Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිඳී යමින් පවතින ඒරල් මුහුද

අපි කුඩා කාලයේ ලෝක සිතියම් ලකුණු කරන විට මධ්‍යම හා බටහිර ආසියාවේ භූමිය මධ්‍යයට වන්නට විශාල කරදිය අභ්‍යන්තර මුහුදු දෙකක් ලකුණු කළා ඔබට මතකද? එයින් විශාල එක වන කැස්පියන් මුහුද අද වන විටත් නිරුපද්‍රිතව තිබුණත් ඉන් කුඩා එක වන ඒරල් මුහුද නම් වර්තමානය වන විට මුහුණපා ඇති තත්ත්වය ශෝචනීයයි. අදූරදර්ශී සංවර්ධන වැඩපිළිවෙලවල ප්‍රතිඵල ලෙස 21 සියවසේ මුල් භාගය වන විට එය ඉතා ශීඝ්‍රයෙන් හිඳී යමින් තිබුණා. මේ අවට නිසා පරිසරයට හා සත්ත්ව කොට්ඨාසවලට එල්ල වුණු බලපෑමද සුළු පටු නැහැ.

ඒරල් මුහුදේ සිඳී යාම (envis.maharashtra.gov)

අර්බුදයට පසුබිම

ඒරල් මුහුද පිහිටා ඇත්තේ මධ්‍යම ආසියාවේ, කසකස්ථානයේ දකුණු දිගට හා උස්බෙකිස්ථානයේ උතුරු දිගට වෙන්නට යි. විසි වැනි සියවසේ වැඩිමනක් කාලයක් එය සැළකුණේ ලොව සිවුවැනියට විශාලතම කරදිය/කිවුල් දිය විල ලෙසයි. මෙහි ලවණතාවය ලීටරයකට ග්‍රෑම් 10ක් පමණ වුණා.

ඒරල් මුහුදේ පිහිටීම (maphill.com)

ඒරල් මුහුදට ජලය සැපයෙන ප්‍රධාන මාර්ග වන්නේ අමු දර්යා හා සිර් දර්යා නම් ගංගා දෙකයි. මේ ගංගා දෙක පිළිවෙලින් දකුණු හා උතුරු දෙසින් ඒරල් මුහුද සාගරයට සම්බන්ධ කරනවා. මේ ආකාරයට වසර සිය ගණනාවක් නිරුපද්‍රිතව පැවති ඒරල් මුහුද හා ඒ සබැඳි ගංගා දෙක පිළිබඳව 1960 දශකයේදී සෝවියට් රජය ඉතාම තීරණාත්මක තීරණයක් ගන්නවා. ඒ අමු දර්යා හා සිර් දර්යා යන ගංගා දෙක ඒරල් මුහුද ආශ්‍රිත කාන්තාරික නිම්නයේ වගා කටයුතු සිදු කිරීම සඳහා පසෙකට හරවා ඇල මාර්ග කැපීමයි.

මේ අමනොඥ තීරණය කෙටි කාලීනව යහපත් භාවයක් පෙන්වූවත් ඒරල් මුහුද සිය ජල සැපයුම අඩපණ වීම නිසා වැඩි කල් යන්නට මත්තෙන් ක්‍රම ක්‍රමයෙන් හැකිළී යාමට පටන් ගත්තේ අවට ප්‍රදේශයේ විශාල පාරිසරික, භූගොලීය හා සමාජමය වෙනසක් සිදු කරමින්.

අර්බුදයේ ස්වභාවය

කපු පුළුන් ඇතුළු තවත් ආර්ථික භෝග කිහිපයක් යොදාගෙන ඒරල් මුහුද අවට කාන්තාරය අස්වැද්දීමට සිතා ක්‍රි.ව 1950 දශකයේ අග භාගයේදී අමු දර්යා හා සිර් දර්යා ගංගා දෙක හැරවීමට සෝවියට් රජය පිඹුරුපත් සකස් කරනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ සැනෙන් විශාල ජල සැපයුමක් ඒරල් මුහුදට අහිමි වෙනවා. අනෙක් අතින් මෙසේ හරවන ලද ජල කඳින් 25%-75% අතර ප්‍රමාණයක් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව කාන්තාරයේ පසට උරාගැනීම හා වාෂ්ප වීම සිදු වූ නිසා මේ ව්‍යාපෘතිය ඇත්තෙන්ම ප්‍රයෝජනයකට වඩා ළඟා කළේ විනාශයක්.

