සිවුමංසල කොලු ගැටයා #335: කස්තුරිගේ චාරිකා (1933-2017)

W D K (Kasturiratne) Gunawardene as a young man (left) and at 80

In this unusual Ravaya column, published on 24 September 2017, I salute my father W D Kasturiratne Gunawardene who passed away on September 13 aged 84.

His was a very ordinary life, mostly dedicated to education. But it was punctuated at various points by key events of his country and people. Tracing his life thus offers us some glimpses of his nation’s turbulent times for the past few decades – of our collective hopes, mistakes, tragedies and resilience.

I write a more compact English essay along the same lines which is published here: Kasturi’s Progress: 1933 – 2017

මගේ පියා ඩබ්ලිව් ඩී කේ (කස්තුරිරත්න) ගුණවර්ධන 84 හැවිරිදිව පසුගිය සතියේ මිය ගියා. ඔහුගේ ඉල්ලීම පරිදි අවමගුල ඉක්මනින් හා චාම්ව පැවැත්වුණා.

වසර 25ක් පමණ ගුරුවරයකු ලෙස සේවය කළ පියා විශ්‍රාම ගිය පසු සක්‍රියව සමාජසේවා හා සාහිත්‍ය කටයුතුවල නියැලුණා.

ඔහුගේ ජීවිතය මා මෙනෙහි කරන්නේ පුළුල් කෝණයකින්. රටක හා ජාතියක ප්‍රගමනය එයට අයත් පුද්ගලයන්ගේ අත්දැකීම් හා මතකයන් බවට පත් වනවා. එනම් රටේ ඉතිහාසයේ සන්ධිස්ථාන පුද්ගල ඉතිහාසයන්ගෙන් ද පිළිබිඹු වනවා.

මගේ පියාගේ ජීවිතය මීට කදිම උදාහරණයක් ලෙස මා දකිනවා. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනා, විභවයන්, අයාලේ යාම් හා ඛේදවාචකයන් පියාගේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවල සනිටුහන් වූවා.

1933දී ඔහු උපන්නේ එවකට කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් වූ ගනේමුල්ලේදී. දැන් එය ගම්පහ දිස්ත්‍රික්කයට අයිතියි. කොළඹ නගරයෙන් කිලෝමීටර් 20කට නොවැඩි දුරකින් පිහිටියත් ඔහුගේ ළමා කාලයේදී ඒ ප්‍රදේශය කුඹුරු ගොවිතැන් බහුල ග්‍රාමීය පරිසරයක්. විදුලිබලය පවා ලැබුණේ ඔහුගේ වයස 15දී පමණ.

මගේ පියාට මතක නොතිබුණත් 1933-35 මහා මැලේරියා වසංගතය පැතිර ගියේ ඔහු ළදරුවකුව සිටියදී. ඔහුටත් මැලේරියාවන වැළඳුණා. මැලේරියාවෙන් බොහෝ දෙනකු පීඩා විඳ මිය ගියේ එවකට මහජන සෞඛ්‍ය සේවාවන් හරිහැටි ස්ථාපිත වී නොතිබුණු නිසා. සමස්තයක් ලෙෂ ලක්ෂයක් පමණ දෙනා මැලේරියා වසංගතයේදී මිය ගියා.

විදුහල්පතිවරයකු වූ මගේ සීයා, ඒ කාලයට සාපේක්ෂව ඇති-හැකි අයෙක්. මාස 18ක් වූ තම දරුවාට මැලේරියා ප්‍රතිකාර සොයා සීයා මෝටර් රථයක් කුලියට ගෙන කොළඹට ආවා. කැලණි පාලම පසු කර ටික දුරක් යන විට බබාපුල්ලේ නම් වෛද්‍යවරයාගේ ඩිස්පැන්සරිය දැක ඔවුන් එහි ගියා.

වෛද්‍ය බබාපුල්ලේ වෙනුවෙන් නම් කළ වීදියක් කොටහේන ප්‍රදේශයේ අදත් තිබෙනවා. මේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර දින කීපයක් ගැනීමෙන් පසු ළදරු පියාගේ මැලේරියාව සුව වුණා. එහෙත් ගමෙන් පිටතට විත් එසේ ප්‍රතිකාර සොයා යාමේ හැකියාව නොතිබුණු මවුපියන්ගේ දරුවන් බොහෝ දෙනකු මැලේරියාවට බිලි වුණා.

2016 සැප්තැම්බරයේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහතික කරනු දැකීමට පියා ජීවත් වුණා. එදා මෙදා තුර මෙරට සෞඛ්‍ය සේවයේ දියුණුව, ඔහුගේ ජීවිත කාලයේ අප ලද සාමූහික ජයග්‍රහණයක්.

මැලේරියාවෙන් බේරුණු පියා, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන්. ඉනික්බිති ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නට කොළඹ ආනන්ද විදුහලට ඇතුලු වුණා. ගමේදී සිංහලෙන් උගත් ඔහුට මුලදී මේ සංක්‍රාන්තිය ටිකක් දුෂ්කර වන්නට ඇති. එහෙත් ඔහු ඉක්මනින්ම ද්විභාෂා සමත්කම ලබා ගත්තා.

දෙවන ලෝක යුද්ධය (1939-1945) ගැන මතක සේයාවන් පියාට තිබුණා. යුද්ධය නිසා ලක් සමාජයේ හට ගත් කැළඹිලි මෙන්ම අගහිඟකම් ගැනද ඔහු පසුව ආවර්ජනය කළා. 1942 අප්‍රේල් මාසයේ ජපන් හමුදාව කොළඹට හා ත්‍රිකුණාමලයට බෝම්බ දමන විට පියාට වසර 9යි.

ඊළඟට ඔහුට හොඳටම මතකයේ සටහන් වූ සිදුවීම 1948 පෙබරවාරි 4 වනදා නිදහස ලැබීමයි. ගනේමුල්ලේ සිට මරදානට දුම්රියෙන් පැමිණීම එකල ඔහුගේ සිරිතයි. මරදාන දුම්රියපොළේ සිට ආනන්දයට තිබුණේ පයින් යන දුරක්.

නිදහස් දවසේත් දුම්රියෙන් කොළඹ ආ ඔහු, මරදානේ සිට ටොරින්ටන් චතුරස්‍රයට පයින් ඇවිද ගියා. එහි සිට බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට පාලනය ඩී. එස්. සේනානායක ප්‍රමුඛ රජයට භාර දීමේ උත්සවය නැරඹුවා. එවිට ඔහුගේ වයස 15යි.

ඊළඟ පාසල් දිනයේදී ඔහු නිදහසේ අරුත ගැන රචනාවක් ලියුවා. එය ස්වාධිපත්‍යය යටතේ රට දියුණු වනු දැකීමේ පරමාදර්ශී අරමුණු කැටි කර ගත් එකක්. එහෙත් ඒ අරමුණු සාක්ෂාත් කර නොගෙන දශක හතක් තිස්සේ අපේම නායකයන් රට අයාලේ ගෙන යනු බලා සිටීමට ඔහුට සිදු වුණා.

කලා විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ ඔහු පේරාදෙණිය සරසවියට ගියේ 1954දී. පේරාදෙණියේදී සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි දැවැන්තයන්ගෙන් උගත් මගේ පියා, සිංහල විශේෂ උපාධියක් ලබා ගත්තා.

ඔහුගේ සරසවි සමකාලීනයන් සමහරෙක් පසු කලෙක නාමධාරී වියතුන් හා කලාකරුවන් බවට පත් වුණා. ජේ බී දිසානායක හා සරත් අමුණුගම වැන්නවුන් ඒ අතර සිටියා.

මහාචාර්ය ආරිය රාජකරුණා
Prof Ariya Rajakaruna

වැඩිම කලක් සමීප මිතුදමක් පැවතියේ සිංහල මහාචාර්යවරයකු හා ගත් කතුවරයකු වූ ආරිය රාජකරුණා සමඟයි.

පේරාදෙණිය ගැන මිහිරි මතකයන් රැසක් පියාට තිබුණා. ප්‍රථම උපකුලපති ශ්‍රීමත් අයිවෝ ජෙනිංස් හා ප්‍රථම ලාංකික උපකුලපති වෛද්‍ය නිකලස් ආටිගල යන දෙදෙනාගේ එකිනෙකට වෙනස් පරිපාලන ශෛලීන් ඔහු සිහිපත් කළා. සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යය පුහුණු කළ හැටි හා 1956දී මුලින්ම වේදිකාගත කළ සැටි පියාට හොඳට මතක තිබුණා.

මේ සියල්ලට වඩා තීව්‍ර මතකය වූයේ දෙමළ උපාධි අපේක්ෂිකාවක් සමඟ පෙමින් බැඳීමයි. යාපනයේ ගුරු පවුලකට අයත් භවනි නම් එම තරුණිය, සිංහල බස එක් විෂයයක් ලෙස තෝරා ගෙන සිටියා. රටේ උතුර හා දකුණ අද මෙන් ධ්‍රැවිකරණය වී නොතිබි එකල මෙවන් සබඳතාවක් කිසිසේත් අභව්‍ය වූයේ නැහැ.

අහිංසක ලෙසින් ලියලා ගිය ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය, සරසවියෙන් නික්ම ගිය පසුත් පැවතුණා. එහෙත් 1958 හට ගත් ජාතිවාදී කෝලාහලවලින් දෙදෙනාම දැඩි කම්පනයට පත් වුණා. එවිට පියාගේ වයස 25යි.

රට යොමු වෙමින් තිබූ බිහිසුණු දිශාව ගැනත් එවන් පසුබිමක සිංහල-දෙමළ විවාහයකට මතු වන අභියෝග ගැනත් මෙනෙහි කළ තරුණ යුවල වෙන් වීමට තීරණය කළා. මේ අතීත කථාව මා දැන ගත්තේ ඔහුට වයස 80 වූ විටයි.

ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික තීරණය ගැන අපට වාද කළ හැකියි. එහෙත් එය ප්‍රශ්න කළ නොහැකි යයි මා සිතනවා. නිදහස් ලංකාවේ අනාගතය ගැනත්, තම තමන්ගේ පෞද්ගලික අනාගතය ගැනත් කස්තුරි හා භවනි වැනි දහස් ගණනක් තරුණ තරුණියන් දල්වා ගත් පැතුම් අන්තිමේදී දේශපාලන ජාතිවාදී මඩ වගුරේ ගිලී ගියා.

ගුරුවරයකු හැටියට දිගු කාලීන සේවය 1958දී ඔහු පටන් ගත්තේ කොළඹ මරදානේ සාන්ත ජෝසෆ් විදුහලෙන්. ප්‍රකට අධ්‍යාපනඥ පීටර් පිල්ලේ පියතුමා ඔහුගේ මුල්ම විදුහල්පතිවරයා වූවා.

පියා වැඩිම කාලයක් (වසර 15ක්) කොළඹ ආනන්ද විදුහලේ සිංහල සාහිත්‍ය ගුරුවරයා ලෙස සේවය කළා. ඉන් පසු ඇඹරළුව විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, පසුව කැළණිය ගුරුකුල විද්‍යාලයේත් වසර කිහිපය බැගින් ගත කළ ඔහු සේවය හමාර කළේ යළිත් ආනන්ද විදුහලේම ප්‍රධානාචාර්යවරයකු හැටියට.

සිසුන් දහස් ගණනකට ඔහු උගන්වා ඇති. උද්යෝගයෙන් එය කළත් ඒ ගැන වැඩිපුර කථා කළේ නැහැ. අහවලා මගේ ගෝලයෙක් කියා ලෙබල් ගැසුවේම නැති තරම්. විශිෂ්ට වෘත්තිකයන්, පරිපාලන නිලධාරීන්, දක්ෂ කලාකරුවන් හා හමුදාපතිවරුන් ඔවුන් අතර සිටින බව මා යන්තමින් හෝ දන්නේ වෙනත් මූලාශ්‍ර හරහායි.

1960 දශකයේ පියාගෙන් සිංහල උගත් සිසුන් සිය ගණනක් අතර පසු කලෙක නිර්මාණශීලී දක්ෂයන් වූ ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, ඒ. ඩී. රන්ජිත් කුමාර වැනි අය සිටි බව නම් මා දන්නවා.

ගීතනාත් කුඩලිගම සංස්කරණය කළ ‘සසර සැරි සරන තෙක්: ප්‍රේමකීර්ති නැවත කියවමු’ (2014) කෘතියට පියාගේ ආවර්ජනාද හසු කර ගෙන තිබෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස් පියාගේ 1966 පන්තියේ සිටි, පොතේ වැඩට උනන්දු නොවූ එහෙත් අතිශයින් නිර්මාණශීලී සිසුවෙක්. පන්ති වේලාවේ කවි ලියා හසු වී පියාගෙන් දඬුවම් පවා ලැබ තිබෙනවා.

1983 කළු ජූලිය සිදු වන විට පියාට වයස 50යි. ඡන්ද හිමි නාම ලේඛන වැනි නිල තොරතුරුවලින් සන්නද්ධව සංවිධානගත මැර පිරිස් රට පුරා දෙමළ සංහාරයක යෙදෙන විට, මුල දින තුනක කාලයේ එවකට පැවති රජය ඔහේ බලා ගෙන සිටීම ඔහුට අදහා ගත නොහැකි වුණා.

1983 කළු ජුලියටත් පෙර පටන් ඔහු ළඟ එන සිවිල් යුද්ධයේ පෙරනිමිති හඳුනා ගත්තා. 1981 මැයි 31 යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුවත අසා ඔහු කීවේ එය දෙමළ ජනයාගේ හදවතට ගිනි තැබුවාට සමාන බවයි. මහා විනාශයක් අත ළඟ බව තේරුනත් තනි පුරවැසියකු ලෙස කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.

සිංහල හා දෙමළ ජාතිකවාදය අන්ත ජාතිවාදයන්ට පරිණාමය වන විටත්, දෙපසේම සටකපට දේශපාලකයන් යුද්ධය හිඟන්නාගේ තුවාලයක් බවට පත් කර ගත් විටත් ඒ ගැන කිසිවක් කර ගත නොහැකිව ඔහු අසරණ වුණා.

යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් හා කළු ජූලියෙන් ඇවිල ගිය ජාතිවාදයේ ගිනිදැල්, ඊළඟ දශක තුනක පමණ කාලය තුළ සමස්ත ලක් සමාජයම දවනු ඔහු බලා සිටියා.

ආනන්දයේ උගත් සමහරුන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය හා ජාතිකවාදය එළිපිටම ප්‍රවර්ධනය කරනු දැක ඔහු විමතියටත්, කම්පාටත් පත් වුණා. එහෙත් ඔවුන් සමඟ වාද කිරීමට හෝ ඔවුන්ට එරෙහි වීමට ඔහු තැත් කළේ නැහැ.

මගේ පියා ස්වාභාවයෙන්ම අරගලවාදියෙක් නොවෙයි. ගෙදරදී දේශපාලනය කථා කළේ නැහැ. එහෙත් කලාතුරකින් ඔහු කියූ වැකියක් හෝ දෙකක් මට හොඳට මතක සිටියා.

1971 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු ඊළඟ වසරේ වෙසක් දිනයට පොලිසිය භක්ති ගී කියනු දැක ඔහු කීවේ. ”පසුගිය මාස ගාණක් තිස්සේ මිනී මරපු පොලිසියට දැන් මොන වෙසක්ද?’ කියායි.

ගිනිගෙන දැල්වුණු හා තැන තැනින් පිපිරුණු ලක් සමාජයට පැන් පොදක් හෝ ලබා දෙන්නට ඔහු හැකි පමණින් නිහඬ ස්වේච්ඡා සේවයේ යෙදුණා. විශ්‍රාම යාමෙන් පසුව වසර ගණනාවක් ඔහු ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනයේ කිසිදු ගෙවීමකින් තොරව වැඩ කළා. මනෝ විද්‍යා උපදේශනය ගැන පුහුණුව ලද ඔහු සියදිවි නසා ගන්නට ආවේගයට පත් අයට ඕනෑම වෙලාවක ඇමතිය හැකි Hotline එක ඇතැම් දිනවල භාරව සිිටියා.

බෞද්ධයකු වූ පියා, බුදු දහමේ නාමයෙන් දෙමළ-මුස්ලිම්-කිතුනු සුළුතරයන් කොන් කිරීම හෝ හෙළා දැකීම කිසිසේත් අනුමත කළේ නැහැ. 2009දී සිවිල් යුද්ධය අවසන් වන විට පියාගේ වයස 76යි.

W D Kasturiratne Gunawardene, at age 80 [Photo by Dhara Gunawardene]
සාමය ඇති කිරීමට අති විශාල මිලක් ගෙවීමෙන් අනතුරුව හෝ ලක් සමාජයේ සංහිඳියාව ටිකෙන් ටික පැන නැගී එතැයි ඔහු අපේක්ෂා කළා. එහෙත් ඒ වෙනුවට සිංහල බෞද්ධ කඩතුරාවකට මුවා වී ඒකාධිපතිවාදී මර්දනය හා අසීමිත දූෂණය පැතිර යනු දැක මුළුමනින්ම ඉච්ඡාභංගත්වයට පත් වුණා.

ඔහු අවසන් වරට බලාපොරොත්තු දල්වා ගත්තේ 2015 ජනවාරි මැතිවරණයෙන් පසුවයි. එවිට ඔහුගේ වයස 82යි. ඔහු 1956 මහමැතිවරණයේ සිට සෑම ජාතික මැතිවරණයකදීම ඡන්දය පාවිච්චි කළත්, ඒ බොහෝ අවස්ථාවල වංචනික දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ඔහු රවටනු ලැබුවා. මෙය ඔහුගේ පෞද්ගලික අත්දැකීම ඉක්මවා ගිය පොදු අත්දැකීමක්.

යහපාලන ප්‍රතිඥා දී බලයට ආ ජාතික ආණ්ඩුවද නොබෝ කලකින්ම ජනතා අපේක්ෂා කඩ කරනු ඔහු දුටුවා. ඔහු දැන හැඳින සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වියොවින් පසුව යහපාලනය අයාලේ යාම නොවැළැක්විය හැකි යයි නිගමනය කළා.

ප්‍රතිසංස්කරණ හරහා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට පොරොන්දු වී ඡන්ද දිනූ මෛත්‍රීපාල සිරිසේන පක්ෂයක් බදා ගෙන, දූෂිතයන් ළං කර ගෙන රටට බණ කියමින් කරන කෙරුවාව ගැන සුසුම් හෙළනු හැර අන් කිසිවක් කිරීමට ඡන්දදායක හා පුරවැසි කස්තුරිට හැකි වූයේ නැහැ.

පක්ෂ දේශපාලනයට කිසි දිනෙක ඇදී නොයන්නැයි ඔහු මට අවවාද කළා.

