රට ගිය ගොඩයගේ කතාව- 12


පුසුඹා මල්ලි ලංකාවට ගියා මාසෙකට , ඒ මොකද කියනවා නම් එයාගෙ බොස් එහෙමත් නැත්නම් පෙම්වතා නිවාඩුවක් සඳහා ජර්මනිය බලා ගිය නිසා.

ගොඩයගෙ බිරිඳ කතා කලා.
“මෙන්න මෙයා- පුසුඹා මල්ලි – මෙහේ ඇවිල්ල. දෙන්නගෙ මොකක් හරි හුටපටයක්. නංගි අඬනවා. ඔයාට බැරිද පුසුඹ මල්ලිට කතා කරල අහන්න ප්‍රශ්නෙ මොකද්ද කියලා ?”
“මට බෑ.. ඕකා මහ බක පණ්ඩිතයා”
එයා ආයෙම පහුවදත් කතා කලා
“තාම රෙජිස්ටර් කරල විතරනේ.. මෙයා නංගිට එහෙ මෙහෙ යන්න කතා කරනවා. ගෑණි කැමති නෑ”
“රෙජිස්ටර් කලා කියන්නෙ නීතියෙන් බැඳිලයි ඉන්නේ. තමන්ගෙ කෑම එක කොයි වෙලාවෙ කෑවාම මොකද ?”
ගොඩයගෙ වයිෆ් හිකි-හිකි ගාල හිනා උනා. එයාට මොකද්ද මතක්වෙලා.
“ඔය ටීචර්ස්ලගෙ හැටි නේ..”
( මම කලින් කියල තියෙනවද මන්ද ගොඩයගෙ නෑනා – පුසුඹා ගේ බිරිඳ වෙන්ට ඉන්න එක්කෙනා ගුරුවරියක්)

“ඔයා ටිකක් පහදල කියන්න නිකම් මළ මිනියක් වගේ ඉන්න එපා කියල”
“අනේ.. මට පුළුවන්ද ඕව කියන්න”
“එහෙනම් මට දෙන්න ෆෝන් එක.. මම කියන්නම්”
“ආ මෙන්න ඉන්නවා….”
“අයියේ.. ගොඩයා අයියේ . මෙයා මහ අමුතුයි. එයා කියන ඒව මට කරන්න බෑ”
මට තේරුනා වැඩේ හැටි. පුසුඹා බදාදට ඕෆ්. හැම බදාදාම මිනිහ රෑට කාමරේ දොර වහගෙන බ්ලූ ෆිල්ම් බලනවා. බ්ලූ ෆිල්ම් වල තියෙන ඒව මේ යකා ගෑණිත් එක්ක කරන්න හදනව වෙන්නැති එකත් එකටම.
“ඕව ඔහොම තමයි. ටිකක් ඉවසීමෙන් එයාට කැමති වෙන්න. කසාද බැඳපු හැමෝම ඕව කරනව.. ඔයා ස්ටාෆ් එකේ යාළුවන් ගෙනුත් අහල බලන්න. හැබැයි ඔය පැන්ශන් යන්න කිට්ටු නාකි ටීචර්ලගෙන් අහන්න එපා. අළුත බැඳපු කෙනෙකුගෙන් අහල බලන්න. නැත්නම් අක්කගෙන් අහන්නකෝ…”
“චික් විතරක්..”

ගොඩයා කියන්නෙ පින් කඳක්. ගිය ආත්මයේ අටුවට පුරවාපු “වී” තාම එහෙම්මමයි. ටිකක්වත් අඩුවෙලා නැති හැඩයි. පින් පල දෙන්නේ පෝලිමේ. ගොඩයා adult school එකක රෙජිස්ටර් උනා කොම්පියුටර් සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ගොඩයා හිතන් හිටියේ excel එකෙන් කරන්න පුළුවන් ඉරි ගහන එක විතරයි කියල. පොච්චියේ.. ඒකෙන් කරන්න පුළුවන් දේවල්.
ගොඩයා ඩ්‍රයිවින් ලිඛිත පරීක්ෂණයෙන් එක පාරින්ම පාස් උනා. ඊ ළඟට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ඕන. ඒකට පුසුඹා මල්ලි ආවාම උගෙ කාර් එකෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ( කියල ගොඩයා හිතා ගත්තා )

අරුණ් රෙඩ්ඩි.. ධනවත් ඉන්දියන් ජාතිකයෙක්. ගොඩයාට මාට්ටු උනේ පතා ගෙන -කියා ගෙන ආ හැටියට. ගොඩයගෙ විස්තර අහල ගොඩයා ගැන පැහැදුනා.
” තමුසේ. එනවා මගෙ ඔෆීස් එකට. මම තමුසෙට මීට වඩා ගෙවන්නම්”

7-ඉලවන් එකේ ගොඩයට පිරිසිදු කිරීම් කරන්නත් ඕන. ලංකාවෙ රස්සාව කරන කාලෙ.. එහා මේසෙ තියෙන ලිපි ගොනුව තමන් ළඟට ගන්නත් පියන් කියල සේවක මහතුන් හිටියා අතට පයට. 7-ඉලෙවන් එකේ ඇතුල විතරක් නෙවි.. එළියෙ පාකිං එකත් අතුගාන්න ඕන. ගොඩයගෙ හිතේ දෝංකාර දුන්නා ආයෙ කවදාවත් එයාට white collar රස්සාවක් කරන්න බැරි වෙයිද කියන එක.
පුසුඹා මල්ලි ආපහු ආවා.
” මොන රෙද්දක්ද අයියේ.. ඒකි බුදියන්ට ලෑස්ති වෙලා වාර සටහන් හදනව. පන්තියේ ළමයින්ගෙ විස්තර කියනව මා එක්ක… ඇඳට ගොඩ වෙන්ට ඉස්සර බුදුන් වඳිනව. බැරි වෙලාවත් ” හිට්ටොත්” එහෙම හොඳ ලස්සන , මොළේ තියෙන පැටියෙක් ලැබෙන්නෙ එතකොටලු… මං හිතන්නෙ ටිකක් මොළේ හොඳ මදි වගේ..”
” ඒක නං අක්කටත් තියෙනව”
“මං ඒ මගුල නීතියෙන් ඉවරයක් කරල දාලයි ආවෙ”

7-ඉලවන් ජීවිතයට ආයුබෝවන් කිවූ ගොඩයා අරුණ් රෙඩ්ඩි මහතාගේ කාර්යාලයට ගියා. ඒක ලස්සන ගොඩනැගිල්ලක්. අරුණ් රෙඩ්ඩි මහතාට jack-in the box කියන fast food restaurant 40 ක් විතර ඇමරිකාව පුරා තිබුණා තැන් තැන් වල. ඒවායෙ සේවය කරන 500 ක් විතර සේවකයින්ට පඩි හදන එකයි ගොඩයට පැවරුනු රාජකාරිය.
“This is your desk” කියල ඉටිකිරිස් කෑල්ලක් ඇවිත් ගොඩයගෙ මේසෙ පෙන්නුව. මේසෙ උඩ කොම්පියුටරයක් සහ දුරකතනයක්.
ගොඩයා හිතුවේ තමන් හීනයක් දකිනවා කියලයි. ගොඩයා අළුත්නුවර දේවතා උන්නාන්සේගේ පින්තුරය හිතින් මවා ගෙන පින් දුන්නා.
ගොඩයා ඩ්‍රයිවින් ටෙස්ට් එකත් පාස් කර ගත්තා. ඊ ළඟ පිම්ම කාර් කබලක් ගන්න එක.

පන්සලේදී ජාගොඩ මහත්තයට මේ විස්තරේ කිව්වා. ගොඩයගෙ සීග්‍ර දියුණුව අහල ජාගොඩ මහත්තයා අවංකවම සතුටු උනා.
” මම කියන්නම්. පරණ කාර් එකක් ගත්තොත් ඔයාට හැමදාම හද හදා ඉන්න වෙයි. අළුත් එකක් ගන්න. අවශ්‍ය උනොත් මම ඇපේට අස්සන් කරන්නම්.. ඔයාගෙ පඩියෙ හැටියට ගෙවන්න බැරි කමක් නෑනේ..?”
අන්න නියම මිනිස්සු.
ගොඩයා ගත්තා බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයියෙක්. හප්පා ඒකෙ ඇතුළෙ සුවඳ. ඉස් ඉසෙල්ලම පන්සල් ගිහින් පිරිත් වතුර ඉහල දෙහි ගෙඩි හත අටක් පැන්නුව.

ඊ ළඟ සෙනසුරාදා හොඳට නා ගෙන හොඳම සූට් එකකුත් ඇඳ ගෙන ඊටම ගැලපෙන ජැකට් එකකුත් දා ගෙන ගොඩය මේ යන්නේ පුතය වගේ.. පුසුඹා මල්ලි බලන්න. තව එක දෙයයි අඩු. ඒ නළලට දා ගන්න සන් ග්ලාස් කුට්ටමක්.
” පුසුඹා මල්ලි මං ආවෙ මට ලියුම් එහෙම ඇවිල්ලද කියල බලන්න”
ඒ බොරුවක් කීවේ. ටික වෙලාවක් දෙන්න වල් පල් කතා කර කර ඉඳල….
” මං එහෙනම් යන්නම් ..”කියල නැගිට්ටා.
” අයියා ඉන්න.. මං ගිහින් දාන්නම්.”
” නෑ ඕන නෑ..මම කාර් එකක් ගත්තා”
පුසුඹා මල්ලිගෙ මූණ කොරහක් විතර උනා. ඉරිසියාවෙ උල්පත.

( මතු සම්බන්ධයි )

This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to රට ගිය ගොඩයගේ කතාව- 12

  1. Lalith Perera පවසයි:

    කතාව වේගවත් වැඩි වගේ මට හිතෙන්නේ..
    තව ටිකක් දෙබස් දාල සිදුවීම් ඇදල ලිව්වනම් හොදයි කියල හිතෙනවා.

  2. ‌යක්ශයා පවසයි:

    කොටස් එන්න එන්නම කෙටි වෙනවා වගේ. අවුලක් නෑ ලස්සනට වැඩේ යනවා. ඊලඟ කොටසත් ඉක්මණින් ටිකක් දිගට දාන්න.

  3. නිර්නාමික පවසයි:

    මෙ දවස් වල මගෙ ආසම බ්ලොග් එක

  4. GKP පවසයි:

    B1/B2 වීසා එකකින් ඇවිත් හොරෙන් ඉන්න කෙනෙක්ට වාහන ණයක් ගන්න බෑ නේද?

  5. Tiraj Adikari පවසයි:

    කතාවේ වේගය හොඳටම වැඩියි. ප්‍රවුර්ති සාරාංශය බලනවා වගේ දැන් දැන් දැනෙන්නේ. නිහාල් අයියේ පොඩ්ඩක් වේගේ අඩුකරලා විස්තර , දෙබස් තවත් ඇතුලත් කර ඉදිරියේදී ලියන්න කියා ඉල්ලා සිටිනවා. අවසානය දක්වා කතාවේ සැකිල්ල ඔබගේ සිතේ සකස් වී ඇති ය කියා සිතනව. පොස්ට් එකක් ලියන්නේ ඔබගේ තෘප්තිය සහ අන්‍යයන්ගේ තෘප්තිය සඳහා නිසා රජයේ ලිපිකරුවෙක් කරන්න ඕන නිසා රාජකාරිය ඉවර කරන්න ඉක්මනට දඩි බිඩියේ වැඩේ ගසල බසල දාල ඉවර කරනවා වගේ නැතුව සැනසිල්ලේ සැකිල්ලට අවශ්‍ය පරිදි මස් එකතුකරමින් කතා ශරීරය ගොඩනංවන්න ප්ලීස්
    (මම මුල් කාලයේ සිටම ඔබගේ බ්ලොග් රසිකයෙක් )

  6. පැට් ටා පවසයි:

    නිහල් අයියා කොමෙන්ටෙකක් නොදැම්මට කතාව අපි දිගටම කියවනවෝ… පොඩ්ඩක් ස්පීඩ් වැඩී වගේ… 45 ට වගේ යමු. ජයවේවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න