ඒරල් මුහුද ආශ්‍රිත පුළුන් වගාව (21stcenturychallenges.org)

විශේෂයෙන්ම ශුෂ්ක පරිසරයක පිහිටා තිබෙන ඒරල් මුහුදේ ජල ධාරිතාවෙන් 80%ක්ම මේ ගංගා දෙක සැපයූ අතර වැසි ජලය සම්මාදම් වූයේ 20% කින් පමණයි. අනෙක් අතින් මෙහි ජල ධාරිතාවෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් වාෂ්පීභවනය වීම මඟින් මෙයට අහිමි වෙනවා. ඒ අනුව මෙසේ ජල සැපයුම් අඩාල වීම පසුගිය දශක 4 තුල ක්‍රම ක්‍රමයෙන් ඒරල් මුහුද හකුළවා ඒ වෙනුවට කාන්තාරික භූමියක් එහි මතු කිරීමට සමත් වෙලා.

ඒරල් මුහුද දැක්වෙන පැරණි සිතුවමක් (Didier Ruef)

වර්තමානය වන විට ඒරල් මුහුද උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට කැඩී ඇති අතර මෙතෙක් කල් එහි ජීවත් වූ සමහර ජීවීන්ටත් රතු එළි දල්වමින් එහි දකුණු කොටසෙහි ලවණතාවය සාමාන්‍ය මට්ටම මෙන් දස ගුණයක් හෙවත් ලීටරයට ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයකට වැඩි වී තිබෙනවා. සිර් දර්යා හා අමු දර්යා ගංගාවලත් ලවණතාවය තැනින් තැනට වෙනස් වන අතර සෘතු වෙනස සමඟත් එය වෙනස් වෙනවා.

මේ ස්වභාවය ඒරල් මුහුදටද අදාල අතර වර්තමානය වන විට අඩු ජල ප්‍රමාණයක් පැවතීමත්, එය නොගැඹුරු ලෙස පැතිරී තිබීම නිසා වාෂ්පීහවනය වැඩි වී තිබීමත් යන කරුණු කාරණා නිසා එහි ලවණතාවය වැඩි වී තිබෙනවා. මේ නිසා පසුකාලීනව මෙහි මසුන් සෑහෙන ප්‍රමාණයක් මියගියා. ඒරල් මුහුදේ ජල වපසරිය 1960 වසර වන විට වර්ග කි.මී 1,060 ක් වූ අතර 1998 වන විට එය ව.කි.මී 210 තරම් පහත බැස තිබුණා.

ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ඇති වී තිබෙන බලපෑම

ක්‍රි.ව 1960 ට පෙර කාලයේ දීත් ඒරල් මුහුදේ ජෛව විවිධත්වය සාමාන්‍යයෙන් අඩු තත්ත්වයක පැවතුණා. එහි වැඩිම වශයෙන් මත්ස්‍ය විශේෂ 24 ක් ජීවත් වූ අතර අපෘෂ්ඨවංශිකයින් වර්ග 200ක් පමණද, ඒ අවට ගොඩබිම්වල පෘෂ්ඨවංශික සත්ත්ව විශේෂ 180 ක් පමණද ජීවත් වෙමින් සිටියා. පසු කාලීනව ඒරල් මුහුද සිඳී යාමත් සමඟ වැඩි වුණු ලවණතාවය දරාගත නොහැකි වීම නිසා මත්ස්‍ය විශේෂ සියල්ලම පාහේ විනාශ වුණා. මේ තත්වයෙන් ගැලවුණේ අපෘෂ්ඨවංශිකයින් විශේෂ 30 ක් හා දුසිම් කිහිපයක් පෘෂ්ඨවංශික විශේෂ පමණයි.

ඒරල් මුහුදේ සිඳී යාම අවට ජෛව විවිධත්වය වෙනස් කළා (toritto.wordpress.com)

ඒරල් මුහුදේ මත්ස්‍ය ප්‍රජාව විනාශ වීමට ලවණතාවට අමතරව තවත් කරුණු බලපෑවා. ජලය නොගැඹුරු වීම නිසා මත්ස්‍යයින් හා මත්ස්‍ය බිත්තර පහසුවෙන් විලෝපිකයින්ගේ ගොදුරු බවට පත් වුණා. පසුකාලීනව ඒරල් මුහුදට ලවණතාවයෙන් වැඩි පරිසර ප්‍රිය කරන මත්ස්‍ය විශේෂ හඳුන්වා දුන් අතර ඔවුන් ඉතිරි වී සිටි අති සුළුතරයක් වූ පැරණි ආවේණික විශේෂවලට දැඩි තරඟයක් දෙමින් ඔවුන්ගේ පැවැත්ම තවත් අසීරු කර තිබෙනවා.

ප්‍රාදේශිකයන්ගේ ජන ජීවිතයට හා සෞඛ්‍යට ඇති වී ඇති බලපෑම

පසුගිය දශක කිහිපයේ ඒරල් මුහුද අවට සිදු කළ භූගෝලීය වෙනස්කම් නිසා එක් අතෙකින් මත්ස්‍ය කර්මාන්තයේ යෙදුණු බොහෝ දෙනාට සිය රැකියා අහිමි වන විට ප්‍රාදේශීය කෘෂිකර්මය සම්බන්ධ රැකියා අවස්ථා පුළුල් වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් වසර සිය ගණනක් එක ලෙස පැවති පරිසරික තත්වයන් වෙනස් වීමට භාජනය වීම නිසා මේ අවට ජීවත් වන්නන්ගේ සෞඛ්‍ය තත්වයටනම් යම් යම් තර්ජන එල්ල වී තිබෙනවා.

මත්ස්‍ය කර්මාන්තය එකළ ඒරල් මුහුදේ ජයටම කෙරුණා (Carolyn Drake / aramcoworld.com)

කෘෂි කර්මාන්තයත් සමඟම සෝවියට් රජය විසින් වැඩි පොහොර හා කෘමිනාශක ප්‍රමාණයක් මේ ප්‍රදේශයට ගෙනෙනවා. මේ ප්‍රදේශයේ පසෙහි ඇති නිසරු බව වැඩි වූ අතර ලවණතාවය නිසා කෘෂි භෝගවලට පොහොර දැමීම අත්‍යවශ්‍ය සාධකයක් වුණා. කල් යාමේදී වැඩි වැඩියෙන් පොහොර අවශ්‍ය වූ අතර මේවා ඒරල් මුහුදට එකතු වීම නිසාත් ජලය දූෂණය වන්නට ගත්තා. පසට වැඩි වශයෙන් රසායනික එකතු වීම නිසා ප්‍රාදේශීය ජනයාට අධික ප්‍රමාණයෙන් රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමට නැඹුරුතාවයක් ඇති වී තිබෙනවා.

අනෙක් භයානකම කාරණය වන්නේ ඒරල් මුහුදේ ජල මට්ටම අඩු වීමත් සමඟම එහි දූපතක්ව තිබූ වොස්රොස්ඩේනියා දූපත (Vozrozhdeniya Island) ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වීමයි. මෙය අතීතයේදී සෝවියට් රුසියානු රජය විසින් මහාමාරිය, ඇන්ත්‍රැක්ස් හා වසූරිය වැනි රෝග පිළිබඳව විවිධ අත්හදා බැලීම් කිරීම සඳහා යොදාගත් අතර මෙය කෙලින්ම ගොඩබිම හා සම්බන්ධ වීම නිසා එම අත්හදාබැලීම් හා සබැඳි වසංගත ඇති වීමේ අවදානමක් මතු කරනවා.

වොස්රොස්ඩේනියා දූපත (МACTAK MC/Panoramio)

ඒරල් මුහුද ගොඩ වූ ස්ථානවල මතු වී ඇති ලවණ සහිත පස් හා වැලි ස්කන්ධයන් සුළඟත් සමඟ වා තලයට මුසු වීම නිසා අවට ජනයාට විවිධ පෙනහළු ආශ්‍රිත රෝග ඇතුළු තවත් රෝග වැළඳීමේ අවදානමක් මතු වී තිබෙනවා. මෙහි බලපෑම සමහර විටෙක සැතපුම් සිය ගණනක් උතුරින් ඇති ආක්ටික් පෙදෙස් දක්වාම දැනෙන බව සොයාගෙන තිබෙනවා.

ඒරල් මුහුද ගොඩවීම නිසා ඇති වී තිබෙන පාරිසරික බලපෑම්, මෙම විනාශය තව දුරටත් සිදුවීම වැළක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒරල් මුහුදේ අනාගතය ගැන මෙහි දෙවන කොටසින් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

කවරයේ පින්තූරය (Final Transit.com)

Related Articles