සර්වෝදය-දේශෝදය ග්‍රාම රාජ්‍ය චින්තනය හා වික්ටර් අයිවන් ප්‍රවර්ධනය කරන පුනරුදය ව්‍යාපාරය ගැන පියා ලොකු අවධානයක් යොමු කළා. මෙවන් විකල්ප මාර්ගයක් හරහාවත් අපේ රට වැටී සිටින අගාධයෙන් ගොඩ ගත හැකිද යන්න මෙනහි කළා. රාවය ආරම්භයේ සිටම පාඨකයකු වූ ඔහු, පුද්ගලයන් ඉක්මවා යන ක්‍රමීය වෙනසක අවශ්‍යතාව දැන සිටියා.

එහෙත් එවන් ක්‍රමීය වෙනසක් සඳහා කැප වීමෙන් වැඩ කිරීමට සූදානම් පුරවැසියන් ඇති තරම් මෙරට සිටීද? මැතිවරණවලදී ඡන්දය දීමෙන් ඔබ්බට යන සමාජයීය වගවීම (social accountability) තහවුරු කිරීමට තරම් පරිනත සමාජයක් අපට උරුමද?

1948දී නිදහස් ශ්‍රී ලංකාව ගැන පියා දල්වා ගත් සියලු අපේක්ෂා අභිලාශයන් සුන් වී ගොසින්. ඔහු මිය ගියේ සිය පරම්පරාවේ ඇත්තන් දැනුවත්ව හා නොදැනුවත්ව කළ දේශපාලන වැරදි ගැන පශ්චාත්තාපයෙන්. සමාව අයදිමින්.

දශක හතක වැරදි සමුදායෙන් පාඩම් උගනිමුද? නැතිනම් තවත් පරම්පරා කිහිපයක් අයාලේ ගොස් විනාශ වී යන තුරු මහාවංශය බදාගෙන, අතීත ශ්‍රී විභූතියක් ගැන උදම් අනමින් ඔහේ බලා සිටිමුද?

තීරණය ඔබේ සහ මගේ අතේ.

(සටහන: ගුරුවරුන්ට විකට නම් පටබැඳීම සිසුන්ගේ සිරිතක්. පියාට ඔහුගේ සිසුන් දී තිබූ එවන් නම් දෙකක් ගැන පසු කාලීනව මා දැන ගත්තා. ප්‍රේමකීර්තී පියාට දුන් නම තිසාහාමි‘. උස මහත දේහධාරී හා බෙල්ල දක්වා කොණ්ඩය වවා සිටි නිසා විය යුතුයි. අනෙක් විකට නම ගලිවර්. ඒ ප්‍රබන්ධ චරිතය තරම් සංචාරය නොකළත් පෙර අපර දෙදිගම සාහිත්‍ය උරුමයන් ඇසුරු කළ පියා මනසින් ලොව පුරා ගිය අයෙක්. ගලිවර්ගේ චාරිකා එදා බ්‍රිතාන්‍ය දේශපාලනය පිළිබිඹු කළා සේ කස්තුරිගේ ජීවන චාරිකාව පසුගිය දශක කිහිපයේ අපේ පොදු කථාවයි.)

Nalaka Gunawardene (left) and his father Kasturiratne Gunawardene on the latter’s 83rd birthday, on 5 February 2016

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

3 thoughts on “සිවුමංසල කොලු ගැටයා #335: කස්තුරිගේ චාරිකා (1933-2017)”

  1. එක් යුගයක නිමාවක්…!

    ඔය කියන ගනේමුල්ලේ කළුවල හන්දිය ප්‍රදේශය මා හොඳින් දන්නවා. ඔබේ පියාගේ සොහොයුරා, සොහොයුරිය සහ පවුලේ අය දැක තිබුණත්, ඔබේ පියා ගැන මා අසා තිබුණා පමණයි. ඒ ඔබේ සීයා ජූලිස් ගුරුන්නාන්සේගේ ගෝලයෙකු වූ මගේ පියාගෙනුයි. මගේ පියා ඔහු මිය ගොස් දැන් වසර හතක්.

    නිදහසට පෙර සමය ගැන මතකය ඇති අය ටිකෙන් ටික අප අතරින් වෙන්ව යනවා.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.