තිරිහන් වන්න ක්‍රමයක් මෙන්න…


Be Young

උපන්දා සිට නවත්වන්න බැරි එකම දේ නම් වයසට යාමයි. ඒ වුනත්, විවිධාකාර පුද්ගලයන් වයසට යන වේගය එකිනෙකාට වෙනස්. සමහරුන් කෙතරම් වයසට ගියත් තරුණ පාටයි, තරුණ ජවයකින් වැඩ කරනවා. තවත් සමහරු වයසට වඩා මහළු පෙණුමයි. වැඩත් හිතන පතන ආකාරයත් බොහොම වයසක පුද්ගලයෙක් වගේ. තවත් සමහරු රූපලාවණ්‍ය ආලේපන මගින්, ප්ලාස්ටික් සැත්කම් මගින්, හෝ වෙනත් ඖෂධ මගින් තරුණ පෙනුම රැකගන්න මහා උත්සාහයක යෙදෙනවා. තවත් සමහරු ආහාර පාලනය මගින්, පෝෂ්‍යදායී ආහාර ගැනීම මගින් වයසට යාම පාලනය කිරීමට උත්සාහ කරනවා.

ඒ වගේම සත්ත්‍ව ලෝකයේ ආයු කාලයත් විවිධාකාරයි. ඉබ්බෙක් අවුරුදු 200 ක් පමණ ජීවත් වෙද්දි තවත් සතෙකුගේ ආයු කාළය දවස් දෙකක් පමණ වෙනවා. මේ හැම සතාම උපත – විපත අතරේ තමන්ගේ ජීවිතය ගැටගසා ගන්න තරඟයක යෙදෙනවා. බැක්ටීරියා සහ සරළ සත්ත්‍වයන් අමරණීයයි. සමහර ශාක අවුරුදු සියගණනක් හෙමින් හෙමින් වැඩෙනවා – ඒවා අමරණීයයි. තවත් සමහර ශාක කුඩා කාළයක් තුළ වැඩිලා ඊලඟ පරම්පරාවත් බිහි කරනවා, නැතිනම් මොටෙයියන් බිහිකර තමන්ගේ ජාන ඉදිරියට ගෙන යනවා.  මිනිසුන් බුද්ධියෙන් ඉහළ නිසාම මේ දේවල් පාලනය කරලා ස්වභාව ධර්මයේ නියමයන් වෙනස් කරන්න උත්සාහ කරනවා. මේ මොනවා වුනත් කවුරු මොනවා කළත්, නවත්වන්න බැරි එකම දේ වයසට යාමයි.

වසර බිලියන 3.7 කට පමණ පෙර ජීවය ඇති වූ කාළයේ ඒක සෛලික විභජනය මගින් බැක්ටීරියා, ප්‍රෝකැරියෝට ජීවීන් ආදිය සිය දරු පරම්පරාව බිහි කරද්දී ඔවුන් සරළවම අනන්ත කාළයක් ජීවත් වුනා – තවමත් ජීවත් වෙනවා. නමුත් සත්ත්‍වයා පරිණාමය වෙමින් පැමිණ වසර බිලියනයකට පමණ පෙර දිලීර වර්ගවල ලිංගික ප්‍රජනනය ඇරඹූ විට සහ වසර මිලියන 320 කට පමණ පෙර බීජ නිෂ්පාදනය ඇරඹුන විට සත්ත්‍වයාගේ අමරණීයත්‍වය අහිමි වුනා. මක් නිසාද යත්, තමන්ගේ ජාන ඊලඟ පරම්පරාවට ඒ ආකරයෙන්ම සම්ප්‍රේෂණය වීම අවශ්‍යතාවයක් නොවුන නිසා. කෙසේ වුවත් සරළ සෛලවල අමරණීයත්‍වය පිළිබඳ මතය තරමක් විවේචනයකට ලක් වූයේ ඊ කෝලයි සෛල බෙදීමේදී හඳුනාගතහැකි ලෙස වෙනත් සෛලවලට බෙදීම සිදු වීම නිසායි. මෙය මීට පෙර සරළ සත්ත්‍වයන්ගෙන්  නිරීක්‍ෂණය කර තිබුණේ නැහැ.

මහා භද්‍රකල්පය මුල කල්ප ලක්‍ෂයක් ආයුස තිබුණු මිනිසා, කකුසඳ බුදුන්ගේ සමයේ අවුරුදු 40000 ක් ජීවත් වුනාලු. ගෞතම බුද්ධ කාලයේ මිනිසකුගේ ආයු කාළය වසර 120 ක් යැයි පැවසෙනවා. විද්‍යාත්මක දත්තවලට අනුව නුදුරු අනාගතයේ වෛද්‍ය විද්‍යාවේ සහ තාක්‍ෂණයේ බල මහිමයේ මිනිසකුගේ උපරිම ආයු කාළය වසර 115 ක් බවට පත් කළ හැකියි. මේ වනවිට වාර්තා වූ වැඩිම ආයු කාළයක් විඳි පුද්ගලයා වන්නේ ප්‍රංශ ජාතික කාන්තාවක් වූ Jeanne Louise Calment. ඇය අවුරුදු 122 ක් සහ දින 164 ක් ජීවත්ව 1997 දී මියගියා.

මිනිසුන් වයසට යාම කාළයත් සමග සිදුවන භෞතික, මානසික සහ සමාජයීය වෙනස්කම් ලෙස සරළව හැඳින්විය හැකියි. ඉතා කඩිසර ළමා සහ තරුණ කාළයක් ඇති අපි, මැදිවිය එළැඹෙන විට අපේ ප්‍රතික්‍රියා කාළය සහ යම් ක්‍රියාකාරකමක් නිසා වැයවන ශක්තිය නැවත යථා තත්ත්‍වයට ගෙන ඒමට යන කාළය (Recovery Time) ක්‍රමයෙන් අඩු වෙනවා. මෙය අපේ ශරීරයේම ඇති සෛලවල සිදුවන වයසට යාම නිසා සිදුවන්නක්.  සාමාන්‍යයෙන් විද්‍යාගාර තත්ත්‍ව යටතේ මිනිස් සෛලයක් බෙදී යා හැක්කේ පනස් වතාවක් පමණයි. ඉන් පසු එම සෛලය මිය යනවා. ලොව පුරා දිනකට මිනිසුන් 150,000 ක් පමණ ස්වභාවිකව මිය යද්දී, එයින් 2/3 ක් පමණ මිය යන්නේ වයසට යාම නිසා.

විද්‍යාව කෙතරම් දියුණු වුනත්, වයසට යාම පිළිබඳ නිසි හේතුව මෙය යැයි කීමට තවමත් කිසිම කෙනෙකු සමත් වී නැහැ. දැනට පිළිගෙන ඇති මතයන් වන්නේ සෛල සහ DNA වලට සිදුවන හානි නිසා වයසට යාම සිදු වන බවයි. එහිදී සිදු වන්නේ විවිධ සාධක මත ජාන වැඩිපුර සක්‍රීය වීම හෝ අක්‍රිය වීම නිසා ඒවා සෛලවල සහ පටකවල ක්‍රියාකාරීත්‍වය අඩාල වීම සහ මානසික ක්‍රියාකාරීත්‍වය වෙනස් වීම නිසා වයසට යෑම සිදු වන බවයි.

සෛල සහ පටක වයසට යාම නිසා පිටතට දැනෙන ලක්‍ෂණ රාශියක් තිබෙනවා.

කුඩා කාළයේ දරුවන්ට කිලෝ හර්ට්ස් 20 ට වඩා තියුණු ශබ්ධ ඇසීම සාමාන්‍ය දෙයක්, නමුත් වැඩිහිටි වත්ම, මේ තියුණු ශ්‍රවණ ශක්තිය නොමැති වී යනවා. එසේම වයස විසි ගණන්වලදී ඥාණාත්මක ශක්තිය එසේත් නැතිනම් නව යමක් ඉක්මනින් ඉගෙන ගැනීමේ ශක්තිය හීන වනවා. මේ නිසා වයසට යත්ම අධ්‍යාපනයට යෙදිය යුතු ආයාසය වැඩි වනවා. එය සමාජයීය හෝ වෙනත් ප්‍රශ්න නිසා සිත එකඟ කර ගැනීමේ අපහසුතාවයන් නිසා පමණක් නොව, වයසට යාම නිසාත් සිදුවනවා. සමේ පිටත ස්ථර ආලෝකයට නිරාවරණය වැඩි වීම නිසා සම වසයට යාම ඉක්මන් වන්නේත් යෞවන විය ඉක්මවාගෙන යනවිටයි. ස්ත්‍රීන්ගේ දරුවන් බිහි කිරීමේ සඵලතාවය වයස 25න් පසු අඩුවන බව විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා.  බොහෝ දෙනෙකුට වයස 35 වනවිටම හතලිස් ඇඳිරිය හැදෙන්නේ ඇසේ කාචයේ වූ α-crystallin ප්‍රමාණය අඩු වීම නිසා සිදුවන කාචය ඝණ වීම හේතුවෙන්. හොඳින් වැඩෙමින් පවතින හිසකෙස් ගැලවී යාමට පටන් ගන්නේත් සුදු වීමට පටන් ගන්නේත් වයසටයාම හේතුවෙන්. තට්ටය පෑදීම සියයට පණහක් පමණ පිරිමින්ටත්, සියයට විසිපහක් පමණ කාන්තාවන්ටත් දැකිය හැකි තත්ත්‍වයක්. එසේම හිසකෙස් සුදු වීමට පාරම්පරික සාධක සහ පාරිසරික සාධකද බලපානවා. කාන්තාවන්ගේ ආර්තවය නැවතීම වසර 45 ත් 55ත් අතරදී සිදු වන්නේ දරුවන් ලැබීමට සිරුර ඒ වනවිට අනුවර්තනය නොවීමේ හේතුවක් ලෙසින්, නමුත් සමහර කාන්තාවන්ට වසට 70 වනවිට වුවත් ආර්තවය සිදු විය හැකියි. වයස 60 පමණ වනවිට අස්ථි පද්ධතිය දුබල වෙමින් ආතරයිටිස් වැනි සංකූලතා ඇති වන්නට පටන් ගන්නවා. එසේම කාන්තාවන්ගේ අස්ථීන්ගේ කැල්සියම් ප්‍රමාණය අඩුවීම නිසා ඔවුන්ගේ අස්ථි කැඩීයාමට ඇති ප්‍රවණතාවයත් ඉතා වැඩියි. වසර 75 වනවිට සියයට පණහක් පමණ දෙනාට ඇසීමේ සහ කතා කිරීමේ දුර්වලතා ඇතිවීමට පටන් ගන්නේ පටක වයසට යාම නිසායි. එසේම කැටරැක්ට් වැනි පෙනීමේ දෝෂ නිසා අවුරුදු 80 පමණ වනවිට පෙනීම දුර්වල වන්නට පටන් ගන්නවා. තරුණ වයසේ කෙතරම් ශක්තිවන්තව සිටියත් අවුරුදු 85 පමණ වනවිට අපි බොහෝ දෙනාගේ චලන හැකියාවන් අඩු වන්නට පටන් ගන්නවා. ඒ වනවිට ජීවිත කාලය පුරාම ක්‍රියා කරමින් තිබූ හෘද පේශිවල ක්‍රියාකාරීත්‍වයද කෙමෙන් කෙමෙන් අඩු වන්නට පටන් ගන්නවා. මෙය හෘදයාබාධ වැනි තත්ත්‍වයනට හේතු වන නිසා බොහෝ දෙනා එක්කෝ මරණයට හෝ ඔත්පල භාවයට පත් වනවා. ශාරීරික වෙනස්කම් මෙසේ වුවත් වසර 65 පමණ වනවිට සිදුවන අමතකවීම්, ආදිය මෙන්ම තරහ යාම ආදී මානසික වෙනස්කම් පවා වයසට යාම නිසා සිදුවන බව සැලකිය හැකියි. මෙයට ඇල්ශයිමර්ස්, පාකින්සන්ස් සහ වෙනත් ස්නායුගත ආබාධ ලොකු දායකත්‍වයක් දක්වනවා.

