ්‍ය ය කියා. එහෙත් ඔවුන්ට අවශ්‍ය කිනම් ආණ්ඩුවක් පත් කර ගැනීමට ද? ඒ කිසි දිනෙක සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂත්වය දෙන ආණ්ඩුවක් නම් නො වෙයි. සිංහල බෞද්ධ නායකයකු අද නැහැ. එහෙත් අප අද තැත් කරන්නේ නරකින් අඩුම ආණ්ඩුවක් පත් කර ගැනීමටයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම පහසු දෙයක් නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයත් සමග ගැටෙන එක පහසු නැහැ. අවුරුදු විසිපහකට පෙර ජී එල් පීරිස් මගෙන් ඇහුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි කියා. මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කෙරුණු විට චම්පක හා ඊනියා ජාතිකවාදීන් ජී එල් පීරිස්ට ආධාර කළා. 

සිංහල බෞද්ධයන්ට තබා සිංහලයන්ටවත් කතා කරන නායකයකු නැහැ. චම්පක චන්ද්‍රිකාට හා මංගලට 1994 දී ආධාර කර, ඔවුන්ට මාතර ගොස් වැඩ කර, මංගලගේ රටවැසි පෙරමුණේ ෆෙඩරල් ඇති කිරීමට පක්‍ෂව ඊනියා යුද්ධයට, එනම් හමුදා මෙහෙයුමකින් කොටි පැරදවීමට, විරුද්ධ කතා කර,   ඩී එස් සේනානායක විදුහලේ සිසුන් පිරිසක් කොටුව දුම්රියපොළෙහි දී ඝාතනය කරනු ලැබීමෙන් පසුව ඉල්ලුමක් ඇති බව පවසමින් ජාතිකවාදියකු වී සිංහල බෞද්ධ ඡන්දය ගසා කෑම සඳහා සිංහල බෞද්ධකම ගැන කතා කළ අවස්ථාවාදියකු පමණයි. අද පොහොට්ටුවත් හාමුදුරුවරුන්ගේ ගෞරවය කෙළෙසමින්  මැතිවරණයට උන්වහන්සේලා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කරලා. මේ අගෞරවය මුලින් ම කෙළේ චම්පක නොවෙයි. සමසමාජ පක්‍ෂයේ බද්දේගම සමිත හාමුදුරුවන්. උන්වහන්සේ ද අද පොහොට්ටුවේ.

කොටි පැරදවිය යුතු බවට මා කතා කෙළේ කිසි ප්‍රධානියකුගේ ආධාරය ඇති ව නො වෙයි. එකල සිසුන් ව සිටි කිහිප දෙනකු පමණක් මා සමග සිටියා. එකල මහින්දත් සිටියේ අප සමග නොවෙයි. එහෙත් අද අප සමග කටයුතු කරන්නේ යැයි කියන අය කියන්නේ අප බොහෝ දෙනකු කළ මතවාදී සටනින් ජයග්‍රහණය කළ බවයි. මේ බොහෝ දෙනා කවුද කියා මා දන්නේ නැහැ. ඒ කොහොම වුණත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු අප ඇද වැටුණා. මහින්ද පක්‍ෂයක නායකයකු ලෙස නොව කස්ත්‍රෝ පන්නයේ ඒක පුද්ගල වීරයකු ලෙස ඉස්මතු වූවා. අද ඔහු බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ල නි පක්‍ෂය ගැන උනන්දුවක් දක්වන අයකු නො වෙයි. ජනාධිපතිවරණයෙන් පැරදීමෙන් පසු ඔහු ජනතාව ඉදිරියට ගෙන ඒමේ ගෞරවය ලබා ගැනීමට කිහිප දෙනකු ඉදිරිපත් වෙනවා. නුගේගොඩ රැස්වීම තම කාර්යයක් ලෙස ඔවුන් හුවා දක්වනවා. එහෙත් මහින්දට ජනතා ආකර්ෂණයක් තියෙනවා. එය නුගේගොඩ රැස්වීමෙන් ඇති වූවක් නො වෙයි. ඔහු පැරදුණු දවසෙත් ඒ ආකර්ෂණය තිබුණා. බැටිස්ටා පරාජය කළ කසත්‍රෝට මෙන් ම ප්‍රභාකරන් පරාජය කළ මහින්දටත් ජනතා ආකර්ෂණයක් තියෙනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රතිපත්ති අද කා ළඟවත් නැහැ. යාපනයේ ශ්‍රී ල නි ප ඡන්ද රැස්වීමක දී ඊළාම් ගීතයක් ගයලා. මෛත්‍රිපාල ජනමාධ්‍යයෙන්වත් තවම ඒ ගැන දැන ගත්තේ නැත් ද? දැන ගෙන කිසිවක් නොකර සිටිනවා ද? මේ ඡන්ද සෙල්ලමේ දී දෙමළ මුස්ලිම් ඡන්ද ලබා ගැනීම සඳහා මෛත්‍රිපාලත් බැසිල් මගින් මහින්දත් නොයෙකුත් දේ කරනවා. රනිල්ට නම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. සුමන්තිරන් හා හකීම් ඔහු සමග ඉන්නවා.

