පිටස්තරයා 18


EP-18නැහැ නැහැ ගීතිකා… එහෙම ප්‍රශ්නයක් නැහැ…… මම වරදවා වටහා ගන්නෙ නැහැ….

මට කවදාවත්  ආදරයක උවමනාවක් වුනේ නැහැ… මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා…. නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ මට… ඒ වගේම මට පෞද්ගලිකත්‍වයක් තිබුණා ආරක්‍ෂා කර ගන්න… මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල චරිතයක් වුනා.. ඒ නිසාම මගේ පෞද්ගලිකත්‍වයට සීමා පැණවුනා… මගේ දෙමාපියෝ දෙන්නම බුද්ධාගමට බොහොම ලැදි උදවිය.. ඒ අය හැකි සෑම විටම බණ දහම් හැදෑරුවා… මම භාවනාවට පුරුදු වුනේ අවුරුදු 14 දි.. මගේ අම්මා තමයි මට ඒ දේ පුරුදු කළේ… ඒ නිසාම මම අධ්‍යාපනය අතින් පවා සෑහෙන ඉදිරියට ආවා.. මම ගොඩක් ක්‍රීඩා කළ කෙනෙක්.. ඒ සිත එකඟ කර ගැනීම මගේ අධ්‍යාත්මික වගේම පෞරුෂත්‍ව සංවර්ධනයටත් බොහෝ සේ බලපෑවා.. මගේ දෙමාපියෝ මිය ගියාට පස්සෙ මම ගොඩක් තනි වුනා… ඒ තනිය මකා ගන්න මම ලං වුනේ පොත්පත් වලට… මම ඒ කාලෙ සෑහෙන පොත්පත් කියෙවුවා… අම්මලා මිය ගියාට පස්සේ මට හමුවුනා භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක්…. ඇමරිකාවෙ ඒ වගේ සිද්ධියක් බොහොම විරළ වුනත් මට කැලිෆෝනියා බෞද්ධ විහාරයෙදි යෝගාවචර රාහුල හාමුදුරුවො හමු වුනා… රාහුල හාමුදුරුවෝ ගැන නොදන්න බෞද්ධයෙක් ඇමරිකාවෙ නැහැනෙ…. එතැනදි මම විදර්ශනා භාවනාවට යොමු වුනා… අන්න ඒ නිසා මට ඇත්තෙන්ම ප්‍රේම සම්බන්ධතාවය කියන අවශ්‍යතාවය ඇති වුනේ නැහැ…. ඒ නිසාම මට මගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් කර ගන්න ලැබුණා… ඒකයි මම අධ්‍යාපනය පැත්තෙන් පසුකාලීනව බොහෝ ඉදිරියට ආවෙ… විශ්ව සිය දීර්ඝ ඉතිහාසයෙන් බිඳක් ගීතිකා වෙත විවර කර දුන්නා…

මම පුදුම වෙන්නෙ නැහැ විශ්ව…. මට සුමනසේකර මහත්මයා කිවුවා ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා… මම දැන් දන්නවා ඇයි ඔයා මේ තරම් ඉක්මනට පුනරුත්ථාපනය වෙන්නෙ කියලා… වෙන මිනිස්සු මාස තුන හතරක් ගන්නවා සුළු අනතුරකින් මනස ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න.. නමුත් ඔයා සතියක් දෙකක් ඇතුලත ඒ තත්ත්‍වයට ලඟා වුනා… මම හිතනවා ඔයාගෙ මානසික ඒකාග්‍රතාවය ඒකට බලපාන්න ඇති කියලා… ඔයා මානසිකව දැන් නිදහස්… ඒ කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්.. ඔයාට පුළුවන් ඔයාගෙ ශාරීරික පුනරුත්ථාපනයත් ඉක්මන් කරගන්න… වැඩිපුර මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාගෙ කකුල ඉක්මනින්ම සනීප වේවි… ඔයා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරනවා.. මට බොහොම සංතෝෂයි…

ඔයා කොහොමද වෝල්ටර් රීඩ් එකට ආවෙ ? සාමාන්‍යයෙන් මෙතැන බොහොම ආරක්‍ෂිත තැනක්.. විශ්ව පෙරළා ගීතිකාගෙන් ඇසුවේ ඇගේ සුහදතාවය පිළිබඳ පැහැදීමකින්….

ඒක දිග කතාවක්…. ඔයාට වැඩක් වේවිද ඒක… ?

කියන්න බෑනෙ…. කැමැත්තක් තියෙනවා නම් කියන්න…. මම අහගෙන ඉන්නම්… මටයි කියලාත් දැන් ඉතිං වැඩක් නෑනෙ…..

මම සාමාන්‍යයෙන් මේ කතාව කාටවත් කියන්නෙ නැහැ… නමුත් ඔයාව විශ්වාස කරනවා… මේක කිවුවයි කියලා කාටවත් වැඩක් වෙන්නෙ නැහැ කොහොමටත්… ඇය දිගු සුසුමක් හෙළුවා…

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොලී ඇය එනතෙක් බලාසිටි අමුත්තා සිටි මේසයේ ඉතිරිව ඇති පුටුවේ අසුන් ගත්තාය. සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව කෙතරම් කාර්යබහුල වුවත් එතැන සිටි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්‍වය උදෙසාම මේස සකසා තිබුණේ එකිනෙකට ඈතිනි. ඒ එකිනෙකාගේ කතාබහ අනෙක් මේසවල සිටින පුද්ගලයින්ට නෑසෙන ලෙස සිය සේවාදායකයින් ආරක්‍ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසින්. මෙතැන සිදු වූ කතා බහ අතර ලෝක ඉතිහාසය වෙනස් කළ තීරණ පවා තිබූ බව දන්නේ ආපනශාලාවේ මේස සහ පුටු පමණි. මොනිකා ලෙවින්ස්කි තමා ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ පැවැත්වූ අසාමාන්‍ය සම්බන්ධතාවය පෝලා ජෝන්ස් හට හෙළි කළේ මේ අවන්හලේ එක්තරා ස්ථානයකදීය. එය ජනාධිපති බිල් ක්ලින්ටන්ට ලිංගික අපචාර සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් ප්‍රබල විය. මේ එක් උදාහරණයක් පමණි.

ඇයි අන්කල් ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?

සිය අසුනේ හරිබරි ගැසී වාඩි වී ඉදිරිපස අසුනේ වූ සිය මාමණ්ඩිය දෙස සෘජුවම බලාගෙන මොලී සෙමෙන් ඇසුවාය. ඔහු සිය ඥාතියෙකු බව දන්නේ වොෂිංටනයේ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි.  එසේම ඔහුටද, ඇය ඉතාම විශ්වාසවන්ත සේවිකාවක වූවා.. මේ නිසාම තමන්ගේ සම්බන්ධය පිටතට නොපෙන්වන්න දෙදෙනාම වගබලාගත්තා පමණක් නොව, සාමාන්‍ය වෘත්තීයමය අවස්ථාවලදී ඔහු මොලීටත් සැලකුවේ කිසිදු විශේෂත්‍වයක් නොපෙන්වා. මේ නිසාම ක්‍ෂෙත්‍රයේ කිසිම කෙනෙක් මේ ඥාතීත්‍වය හෝ සම්බන්ධය දැන සිටියේ නැහැ. දන්න ටික දෙනාත් ඒ රහස හොඳින්ම රැකගෙන සිටියා.

කොහොමද ජෙනී ? වැඩ කටයුතු හොඳින් කෙරෙනවද ?

ඔව්… දැන් අළුත් පර්යේෂණයත් පටන් ගන්නයි යන්නෙ.. විශ්ව සනීප වෙලා ආපු හැටියෙ අපි දෙන්නා එකතු වෙලා ඉක්මනින්ම ඒක පටන් ගන්නයි යන්නෙ..

මොකද විශ්ව මේ දවස්වල කරන්නෙ ?

විශ්ව දැන් ඉන්නෙ පුනරුත්ථාපන ඒකකයෙ. මේ දවස්වල එයා බිඳුන කකුළ පුනරුත්ථාපනය කරන්නයි මහන්සි වෙන්නෙ.. මානසිකව නම් යථා තත්ත්‍වයට ඇවිත්, මට නම් හිතාගන්න අමාරුයි එයා මෙච්චර ඉක්මනින් මෙහෙම පුනරුත්ථාපනය වුන එක… සාමාන්‍ය සොල්දාදුවෙක් නැතිනම් නාවික සීල් භටයෙක් වත් මේ තරම් ඉක්මනට මානසිකව පුනරුත්ථාපනය වෙන්නෙ නැහැ.. හැරත් එයා සතියක්ම සිහිය නැතිව ඉඳලා මෙහෙම ඉක්මනට සනීප වුන එක ගැන මටත් පුදුමයි. අංකල් දන්නවනේ අච්චර දරදඬු ක්‍ෂෙත්‍ර ඒජන්තයො කොච්චර කල් ගන්නවද කියලා පුනරුත්ථාපනය වෙන්න…

වේටර්වරිය ආහාර ඇනවුම භාරගැනීමට පැමිණිහෙයින් සිය කතාව නතර කළ මොලී සැන්ඩ්විච් එකක් සහ දෙහි යුෂ වීදුරුවක් ඇනවුම් කළාය…. ඉන් අනතුරුව ඔහු සිය ගැඹුරු කටහඬ අවදි කළේය.

මට තේරෙනවා ජෙනී.. ඒකම තමයි මම අද ඔයාව හමුවෙන්න තීරණය කළේ. ඔයා මේ ගැන දරන ආකල්පය මොකද්ද ? අපි මේ මනුස්සයා පස්සෙ මේ තරම් දුවන එකේ තේරුමක් තියෙනවද ? අපි මේ වැය කරන්නෙ රටේ සල්ලි, කාළය… ඔයා හිතනවද මේ දෙයින් අපි කිසියම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා

මම පෞද්ගලිකව නම් හිතන්නෙ නැහැ අපට විශ්වගෙන් ලොකු තොරතුරක් ලබාගන්න පුළුවන් වේවි කියලා. මේ දවස් කීපයට මම නිරීක්‍ෂණය කළ දෙයක් තමයි විශ්වගෙ පසුබිම බොහොම සාමාන්‍ය පසුබිමක්, එයාගෙ පවුලෙ සහ ඥාතීන් සියල්ල බොහොම සාමකාමී අය.. ඒ නිසා ප්‍රචණ්ඩත්‍වයක් ගැන නම් කිසිම සාධකයක් නැහැ. බොහොම ආගමානුකූලයි. විශ්ව භාවනාවටත් යොමු වෙලා කියලයි එයාගෙ මාමා කිවුවෙ…. නමුත් වෘත්තීයමය වශයෙන් ගත්තොත් විශ්වට බොහොම ශක්තිමත් පෞරුෂත්‍වයක්, මතකයක්, බුද්ධියක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවනි විශ්ව වෙනත් වැදගත් කාර්යයකට යොදා ගන්න.. නමුත් මම හිතන්නෙ නැහැ විශ්ව තමන්ගෙ ප්‍රතිපත්තිවලට පටහැණි තීරණයක් ගනීවි කියලා… එයා හරිම හොඳ කෙනෙක්….. නමුත් මම දන්නවා හොඳයි කියලා පිටින් පෙන්නගෙන ඉන්න සමහරු අන්තිම මෘගයො වගේ ක්‍රියා කරන අවස්ථා…

මට කියන්න තියෙන්නෙ මම විශ්වට පෞද්ගලිකවත් කැමතියි කියලා….. මම කැමති නැහැ එයාට මේ නිසා කරදරයක් වෙනවා නම්…

ජෙනී…. මේ ඔයාමද කතා කරන්නෙ ? සිය ඥාති දියණියගෙන් මෙවන් ප්‍රකාශයක් බලාපොරොත්තු නොවූ නිසා, අතිශයින් හැඟීම් පාලනය කරන්නකු සේ සුපතල ඔහුගේ දෑස් විශාල වූයේ ඔහුටත් නොදැනුවත්වමය…

මොලී කිසිවක් නොකියූවාය……………..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඉතින් මම ඒ සියල්ල අමතක කරලා වෝල්ටර් රීඩ් එකට ආවෙ අවම වශයෙන් එයා වෙනුවෙන් වෙන්න ඕන දෙයක් තිබෙනවා නම් එයාගෙ සහෝදර සොල්දාදුවොන්ටවත් වෙදකම් කරලා ඒ අය නැවතත් මේ ලෝකයට ගේන්න….ගීතිකා  දිගු සුසුමක් හෙලා සිය කතාව නිම කරද්දී ඇගේ නෙතඟින් ඇයටත් නොදැනීම කඳුලක් මතු වී තිබුණා…

ඔයාගෙයි මගෙයි අතීතෙ ලොකු වෙනසක් නෑ ගීතිකා.. විශ්ව සෙමෙන් පැවසූවේ තම දෙමාපියන් සහ ආදරණීය නැඟණිය නැවතත් සිහි වූ නිසාමයි…

ඒ දුක්බර සාකච්ඡාව නිමා වුනේ ගීතිකාගේ පේජරයට ලැබුණ කෙටි පණිවුඩයත් සමඟ..