වයසට යාම පාලනය කිරීමට මෙන්ම රෝග පාලනයටත් ලෝකය සුවිසාල මුදල් කන්දරාවක් වියදම් කරනවා. නමුත් වයසට යාම ඉක්මන් කරන සාධක ගණනාවක් දක්නට ලැබනෙවා. මේවා බොහෝ දුරට එක් එක් පුද්ගලයාගේ ජීවන චර්යාව හා බැඳී පැවතෙන දෙයක්. එයින් මූලිකම දෑ වන්නේ දුම්පානයයි. දුම්පානය නිසා කෙනෙකු දුම් නොබොන ඒ වයසේම කෙනෙකුට වඩා අතිශයින් වයසක පාටක් පෙන්නුම් කරනවා. සර්වසම නිවුන්නු යොදාගෙන කළ පරීක්‍ෂණයකදී දුම් නොබොන නිවුන් පුද්ගලයා දුම් බොන්නාට වඩා අවුරුදු පහක තරුණභාවයක් පෙන්නුම් කරන බව සනාථ වී තිබෙනවා. එසේම අධික මත්පැන් පානය නිසාද ශරීරයේ සෛල වයසට යාම ඉක්මන් කෙරෙනවා. කෙසේ වුවත් වයින් වැනි ප්‍රතිඔක්සිකාරක සංඝඨක අඩංගු මත්පැන් කිසියම් ප්‍රමාණයක් දිනපතා ශරීරගතවීම වයසට යාම පාලනය කරන බවත් සොයාගෙන තිබෙනවා. මෙයට අමතරව මානසික සතුට කෙනෙකුගේ පෙනුම වෙනස් කරන ප්‍රධාන සාධකයක්. තරහ නොගැනීම, නිතරම සතුටින් සිටීම, මානසික නිදහස ආදිය නිසා ශරීරයේ සිදුවන වෙනස්කම් පාලනය කළහැකියි. එයින් කෙනෙකුගේ මානසික වයෝවෘද්ධතාවය අඩුවන අතර එය ශරීරයටද බලපානවා. වයසට යාමට අකැමැති කෙනෙකු දිනපතා සුව නින්දක් ලබාගත යුතුමයි. නින්ද යනු අපේ දවසේ ගෙවී ගිය සෛල, මානසික විඩාව සුව කරන්නට ලබාදෙන විරාමයයි. මෙය නිසි ආකාරයට ලබා නොගතහොත් ඊලඟ දිනයේදී ක්‍රියාකාරීත්‍වයට සහ ජීවමය ක්‍රියාකාරකම්වලට බලපානවා. මේ නිසා හොඳ නින්දක් අත්‍යවශ්‍යමයි. ඒ හා සමානවම ඔබ ගන්නා ආහාර වේලත් වැදගත්. ඔබ මස් සහිත ආහාර වැඩිපුර ගන්නේ නම් ඔබේ ශරීරයේ මුක්ත ඛණ්ඩ නොහොත් නිදහස් ඉලෙක්ට්‍රෝණ සහිත සංයෝග තැනීමේ හැකියාව වැඩියි. මේ නිදහස් ඉලෙක්ට්‍රෝණ සහිත සංයෝග ඔබේ සෛලවල වූ විවිධ සංයෝග සහ සෛලීය ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රිියා කරනවා. එවිට ඒවා විකෘති වී සෛලවලට හානි පැමිණෙනවා පමණක් නොවෙයි පිළිකා වැනි දෑ සෑදීමටත් මූලික වනවා. මේ නිසා හැකිතාක් මෙම නිදහස් ඉලෙක්ට්‍රෝණ නසන ආහාර ගැනීම වැදගත්. එයට පෙර සඳහන් කළ රතු වයින් ඉතාමත් ගුණදායකයි. එමෙන්ම සීනි හෝ කාබෝහයිඩ්‍රේට භාවිතයත් අවම කිරීම වැදගත්. කාබෝහයිඩ්‍රේට සහ සීනි ශරීරය තුළ විඛණ්ඩනය වී අවසාන ඵලය වන්නේ ග්ලූකෝස් සහ ඒ හා ආශ්‍රිත සරළ සීනි වර්ගයි. මෙය වැඩවීම ශරීරයට හානිදායකයි. අවසාන ප්‍රතිඵලය වන්නේ දියවැඩියාවයි. දියවැඩියාව යනු නිහඬ මාරයෙක්. එය අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ ආදිය වෙත නිරතුරුව අතවනනවා. මේ නිසා සීනි හා සීනි එකතු කරන ආහාර අවම කිරීම කාටත් ගුණදායකයි.  එසේම විවිධාකාර පැණිබීම වර්ග, සොසේජස් සහ මීට් බෝල්ස් වැනි සකසන ලද මස්වර්ග ආදිය බොහෝ ලෙඩරෝගවලට අතවනන සාධකයි. හැකිතරම් කෘත්‍රිම දෑ සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර අවම කිරීම දීර්ඝකාලීන දිවියකට අඩිතාලමයි.

අපි කවුරුත් ජීවත් වන්නේ සංකීර්ණ ලෝකයකයි. අපි හැම දෙනාම එකිනෙකාට කුමක් හෝ ආකාරයකින් බැඳී පවතිනවා. ලෝකයේ ලොකුම ධනපතියා සිට ලොකුම දුප්පතා හෝ අවාසනාවන්තයා තමන්ට ආවේණික ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙනවා. මේ ප්‍රශ්න බැරෑරුම්ව නොසිතා, ආතතිය අවම ආකාරයට ජීවිතය සකසා ගතහොත් මානසිකවද ඔබ සැහැල්ලුවට පත් වනවා. අපට ලැබෙන ප්‍රශ්න දෙවැදෑරුම් වෙනවා. ඒ තමන්ට පාලනය කළ හැකි දෑ සහ පාලනය කළ නොහැකි දෑ.. අපි බොහෝ දෙනා වද වෙන්නේ අපේ ප්‍රශ්නවලට වඩා අනුන්ගේ හෝ අනුන් විසින් අපට පැටවූ ප්‍රශ්න නිසා. පාලනය කළ හැකි දෑ පිළිබඳ සිත යොමුකර ඒවාට ප්‍රමුඛස්ථානය ලබා දී විසඳීමෙන් පසු පාලනය කළ නොහැකි දෑ වෙත සිත යොමු කිරීමෙන් මානසික පීඩනය අවම කළ හැකියි. සියදිවි නසාගැනීම් සියල්ලම වගේ සිදු වන්නේ මානසික සංකූලතා නිසා. මානසික ආතතිය නිසා ශරීරයේ සෛලවලට දැනෙන අපහසුතාවය ඉතා ඉහලයි. ඔබ ආතතියෙන් ඇතිවිට ශ්‍රාවය වන හෝමෝන ශරීරය වයසට යාම ඉක්මන් කරනවා. එය වලක්වාගැනීමට කළ හැකි හොඳම දේ ශරීරයට සතුට දනවන හෝමෝන ශ්‍රාවය කිරීමයි. එ් සඳහා ව්‍යායාම වලින් ලැබෙන උදව්ව අති මහත්. ව්‍යායාම කිරීම නිසා ශරීරයේ අනවශ්‍ය රසායනිකයන් දහඩිය හා මුසුව පිටතට පැමිණීමත්, හෝමෝන සංයුතියේ සමබරතාවය ඇතිවීමත්, මේද සහ අනවශ්‍ය කැලරි දහනය සිදුවීමත් සහ වෙනත් බොහෝ වාසි ලැබීමත් නිසා ශරීරය ප්‍රබෝධමත් වනවා. මෙය නිතැතින්ම ශරීරය තරුණ කිරීමක් වනවා. ව්‍යායාම කිරීමේදී එන්ඩෝෆින් නම් හෝමෝන ශ්‍රාවය වෙනවා. එසේම සතුටු හෝමෝන වන සෙරටොනින් ද සතුට දනවන හැඟීම් පහල කිරීමට දායක වනවා. මේ නිසා ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරය පමණක් නොවෙයි සිත ද සුවපත් වනවා.

මෙයට අමතරව බොහෝ දෙනෙකු සිය තරුණකම බලෙන් ලබා ගැනීමට විවිධ බටහිර ඖෂධ සහ ආලේපන ලබා ගන්නවා. මේ නිසා තාවකාලික තරුණබවක් ලැබුණත්, දීර්ඝකාලීනව ඔබ ඉක්මනින් වයසට යැවීමට මේ ඖෂධ හේතු වනවා. දීර්ඝකාලීනව හිරු එලියට නිරාවරණය වීමත් සම වයසට යාමට එක් හේතුවක්. ඝර්ම කලාපයේ වෙසෙන බොහෝ කාන්තාවන් අවුවේ යනවිට කුඩයක් හෝ තොප්පියක් භාවිතා කිරීම ඉතා වැදගත් වනවා. විලාසිතාවට අවුකණ්නාඩි පැළඳ සිටියත්, මුහුණට එයින් ආරක්‍ෂාවක් ලැබෙන්නේ නැහැ, එයින් ආරක්‍ෂා වන්නේ දෑස් පමණයි..

