Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමු ක්‍රිකට් ලෝක කුසලානය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් පළමු වතාවට පවත්වන ලද්දේ 1975 වසරේදී එංගලන්තයේදී යි. මෙහිදී එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 6 ද, ඊට අමතරව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකරන හොඳම කණ්ඩායම් දෙක ලෙස සැළකුණ ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාවද තරඟ වැදුණා. තරඟාවලිය පවත්වන ලද්දේ පෘඩෙන්‍ෂල් කුසලානය සඳහායි.

තරඟාවලිය ආරම්භ කරන ලද්දේ 1975 ජූනි මස 7 වනදා යි. එය ජූනි 21 වනදා ලන්ඩනයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පවත්වන ලද අවසන් මහා තරඟයෙන් එය නිමාව දුටුවා. මෙම ලෝක කුසලානයේදී තරඟ 15 ක් පවත්වනු ලැබුණා.

තරඟාවලි සැකැස්ම. ​

මූලික වටයේ තරඟ පවත්වන ලද්දේ කාණ්ඩ දෙකක් යටතේයි. මේ අනුව තරