Friday, October 13, 2017

රූමත් ගැබිණිය අරක්කු ඉල්ලා කල ජරමරේ...

මේ දවස් වල මං private practice කරන තැනට ආපු ලෙඩෙක් ගැන මේ කතාව.

තනියම ඇවිත් හිටපු මෙයා ඉල්ලුවෙ pregnant ද කියල බලන මුත්‍රා පරීක්ෂණේ කරල දෙන්නයි කියල. ඒ කීවේ urine hCG පරීක්ෂණේ...

Report එක ආව. මෙයා pregnant.

ඩොක්ටර් මං බබාව හදාගන්නවා. මං මුකුත් අහන්නත් කලින් එයා එහෙම කතාවක් කිව්ව.

අරක්කු බීවම බබාට මුකුත් වෙනව ද මහත්තයෝ ? ඈ මී ළඟට ඇසුවේ මා කිසිසේත් ම බලාපොරොත්තු නොවූ පැනයකි. 

දරු ගැබක් කුසේ දරාගත් අම්මා කෙනෙක් මත්පැන් පානය කළහොත් උපදින්න ට සිටින දරුවාට ඇත්විය හැකි සංකූලතා ගැන මා ඇය දැනුවත් කලා.

දරුවා ගබ්සා වෙන්න පුළුවන්. මළ දරු උපතක් වෙන්නත් පුළුවන් , ඒ වගේ ම දරුවා අඩු මාසෙන් අඩු බරෙන් යුතුව ඉපදෙන්නත් ගොඩක් ලොකු chance එකක් තියනවා.

දෙවැනි කාරණේ තමයි ඉපදෙන දරුවට මුහුණේ, හදවතේ, කොඳු නාරටියේ උප්පත්තියෙන් ම එන ආබාධ පිහිටලා තියෙන්න පුළුවන්.

ඒ වගේම මේ දරුවාගේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි වෙන හන්ද ඇස් පෙනීම, කන් ඇසීම වගේ දේවල් මෙන්ම අධ්‍යාපනය, කතාව,හැසිරීම, අවධානය වගේ දේවල් වල දුර්වලතා ඇතිවෙන්න ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා. ADHD ඒකියන්නේ අධි ක්‍රියාශීලි දරුවෙක් වෙන්නත් ලොකු ඉඩක් තියනවා.

ඒ හන්ද බොන්න නම් එපා අම්මේ... අපරාදේ ලැබෙන්න ඉන්න දරුවට මොනවහරි උනොත්...

මං බම්බලපිටියේ night club එකක වැඩ කරන්නේ doctor. ලිකර් ගන්න වෙනවා අපිට හැමදාම. ලබන සතියේ මං ගමේ යනවා. ගිහින් එහෙ ක්ලිනික් යනවා. එතකන් මට විටමින් පෙති දෙන්න පුළුවන් ද ? 

ඔයාගේ ගෙවල් කොහෙද පුතා? 

මහියංගනේ...

මා නිරුත්තර උණා... එතනින් එහාට මේ ලෙඩා එක්ක මොනවා කතා කරන්න ද කියල මට තාමත් හිතාගන්න බැහැ.

තව ටිකක් කතා කළා නම් මෙයා ඇයි කොළඹ ආවේ කියල දැනගන්න තිබුණා.
සමහර විට අම්ම තාත්ත ලෙඩ වෙලා ඇති. නංගිටයි මල්ලිටයි ඉගෙන ගන්න සල්ලි නැතිව ඇති. එහෙමත් නැතිනම් මනුස්සයා බිබී විකාර කරනවා ඇති.  

අපි මොනවා කීවත්, මොනවා ලීවත් කෙල්ලෝ club වල වැඩකරන්න යන්නේ, ගණිකාවෝ වෙන්නේ ආසාවකට නෙවෙයි පුතේ...

ප.ලි. ; ඉපදීමට සිටිනා දරුවාට හානියක් නොවන ලෙස ලබා ගතහැකි උපරිම මද්‍යසාර ප්‍රමාණය පිළිබඳ නිවැරදි ව පරීක්ෂණ සිදුවී නැති නිසා ඔබ ගර්භනී නම් හැකි සෑම විටම මද්‍යසාරයෙන් වළකින්න...

ඔබ ගර්භණි කියා දැනගන්නා විටත් පසුගිය කාලය පුරාවට ම මත්පැන් පානය කර ඇතිනම්... බිය වන්න එපා. මේ වෙලාවේ සිට ම මත්පැන් වලින් වැළකී සිටින්න.

මිට අමතරව,
ගර්භණි සමයේ දුම්පානය ඉහත සඳහන් කළ හානිකර අතුරු ආබාධ මෙන් ම වැදෑමහ ගර්භාෂයෙන් ගැලවී යාම,
මව්කුස තුළ හදිසියේම දරුවා මිය යාම වැනි භයානක සංකුලතා ඇති වීමට ද හේතු
වන බැවින් සිගරට් බොන්නත් එපා හොඳේ... සිගරට් බොන තැනක ඉන්නත් එපා...

10 comments:

  1. මේකෙ වැදගත්කම හිංද මං ෆේස්බුක් එකේ ෂෙයා කළා

    ReplyDelete
  2. ' ඔයාගේ ගෙවල් කොහෙද පුතා?

    මහියංගනේ...
    '

    මෙහිදී පුතා කියලා ඔබෙන් ප්‍රශ්නේ අහන්නේ ප්‍රතිකාර බලාපොරොත්තුව පැමිණි කාන්තාවද? ඔබ මහියංගනයේ නම් ඇයි නිරුත්තර උනේ?

    ReplyDelete
  3. මෙහෙම දේවල් රටේ කොච්චර නම් වෙනවා ඇද්ද?

    ReplyDelete