වයසට යාම නතර කළ නොහැක්කක් බව මෑතකදී සිදු කළ ගණනය කිරීම් වලින් පවා සනාථ වුනා. මේ සඳහා ශරීරයේ සෛල ඒකක වශයෙන් සහ සමූහ වශයෙන් ක්‍රියාකරන ආකාරය සළකා බැලුනා.  සෛල වයසට යාමේදී ඒ්වාට සිදුවිය හැක්කේ එක්කෝ ක්‍රියාකාරීත්‍වය අඩපණ වීම, සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්‍වය නතර වීම හෝ නොනවත්වා අධික්‍රියාකාරී වී පිළිකා සෛල බවට පත් වීමයි. පසුගිය ඔක්තෝබර් 30 වනදා පළවූ වාර්තාවකට අනුව මිනිසුන් වයසට යාමේදී ඔවුන් මෙසේ පිළිකා සෛල නිපදවන බව සොයා ගෙන තිබෙනවා. එසේ වුවත්, ඒ සෛල පිළිකා ලක්‍ෂණ පෙන්වන්නේ නැහැ. මේ අනුව සිදුකළ ගණනයකදී සොයා ගත්තේ සෛල පවා “ශක්තිවන්තයා ජයගනී” යන ලක්‍ෂණය පෙන්වමින් දුර්වල සෛල බැහැර කෙරෙන බවයි. එසේ වුවත්, ඉතිරිවන සෛලද කෙමෙන් කෙමන් වයසට යන නිසා කිසිදු දිනෙක වයසට යාම නතර කළ නොහැකි බව නිගමනය කෙරුණා..

කෙසේ වුවත් වයසට යාම පාලනය කිරීම සමහර ආහාර මගින් කළ හැකියි. ලෝකයේ සෞඛ්‍යමත්ම ජාතිය ලෙස ඉතාලිය සහ විශේෂයෙන්ම මොනොකෝ කිරුළු දරා තිබෙනවා. ඔවුන්ගේ සුවිශේෂිත්‍වය වන්නේ මනා මානසික සමබරතාවය, හොඳින් ව්‍යායාම කිරීම,  පවුල් සම්බන්ධතා, අඩු ආතතිය සහ මධ්‍යදරණී පෙදෙස්වලට ආවේණික ආහාර රටාවයි. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණවලින් සමබර එළවලු සහ මාළු බහුල ආහාර වේල් ගැනීම විශේෂයි. දැන් ඉතාලියේ ඉපදෙන දරුවන් බොහෝ දෙනෙකු අවම වශයෙන් අවුරුදු 81 ක් ජීවත් වන බවයි ගණන් බලා ඇත්තේ. එහි දෙවනි ස්ථානය ලබා ඇත්තේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත්වන රට වන ස්විස්ටර්ලන්තයයි. ඔවුන්ගේද ආහාර රටාව සහ ඉහත කී සියළු හොඳ පුරුදු නිසා ජීවත්වන කාලය දිගු වනවා. ජපානය තෙවනි තැන ලබා ගන්නේද, ඉහත කී කරුණු කාරණා අඩු වැඩි වශයෙන් තබා ගනිමින්. එසේම ඔවුන් සිය ආහාරයට මාළු වර්ග සහ මුහුදු පැලෑටි එකතු කර ගන්නවා. ඔවුන් කළු තේ වෙනුවට ග්‍රීන් තේ බීමට රුසියන්. මේ නිසා ඔවුන්ගේ ශරීර තුළට නිතිපතා ප්‍රතිඔක්සිකාරක එකතු වනවා. මෙය දීර්ඝකාලීන ජීවිතයට උදවුවක්. අයිස්ලන්තය, සිංගප්පූරුව, ඕස්ට්‍රෙිලියාව, ස්පාඥ්ඥය, ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය, ආදී රටවල්  ද වඩාත්ම සෞඛ්‍යමත් මිනිසුන් ජීවත්වන රටවල් ලැයිස්තුවේ ඉහලින්ම සැලකෙනවා.