අන්න නෑදෑයො ඇවිත් ලෙඩාව බලන්න… අපි යමු…….

ගීතිකා විශ්ව ද සමඟින් අමුත්තන් රැඳී සිටින ශාලාව වෙත පැමිණෙන විට සුමනසේකර යුවල සිනාසෙමින් ඒ දෙස බලා සිටියා…

ගොඩක් වෙලාද ඇවිත් ? විශ්ව ලොකු නැන්දාගෙන් ඇසුවේ සිනාසෙමින්…

ටිකක් වෙලා… අපි හිතුවා ඔයාට බාධා නොකරන්න…. ඇවිදින තරමට කකුලට හොඳයි නෙ….

ගීතිකා ඔවුන්ගෙන් සමුගෙන ගොස් නැවත පැමිණියේ තරමක සුභ ආරංචියක් ද රැගෙන….

මේ ප්‍රගතියෙ හැටියට විශ්වට තව දින තුනකින් විතර ගෙදර යන්න පුළුවන් කියලා ප්‍රධානියා කිවුවා… ඇය සිනාසෙමින් පැවසූවා…

හතර දෙනාගෙම මුහුණේ ඇඳුනේ සැනසුමක සිනා රැල්ලක්…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

පසුවදා මොලී පැමිණියේ තවත් ආරංචියක් රැගෙන… ඒ විශ්වත් ඇයත් එකතු ව සිදු කරන්නට නියමිත පර්යේෂණයට අවශ්‍ය අරමුදල් අදාල ආයතනයෙන් ලැබීමට නියමිත ආරංචිය. ඒ නිසා විශ්වගේ සිතේ නැවතත් තම පර්යේෂණය පිළිබඳ මතකයන් මෝදුලන්න පටන් ගත්තා…

මොලී… ඔයාට පුළුවන්ද මට අර පර්යේෂණ පත්‍රිකා ටික එවන්න ? එතකොට මට මෙතැන ඉන්න වෙලාවෙ ඒ ටික කියවලා නැවත මගේ මතකය අළුත් කරගන්න පුළුවනි.

ඉන්න, මට දැන්මම දෙන්න පුළුවනි… මොලී සිය අයි පෑඩ් එක ගෙන එහි වූ ලිපිගොණුවක් විවෘත කර විශ්වට පෙන්වූවාය… මම මේ ටික ඔයාට දැන්මම එවන්නම්, ඔයාට නිදහසේ කියවන්න පුළුවනි.. එතකොට අළුත් අදහස් ඇති  වෙන්නත් බැරි නැහැ…

ඒ සමඟම පැමිණි හෙදියක් විශ්වගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බව දැන්වූවාය…. මොලී ඇයට ඉඩ දී මඳක් පසුපසට විය….

ඇයි මේ තරම් මගෙන් රුධිර සාම්පල් ගන්නෙ ? දැනට හතරක්ම ගත්තා නේද ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ?

නැහැ නැහැ… අපි මේ රුධිර සාම්පල් ගන්නෙ ඔබේ සෞඛ්‍ය තත්ත්‍වය පරීක්‍ෂා කරන්න… ඔබට ලබා දුන් බෙහෙත්වල අතුරු ප්‍රතිපල තිබෙනවද කියලා දැනගන්න අපි මේ රෝහලේ ඉන්න සෑම රෝගියෙකුගේම රුධිර සාම්පල් අරගන්නවා.. මේකත් එක්තරා ආකාරයක පර්යේෂණයක්…

