දිමුත්ගේ ශතකයෙන් හැඩවුණු ඉනිම පාකිස්තානුවන් හඹායාම අරඹයි!

2349

පාකිස්තානු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය (07) නිමා වෙද්දී තරගය තුල සුරක්ෂිත වන්නට ශ්‍රී ලංකා පිළ සමත් වී සිටියි. ඒ අනුව මෙම තරගය බොහෝ දුරට ජය පරාජයකින් තොරව හෝ ජයග්‍රහණයකින් යුතුව නිමාවීමට ඉඩකඩ පවතී.

එහි දී හෙට (08) දිනයේ පාකිස්තානු පිතිකරුවන් සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ඇතිවෙන උණුසුම් ගැටුම අවසානයේ තරගයේ දිශානතිය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

දිමුත්ගේ විශිෂ්ට ශතකය නිසා දිනයේ ගෞරවය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය අද (06) නිමාව දුටුවේ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න…

අද දිනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා පිළේ ලකුණු තත්ත්වය කඩුලු 3කට ලකුණු 254ක් ලෙස සටහන් වෙද්දීයි. ඒ වන විට පිටියේ රැඳී සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 133ක් ලබා සිටි අතර නායක දිනේෂ් චන්දිමාල් තම 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ පසුවිය. ඔවුන් දෙදෙනා අතරේ ඒ වන විට ඉතාමත් විශිෂ්ට ආකාරයේ නොබිඳුනු ශතක සබඳතාවයක් ද ගොඩ නැගී තිබුණේ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම විශ්වාසනීයව ඉදිරියට ගෙන යමිනි.

අද තරගය ඇරඹී මොහොතක් ගතවන විට දී දිනේෂ් චන්දිමාල් තම අර්ධ ශතකය සපුරා ගැනීමට සමත් වීම දිනයේ පළමු සුවිශේෂී සිදුවීම බවට පත්විය. පන්දු විශාල ගණනකට සුපරීක්ෂාකාරී ලෙස මුහුණ දෙමින් ඔහු ගොඩ නැගූ ඉනිම සැබෑම ටෙස්ට් පිතිකරුවෙකුගේ නිපුණත්වය මනාව කියා පෑවේය. කෙසේ වෙතත් දිමුත් සමඟ ඔහු ගොඩ නැගූ සුපිරි සබඳතාවය ලකුණෙන් ලකුණ වර්ධනය වී ලකුණු 146 වන විට අවාසනාව චන්දිමාල් සොයා ආවේය.

ඒ යසීර් ෂාගේ සුරතින් ගිලිහී චන්දිමාල්ගේ පා ආවරණයේ දැවටුණු පන්දුව ශ්‍රී ලංකා නායකයාව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකළ බැවිනි. විනිසුරුගේ තීරණයට හිස නමා චන්දිමාල් ක්‍රීඩා පිටිය හැර ගිය ද, පසුව පුනරූපන පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වූයේ එය කඩුල්ල හැර යාමට නියමිත පන්දුවක් වන බවයි. ඒ වන විට චන්දිමාල් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 62ක් රැස් කරගෙන සිටියේය. තම නායකයාගෙන් පිතිකරණ අවස්ථාව ලබාගත් දික්වැල්ල ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න සමඟ එක්වී ඉක්මන් ලකුණු 50ක සබඳතාවයක් පැවැත්වීය.

තිරිමාන්න ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ සටනක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උපනායක ලහිරු තිරිමාන්න අද (06) ඩුබායි හීදී ආරම්භ වන පාකිස්තානය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සිය…

පළමු ටෙස්ට් තරගයේ දී පිත්තෙන් සහ කඩුලු රැකීමෙන් ශ්‍රී ලංකාවට වටිනා සේවයක් ඉටුකළ නිරෝෂන් දික්වැල්ල අදත් අවශ්‍යම මොහොතේ දී වේගවත් අර්ධ ශතකයක් රැස්කර ගත්තේය. පන්දු 53කින් ඔහු ලබාගත් ලකුණු 52 සටහන් වූයේ ඔහුගේ ටෙස්ට් දිවියේ සත්වැනි අර්ධ ශතකය ලෙසයි. දික්වැල්ලගේ මෙම දර්ශනීය ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය. විශාල ලකුණු ගණනක් කරා ඇදී ගිය ශ්‍රී ලංකා ඉනිමේ ශෝකජනකම අවස්ථාව දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවයි.