මේ සියළු ජාතීන්ගේ දිගු ජීවිත කාළයේ මූලික රහස වන්නේ නිසි ආහාර රටාව, ව්‍යායාම කිරීම, මානසික සමබරතාවය, පවුලේ අය සමග විනෝදවීම, අඩු ආතතිය, ආදී සරළව අනුගමනය කළ හැකි ජීවන රටාවේ වෙනසක් පමණයි. නමුත් අපේ රටේ මේ කිසිදු කරුණක් යහපත් ආකාරයකට නැති වීමම, මිනිසුන් බොහෝ ආත්මාර්ථකාමීවීම, නොනවතින තරඟයක නිරතවීම නිසා සිදුවන ආතතිය සහ මානසික අසංකූලතාවයන්, වස විශ සහිත ආහාර, අධික සීනි, පිටි, සහ මස් භාවිතය වැනි දෑ, අධික වාහන තදබදය සහ ඒ ආශ්‍රිත ආතතිය සහ අධික පරිසර දූෂණය, වායු දූෂණය, වැනි මිනිසා විසින්ම තනා ගත් පාරිසරික සාධක නිසා අපේ ජනතාව දිනෙන් දින සෞඛ්‍යය අතින් අගතියට යනවා විනා කිසිදු දිනෙක සෞඛ්‍යමත් ජාතියක් වන්නේ නැහැ. මේ නිසාම රජයට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල අතිමහත්, එමෙන්ම ජාතියක් රෝගී වනවිට ඒ රටෙහි ඵලදායීතාවය සහ සේවාවල කාර්යක්‍ෂමතාවය ඉතා දැඩි ලෙස පහලට යනවා. එවිට රටෙහි ආර්ථිකය දුර්වල වෙනවා.

සෞඛ්‍ය සම්පන්න රටකට කළ හැකි දෑ අති විශාලයි. ජාතීන් වශයෙන් ඇණකොටා ගනිමින් එකිනෙකා වඳ කිරීමට යත්න දරන කාලයේ සියළු දෙනා එක්ව රටක් වශයෙන් ජයගැනීමට උත්සාහ කිරීම සැමට උසස් දිවිපෙවෙතක් හිමිකරදීමට සමත් වේවි. රජයක් වශයෙන් අපට ලබා දිය හැක්කේ අඩු මිලට ඖෂධ සහ සෞඛ්‍ය සේවාවන් පමණයි. අන් සියල්ල අපි විසින් අපටම ලබාදිය යුතු සේවාවන්. නිවසේ කුඩා එළවලු පාත්තියකින් නෙලා ගන්නා සෞඛ්‍යාරක්‍ෂිතයි කියා තමන්ටම සහතික විය හැකි නැවුම් එළවලු සහිත ආහාර වේලක් ඔබේ සෞඛ්‍යය යහපත් කරවනු ඇති. නිවසේ කුණු කොම්පෝස්ට් කිරීමෙන් එයට අවශ්‍ය පෝෂණය ලබා ගත හැකියි. එවිට පරිසරයට කුණු එකතුවීමත් අවම වනවා. එම එලවලු පාත්තියේ ඔබේ කාලය ගත කිරීමෙන් මානසික සුවයක්, සුළු ව්‍යායාමයක් ලැබෙනු ඇති. ඔබේ පවුලේ අය එයට එකතු කර ගැනීමෙන්, පවුලේ එකට ගත කරන කාළය, මානසික බැඳීම ඇතිවනු ඇති… ආගමානුකූල වීම, භාවනාවට සිත යොමු කිරීම ආදිය නිසා ඇතිවන මානසික ප්‍රබලතාවයත් මිනිසා තිරිහන් කිරීමට සමත්.  මේ සියල්ල එකට එකතු වූ කල ඔබේ ජීවිතය තව දිනකින් හෝ දිගු වනු ඇති… තිරිහන් වීමේ සරළ රහස එයයි.

ඔබට දීර්ඝායුෂ !

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 4, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න