අරුණි ශපීරෝ‍ වෙතින්

බිට්කොයින්: ගන්නවා ද? තියාගන්නවා ද? විකුණනවා ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 11, 2017

ලිබටේරියන් යැයි හඳුන්වාගත් පිරිස අතර බිට්කොයින් නිසා ඉක්මණින් ධනවත් වෙන්නට සමත් වූවන් වැඩියෙන්ම සිටිති. ඔව්හු එවැනි පෞද්ගලික වූ මුදල් වර්ගයක් ගැන සිහින මවමින් සිටි කොට්ඨාශයක් වූ නිසා පමණක් නොව එය වෙනත් අය භාවිතයට ගනීවිදැයි නොතැකීමත් ඔවුන් අතර එය ජනප්‍රියත්වයට පත්වීමට හේතු විය. ඔවුනට උවමනා වූයේ ආණ්ඩුව මෙහෙයවන උද්ධමන මුදල් ආධිපත්‍යයෙන් මිදෙන්නටයි.

බිට්කොයින් හුවමාරු කරගත් මුල් කාලයේ දී එය ආයෝජනයක් හැටියට කිසිවෙක් සැලකුවේ නැත. ලිබටේරියන් දැක්ම ඇති අය අතර එය කැනීමෙන් හෝ මිල දී ගැනීමෙන් මේ ආණ්ඩුවේ ඒකාධිපති බලයෙන් ගැලවෙන්නට හැකියාව ලබාදෙන මුදල් වර්ගයට සහාය පළකරන්නට කියා පමණක් එකතු වූ අය බහුලව සිටියහ. ඒවා භාවිතයට ගතහැකි තැන් සොයා යද්දී අනෙකුත් ලිබටේරියන් අදහස් ඇති අයව හමුවන්නට සමත් වීම පමණක්ම එහි වාසියක් හැටියට එවක දී ඔවුන් සැලකූහ. එනම්, ලෝකයේ කිසිම ආණ්ඩුවකට සම්බන්ධයක් නැති මුදල් යන්න අගැයීම සඳහා පමණක් එවක බොහෝ දෙනෙක් බිට්කොයින් ලබාගන්නා ලදහ.

මැයි 22 වැනි දිනය “බිට්කොයින් පීට්සා දිනය” හැටියට සැමරුමට ලක්වෙයි. ඒ පීට්සා දෙකක් සඳහා ඩොලර් 41 අගයකට බිට්කොයින් දහ දාහක් හුවමාරු කරගත් ලැස්ලෝ (Laszlo Hanyecz) සිහිකිරීම පිණිසයි.

එවක දී බිට්කොයින් දහස් ගණනකින් එකතු කරගෙන සිටි අයට එයින් කළ හැකි වූ කාර්යයන් ඉතා ස්වල්පයක් පමණක් වීම එහි වෙළඳපොල හුවමාරු අගය අඩුවෙන් පැවතීම පැහැදිලි කරයි.

උරුමයෙන් ලැබුණ සුළු මුදලක් යටකර නිවාස මිල දී ගෙන අඩුපාඩු හදා යළි විකුණා ධනවත් වූ කැලිෆෝර්නියාවේ ලිබටේරියන් තරුණයෙක් තමන් සතු වත්කමෙන් බාගයක්, එනම් ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක් පමණ, 2011 දී බිට්කොයින් ආයෝජනය සඳහා යොදවන ලදි. අද ඔහු එම ආයෝජනයේ ඵල බුදිමින් ජීවත්වෙයි. එවැනි අය, බිට්කොයින් වෙළඳපොලේ අනාගත තත්වය ගැන ගණන් බලා අවදානම් ගන්නා කොට්ඨාශයට අයිති වේ. උරුමයෙන් ලැබුණු වත්කමක් පරිභෝජනයෙන් අවසන් කරනවා වෙනුවට ආයෝජන අවදානම් ගන්නා අය නිසා සමාජයේ සමෘද්ධිය පාදන ධනවතුන් බිහිවීම වෙළඳපොල ලක්ෂණයයි.

බිට්කොයින් යනු සාම්ප්‍රදායික ආයෝජනයක් නොවේ. එසේම එය වෙළඳපොල කොටස් ද නොවේ. කොයින්බේස් වැනි අතරමැදියෙක් හරහා බිට්කොයින් පමණක් නොව වෙනත් ක්‍රිප්ටො මුදල් ද මිල දී ගත හැකියි. එසේ මිල දී ගනිද්දී, එහි අලුත් අයිතිකරුවා කවුදැයි යන්න අතරමැදි ආයතනය දැන ගනියි. ඒ අයිතිකරුවා සැබෑ ලෝකයේ පෙනී සිටින්නේ කුමන නමින් හා වාසය කරන්නේ කුමන ලිපිනයකදැයි සොයාගන්නට හැකියි. මේ තොරතුරු බිට්කොයින් මිල දී ගැනීම සඳහා ගෙවන වයර් ට්‍රාන්ස්ෆර් හෝ ක්‍රෙඩිට් කාඩ් සඳහා සැපයිය යුතු වෙති.