ඒ ඉතාමත් සුපරීක්ෂාකාරීව මනා කැපවීමකින් තම සුපිරි ඉනිම ගොඩ නැගූ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල ලකුණු 196ක් ලබා සිටිය දී බිඳ වැටීමයි. පුරා දින දෙකකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 405කට මුහුණ දුන් දිමුත් මේ ආකාරයෙන් මංගල ද්විත්ව ශතකය අහිමි කර ගැනීම මෙරට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි සංවේගයට හේතු විය. දිමුත්ට ප්‍රථම ටෙස්ට් තරගයේ දී ශතකය මග හැරුණේ ද ලකුණු 7ක් තරම් කෙටි පරතරයකිනි. එය ද දුවද්දී දැවී යාමක් ලෙස සටහන් විය. මෙවර දිමුත්ට ද්විත්ව ශතකය අහිමි කළේ වහාබ් රියාස් යැවූ වේග පන්දුවකි.

පිතිකරුවන් සය දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට සත්වැනි පිතිකරුවාගේ අඩුව පුරවාදුන් දිල්රුවන් පෙරේරා අද ලකුණු 58ක් රැස් කරමින් දස්කම් දැක්වීය. වැඩි පීඩනයක් සිතට නොගෙන නිදහසේ පහරවල් කරා ගිය ඔහු අවසානයේ හතරේ පහර 7ක් තම ඉනිමට එකතු කොට ගත්තේය. ඒ තාක්ෂණයෙන් පරිපූර්ණ ඩ්‍රයිව් පහරක් ද සමඟිනි. දිල්රුවන්ගේ මෙම සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලකුණු 450 පසුකර යෑමට හැකි විය. මෙම ඉනිම දිල්රුවන්ගේ සයවැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක්විය.

දනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරත්මක ආරම්භක පිතිකරුවෙකු වන දනුෂ්ක ගුණතිලක හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර එක්දින..

දිල්රුවන්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු කිහිපය වැඩි කල්වේලා නොයවාම බිඳ වැටුණි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අවසානයට දැක්වුනේ සියල්ලන්ම දැවී ලකුණු 482ක් ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායමට එකම බරපතළ තර්ජනය එල්ල කළ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ෂා ලකුණු 184ට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. යසීර්ගේ දඟපන්දුව ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් බවට පත් වුවද මේ වන විට තණතිල්ල ක්‍රමයෙන් දඟපන්දු යවන්නන්ට වාසි ගෙන දෙන බව යසීර්ගේ පන්දු යැවීමේ දී පැහැදිලි විය. ඒ අනුව පාකිස්තානු කඩුලු දඩයමේ දී රංගනට සහ දිල්රුවන්ට කර්‍යබහුල දිනයක් හෙට උදාවනු ඇත!

CricketryDay 02

Uploaded by ThePapare.com on 2017-10-07.

කෙසේ වෙතත් අද දිනයේ පාකිස්තානු පිතිකරුවන් තම කඩුලු 10ම රැක ගන්නට සමත් වූයේ ලකුණු 51ක් තම ප්‍රථම ඉනිමට එක්කොට ගනිමිනි. එහි දී ශ්‍රී ලංකා පිළ තම විශේෂඥ පන්දු යවන්නන් පස් දෙනාම අත්හදා බැලුවද ඒ කිසිවෙකුටත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට හැකි නොවිය. කෙසේ වෙතත් හෙට දිනය ඇරඹෙන විටත් පාකිස්තානුවන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 431ක් පිටුපසින් සිටීම නිසා පීඩනය සෘජුවම එල්ල වී ඇත්තේ ඔවුන් දෙසටයි. ඉන් ඵල නෙලා ගනිමින් පාකිස්තානු පිතිකරුවන් පිටිය මැද අන්දමන්ද කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගය සැබවින්ම ඓතිහාසික තරගයක් බවට පත්කර ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 51 (පන්දුවාර 18): සැමී අස්ලාම් 30*, ශාන් මසූඩ් 15*.

  >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<