සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවී ඔබගේ ගිණුම් ශේෂය අඩු වීමේ ජන(අ)ප්‍රිය ගැටලුව


ශ්‍රී ලංකාව තුල ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් මුහුණ දෙන පොදු ගැටළුවක් අද අපේ සාකච්ජාවට බඳුන් වේ. ඒ නම් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කොට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමක දී  කාඩ්පත් හිමිකරු විසින් ඉල්ලුම් කරන ලද මුදල අර්ධ වශයෙන්  නිකුත් වීම හෝ එසේත් නැතහොත් මුළුමනින්ම නිකුත් නොවීමේ අනපේක්ෂිත සහ විරල සිදුවීම යි. 

ඇත්තෙන්ම මෙවන් අවස්ථාවක දී කාඩ්පත් හිමිකරු ස්වභාවයෙන්ම බියට පත්වනු දැකිය හැක. බිය වඩාත් තීව්‍ර වන්නේ ඔහු ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගත් බැංකුවෙන්  ඔහුගේ ජංගම දුරකථනය වෙත ස්වයංක්‍රීයව ලැබෙන කෙටි පණිවිඩය දුටු විටය.

“ඔබගේ බැංකු ගිණුම රු. * ගණනකින් අඩු වී ඇත. ඔබගේ ප්‍රවර්තන ශේෂය රු * වේ. අප සමඟ ගනුදෙනු කළ ඔබට ස්තුතියි”

කාඩ්පත් හිමිකරු ඔබනම්, ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවූ බව ට ඔබ හිසේ අත තබා සහතික වනු ඇත. එහෙත් දැන් මේ කෙටි පණිවිඩයේ සටහන් වන්නේ ඔබ ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගත් බවයි. කාට කියන්නද මේ අවනඩුව?

ඔව්, ඔබට මේ අවනඩුව කියන්නට ඕනෑතරම් පාර්ශවකරුවන් ඇත. මුලින්ම සිහිවන්නේ ලෝක පාලන දෙවියන්ය. එහෙත් පසුව ඔබ ක්‍රම ක්‍රමයෙන්, ප්‍රයෝගිකව, බිම් මට්ටමේ පුද්ගලයින් වෙත යොමු වනු ඇත.

ප්‍රවේශම් විය යුතු වන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. කිසි විටෙකත් ඔබට පසු ව එම ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණෙන තැනැත්තාට ඔබගේ ඇබැද්දිය පැවසීමෙන් වළකින්න. ඔවුන්ට කළ හැකි දෙයක් නැත. ඔබේ ගිණුමේ තත්වය ඔවුන්ට පරික්ෂා කිරීමට ඔවුන්ට නීතියෙන් අවසර නොමැත. සොර සිත් ඇත්තෙකු නම් ඔබගේ කාඩ්පත නැවත වරක් ඔබ ලවාම භාවිතා කිරීමට සලස්වා ඔබගේ මුදල් පැහැර ගැනීමට ද ඉඩ තිබේ.

ATM යන්ත්‍රය අයත් බැංකුවට පැමිණිලි කිරීමේ තේරුමක් ද නොමැත. (එහෙත් බොහෝ කාඩ්පත් හිමිකරුවන් මුලින්ම දිව යන්නේ ATM යන්ත්‍රය අයත් බැංකුව වෙතට ය. එක් හේතුවක් නම් එවන් අවස්ථාවකදී දුක් ගැනවිල්ල කියන්නට බැංකු නිලධාරියෙක් හමු වීමට ඇති පහසුම ස්ථානය එය නිසාය. තවත් හේතුවක් නම් ATM යන්ත්‍රයෙන් නිකුත් නොවූ, එහෙත් තමාට අයත් මුදල් ATM යන්ත්‍රයේ තවමත් පවතින බැවින් එම ATM යන්ත්‍රය අයත් බැංකුව ට තම මුදල් ලබා දිය හැකි ය යන මිත්‍යා විශ්වාසය නිසාය).

ATM යන්ත්‍රය අයත් බැංකුවේ සේවයේ නියුතු නිලධාරින්ට ඔබගේ ගිණුම තුල සිදු වූ ගනුදෙනු පරික්ෂා කළ නොහැක. ඔබට ලැබුණු කෙටි පණිවිඩ ඔවුන්ට පෙන්වීමෙන් පළක් ද නොමැත. එම කෙටි පණිවිඩය ඔබ වෙත එවා ඇත්තේ ඔවුන් නොවේ. ඔබ කාඩ්පත ලබා ගත් බැංකුව විසිනි. 