ඇමෙරිකන් ආදායම් බදු දෙපාර්තමේන්තුව බිට්කොයින් “මුදල් වර්ගයක්” යැයි සලකන්නේ නැත. බදු ගෙවීමේ දී එය වැටෙන්නේ “දේපල” හැටියටයි. දේපල හුවමාරුවේ දී මෙන් බදු ගැසීම සිද්ධ වේ. කොපමණ කාලයක් එය අයිතිකරුවා සතුව තිබුණේ ද යන්න අනුව බිට්කොයින් විකිණීමේ දී මුල්‍ය වත්කමක් විකුණුවා යැයි සලකා, අයිතිකරුවාගෙ සමස්ත ආදායම අනුව වැදෙන බදු ප්‍රතිශතය එහි දී ද ගෙවන්නට සිද්ධ වේ.

විශ්‍රාම යන ලද අයට මුල්‍ය වත්කම් මිල දී ගැනීමේ දී සහ විකිණීමේ දී සාමාන්‍යයෙන් වත්කම් බදු ගෙවන්නට සිද්ධ නොවේ. තමන් විසින් විශ්‍රාම ගිණුමකින් මුදල් ලබාගනිද්දී ගෙවිය යුතු බදු මුදල් ඇත. මේ මුල්‍ය වත්කම් සඳහා ආදායම් බදු එහි දී ගෙවන තෙක් කල්දැමීමට ද හැකියාව ලබා දී ඇත. සරලව කිව්වොත් විශ්‍රාම යන ලද අයෙකුට තම විශ්‍රාම අරමුදල් නොලබා ගන්නා තෙක් ක්‍රිප්ටෝ වලින් උපයන මුල්‍ය වත්කම් විකිණීම සහ මිල දී ගැනීම තුලින් උපයන ආදායම් සඳහා බදු නොගෙවා සිටිය හැකියි.

බිට්කොයින් හුවමාරු අගය ඉහළ යෑම නිසා මිලියන ගණනින් වත්කම් වැඩිකරගන්නට සමත් වූවන් ඒවා විකුණන්නේ නැත්නම්, මුල්‍ය වත්කම් හැටියට ඒවා හෙළිකරන්නට උවමනාවක් නීතියෙන් නැතිකම අද රජය හමුවේ පවතින ගැටළුවකි.

බිට්කොයින් සතු වූවන් සියල්ලන්ම ඒවා ළඟ තබා නොගත්හ. සමහරු මුල් කාලයේ ඊට වෙළඳපොල හුවමාරු අගයක් ලැබුණු සැණින් ඒවා ඩොලර් බවට හරවා ගත්හ. කළින් සටහනක ලියූ පරිදි වර් විසින් අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපන පදනමට තෑගි කළ බිට්කොයින් දාහට සිද්ධ වූයේ එයයි. පදනම විසින් එය වෙනත් සල්ලි මුදල් නොවන ආයෝජනයක් ලෙසින් සලකා ඒවා විකුණා පදනමේ සාමාන්‍ය ආයෝජන ප්‍රතිපත්තිය අනුගමනය කරන ලදි. ඒ මුදල් බිට්කොයින් හැටියට තබාගත්තා නම් එමඟින් ලබන්නට හැකි වූ ඔවුන්ගේ ආදායම පසුගිය වසරේ ඔවුන් ලබාගත් සමස්ත මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වෙනු ඇත.

තමන් සතු බිට්කොයින් අද දකින තරම් හුවමාරු ඉහළ මිලකට යන්න පෙර විකුණන ලද අය බොහොමයකි. සමහර අයගේ මතය බිට්කොයින් යන ඉහළම හුවමාරු මිල වර්තමානයේ දකින්නට ඇතැයි කියායි. තවත් අයගේ මතය තවත් දෙගුණයකින් තෙගුණයකින් එහි හුවමාරු මිල ඉහළ යන බවයි. තවත් පිරිසක් එහි හුවමාරු මිල බිංදුවටම බහින දවසක් ගැන අනාවැකි කියති.

ඉතින් බිට්කොයින් යන අපූරු සංකල්පය නිසා එයට ළැදියාවක් දක්වන අය කෙසේ වෙතත්, වර්තමානයේ දී එය ආයෝජනයක් හැටියට සලකන අය හමුවේ අද පවතින ගැටළු මෙයාකාර වේ:
(1) ලොව කොපමණ පිරිසක් මෙය මුදල් වර්ගයක් හැටියට භාවිතා කරයි ද?
(2) තමන් වාසය කරන රටේ ඒ සඳහා ඇතිවෙන බදු ප්‍රතිපත්තිය කුමක් වේ ද?
(3) රාජ්‍ය මැදිහත්වීම් නිසා බිට්කොයින් බංකොළොත් වූවොත් තමන් යටකරන ආයෝජනයෙන් තමනට කොතරම් පාඩුවක් දරාගන්නට සිද්ධ වේ ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න