ඔව් විශ්ව… මේ වගේ රජයෙන් පාලනය වෙන රෝහලක ඉන්නව නං මේ වගේ පර්යේෂණ වලට දායක වෙන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් හමුදා නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට නම් මේ පරීක්‍ෂණ සාමාන්‍ය දේවල්… අපි රජයට සහ පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට දත්ත යවන්නෙ මේ ලබා ගන්න සාම්පල් වලින්. ඒ වගේම අපට පුළුවනි කිසියම් බෙහෙතකට රෝගියෙකු දක්වන අහිතකර ප්‍රතිචාරයක් තිබෙනවා නම් ඒ බෙහෙත වහාම නවත්වලා වෙනත් බෙහෙතක් ලබා දෙන්න… මේ ක්‍රමයේ වාසි බොහොමයක් තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල්වල මේ දේ කරන්න බැහැ… ගීතිකා ද එතැනට පැමිණ සිටි නිසා හෙදියගේ විස්තරයට තම දැනුමද එක් කළා.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඔන්න අහුවුනා වැඩේ…. ජේසන්ගේ මුව රැඳී තිබුණේ ජයග්‍රහණයක් මුසු සිනා රැල්ලකි…

මොන වැඩේද ?

ලේ සාම්පල් වල වෙනස අහු වුනා…..

මේ තියෙන්නෙ සම්මුඛ පරීක්‍ෂණය දවසෙ ගත්ත ලේ සාම්පලය….. කිසිම ආගන්තුක ද්‍රව්‍යයක් නෑ… හරිද ?

හරි…

මේ තියෙන්නෙ අනතුර වුන දවසෙම ගනිපු සාම්පලය….. වැඩි වෙනසක් නෑනෙ….

කෝ බලන්න……….. මයික් විමසිල්ලෙන් බැලුවා…….

මේ තියෙන්නෙ අනතුරෙන් දවස් තුනකට පස්සෙ ගනිපු සාම්පලේ…… මෙන්න මෙතැනයි වෙනස තියෙන්නෙ…. ඔන්න දැන් සාම්පලේ තත්ත්‍වය සාමාන්‍ය ගණනට පත් වෙනවා……..

මේ තියෙන්නෙ අනිත් සාම්පල්…. දැන් පේනවනෙ…. මේ හැම එකක්ම ටික ටික සාමාන්‍ය ගණනට හැම අගයක්ම එනවා… මෙන්න මෙතැනයි ප්‍රශ්නය තියෙන්නෙ…. කොහොමද මෙයා මෙච්චර ලේ පිරිසිදුව තියා ගන්නෙ කියන එක…..

විශේෂයෙන් බෙහෙතක් ගන්නවා නම්, ඒක ලේ සාම්පල් එකේ පෙන්වන්න ඕන නේද ? මයික් ඇසුවෙ ජේසන්ගෙ නොනවතින කියැවිල්ලට තිතක් තබමින්….

ඔව්… නමුත් එහෙම දෙයක් පෙන්වන්නෙත් නෑ… එක්කෝ මෙයා අර පාවිච්චි කරන තෙල් සාම්පලයෙ හරි නැතිනම් අර Milk Thistle පැලෑටියෙන් ලබා ගන්න දෙයක් හරි, එහෙමත් නැතිනම් මේ දෙකෙන්ම ලැබෙන ගුණයක් මත තමයි මේ මෙයා ලේ පිරිසිදුව තියා ගන්නෙ…

ඉතිං ඒක නීති විරෝධී නැහැනෙ….. ඒ නිසා අපට මුකුත් කරන්න බැහැ නේද ?

ඇත්ත… නමුත් මේක හොඳ සොයාගැනීමක් වෙන්න පුළුවන්…. බලන්න පිළිකා රෝගීන් කොච්චර කීමොතෙරපි (Chemotherapy) නිසා දුක් විඳිනවද ? ඒ මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරගන්න මෙන්න මේ වගේ ක්‍රමයක් හොයා ගන්න පුළුවන් නම්, කොච්චර සෙතක් වෙන්න පුළුවන්ද ?

එහෙනම් අපි එයාගෙන් කෙළින්ම ඇහුව නං මේ ගැන අහගන්න තිබුණනෙ… මෙච්චර වටේ යන්නෙ නැතුව ?

කෙළින්ම අහන්න ? එතකොට එයා දන්නවනෙ අපි හොරෙන් එයා ගැන හොයලා බැලුවා කියලා ! මොළයක් නැද්ද ?

 

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 12, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න