ඔව්, තර්කානුකුලව ඔබට සත්‍යය අවබෝධ වනු ඇත. ඔබේ කාඩ්පතින් සිදු වූ ගනුදෙනු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දිය හැක්කේ ඔබ කාඩ්පත ලබාගත් බැංකුව විසින් පමණි. ඔබට නොලැබුණු මුදල් ඔබ වෙත ලබා දිය හැක්කේ ද  ඔබ කාඩ්පත ලබාගත් බැංකුව විසින් පමණි.

හොඳයි, ඔබ කාඩ්පත ලබාගත් බැංකුවත්, ATM යන්ත්‍රය අයත් බැංකුවත් දෙකම එකම නම් කුමක් කළ යුතු ද? සරලය. සිදු වී ඇත්තේ එකම බැංකුවක් තුළ ඔබ එහි එක් ශාඛාවකින් කාඩ්පත ලබාගෙන එම බැංකුවේම තවත් ශාඛාවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට තැත් කිරීමයි. මෙතන දී ඔබට ඕනෑම ශාඛාවකට ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැක. එකම බැංකුවක් වූ විට එහි ඕනෑම ශාඛාවක් ඔබ ට නොපැකිළව සහාය වනු ඇත.

ඉහත කිසිවක් සිදු නොකොට කාඩ්පත් හිමිකරු සෘජුවම නීතියේ පිළිසරණ පතන අවස්ථා ද නැත්තේ නොවේ. කෙසේ වුවත් කාඩ්පත් හිමිකරුවෙකු ලෙස ඔබ විසින් සිදු කළ යුතු සුදුසුම දේ ඔබ අතැති කාඩ්පත ඔබ විසින් ලබාගත් බැංකුව ඇමතීමයි. ඒ ඔබේ බැංකුවයි.

දුරකථන ඇමතුමකට වඩා ඇතැම් විට මෙහිදී ඔබගේ බැංකුව ඔබගෙන් ලිඛිත පැමිණිලි කිරීමක් අපේක්ෂා කරනු ඇත. එවන් ලිඛිත පැමිණිලි කිරීමට අනුව බැංකුව ප්‍රථමයෙන්ම ඔබගේ ගිණුම පරික්ෂා කරනු ඇත. අදාල ATM යන්ත්‍රය හරහා ඔබගේ කාඩ්පතේ සිදු වූ ගනුදෙනු මොනවාද යන්නත් ඔබගේ ගිණුමේ සිදු වී ඇත්තේ කුමක් ද යන්නත් ඔවුන් වටහා ගනු ඇත. ATM යන්ත්‍රය අයත් බැංකුවට මෙම කටයුතු සිදු කළ හැක්කේ එක්තරා සිමාවකටය. එසේ හැකි වුවත් එම විස්තර ඔබට දැනුම් දීමට ATM යන්ත්‍රය අයත් බැංකුව බැඳී නොමැත.

ATM යන්ත්‍රය අයත් බැංකුව සමඟ ඔබගේ ගැටලුව ඔබ වෙනුවෙන් සාකච්ජා කරනු ඇත්තේ ඔබට කාඩ්පත නිකුත් කළ ඔබගේ බැංකුවයි. 

සත්‍ය වශයෙන්ම ඔබට මුදල් නිකුත් නොවූ බව තහවුරු කර ගැනීමට සහ එම මුදල් යලි ඔබගේ ගිණුමට බැර කිරීමට / යලි මුදල් ලබා දීමට ඔබගේ බැංකුවට සාධාරණ සහ නිශ්චිත දින ගණනක් නීතියෙන් හිමි වේ. එය ඇතැම් විට දින 45 ක් විය හැක. ඔවුන් කටයුතු කරන්නේ මුදල් පිලිබඳ බරපතල පැමිණිල්ලක් සම්බන්ධයෙන් බව ඔබ විසින් වටහා ගත යුතු වේ. එහිදී බැංකු නිලධාරින් ඉතා සැලකිලිමත්ව සහ විචක්ෂනශිලිව කටයුතු කිරීම අවශ්‍ය ය. යම් දින ගණනක් ගත වීම නොවැලක්විය හැකිය.



ලිඛිත පැමිණිලි කිරීමක් සඳහා ඔබට වැදගත් විය හැකි ලිපි නිදර්ශකයක් මේ සමඟ ඔබ වෙත තිලිණ කරමු.