සුමන්තිරන් ඉතා පැහැදිලිව පසුගිය දා කියා තිබුණා මේ ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යා යුතු ය කියා. ඔහු යාපනයේ පැවති රැස්වීමකත් කියා තිබුණා නව ව්‍යවස්ථාවෙන් සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් ඇති වන බව. කිසිවකු ඔහුගෙන් අහන්නේ නැහැ නව ව්‍යවස්ථාව සම්පාදනය නොකර ඔහු ඒ බව දන්නේ කෙසේ ද කියා. අඩු තරමෙන් කරුණාරත්න පරණවිතානවත් අහන්නේ නැහැ. සුමන්තිරන් ව්‍යවස්ථාව ගැන දන්නේ නැත්නම් ඒ ගැන දන්නේ කවු දඒ අතර සම්බන්ධන් හින්දු පුවත්පතට කියා තියෙනවා දෙමළ ජනතාව තම බලාපොරොත්තු අත් හැර නැති බව.

මෛත්‍රිපාල රනිල් ඉවත් නොකළොත් රනිල් මෛත්‍රිපාල ඉවත් කිරීමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉඩ ඇති බව අප කලින් කියා තියෙනවා. මහින්ද මෛත්‍රිපාලට ආධාර නොකළොත් මෛත්‍රිපාල තම පැවැත්ම සඳහා තව තවත් රනිල් සමග එකතු වේවි. බටහිරයන් හා ඉන්දියාව ද ක්‍රියා කරන්නේ එක්කෝ ඒ සඳහා නැත්නම් තාවකාලික ව රනිල් ඉවත් කර සිංහල බෞද්ධ විරෝධියකු අගමැති කර භාරකාර හරි පරිවාස හරි වෙනත් නමකින් හරි හඳුන්වන ආණ්ඩුවක් පිහිටුවන්න.

සිංහල බෞද්ධයන් අද සංකේත බෞද්ධයන් පමණයි. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන හැඟීමක් නැහැ. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ සිංහල බෞද්ධයන් ලෙස නො වෙයි. මූලික වශයෙන් එක්කෝ ලිබරල්වාදීන් ලෙස නැත්නම් ව්‍යාජ සමාජවාදීන් ලෙස. ඔවුන් බටහිර දැනුමේ වහලුන්. ඊනියා උගත්කම වැඩිවන විට වහල්කම ද වැඩි වෙනවා. අපේ අධ්‍යාපනය මුළුමනින් ම වහලුන් බිහි කිරීමට සැකසී ඇති එකක්. ඊනියා උගත් ගැමි තරුණයන් ගැන කතා කළ ගුණදාස අමරසේකරටත් මේ වහල් බව ගැන හැඟීමක් නැහැ. ඔහුත්  ජාතික චින්තනය, සභ්‍යත්ව විඥානය, සභ්‍යත්ව රාජ්‍යය ආදී අදහස් ගන්නේ බටහිරින්. මේ ජාතිකවාදීන් යැයි කියන බොහෝ දෙනා බටහිර දැනුමට, විශේෂයෙන් ම බටහිර ස්වාභාවික හා සමාජයීය විද්‍යාවන්ට යටවෙලා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට බුදුදහම යට කළ සමාජයක් බෞද්ධ කිරීම පහසු වැඩක් නො වෙයි. අද හාමුදුරුවරුන්ට ධර්ම දේශනාවල දී පාළි වචනවලට වඩා ඉංගිරිසි වචන කියන්න ඕන. එහෙමත් නැත්නම් ඉංගිරිසි සම්ප්‍රදාය අනුව ඒ ඒ දේ යෝජනා කරන්න ඕන.

2020 දී රනිල් ජනාධිපති වීම වැළැක්වීමට කටයුතු කිරීම අපේ ක්‍ෂණික අවශ්‍යතාව විය යුතුයි. ඒ සඳහා 2018 දී ම ක්‍රියාත්මක නොවුණොත් තත්වය භයානක වන්න පුළුවන්. සිංහල බෞද්ධයන් ලෙස නොසිතා ඊනියා ස්වාභාවික විද්‍යාඥයන්, සමාජයීය විද්‍යාඥයන්, ක්‍රිස්තියානි නූතනත්වයට යට වු බෞද්ධයන් ආදී වශයෙන් සිතන්නන්ට ද අවසාන වශයෙන් මේ ආණ්ඩුව කිසියම් ස්වරූපයකින් නමුත් පවත්වා ගෙන යෑමට අවශ්‍යයයි. 



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-16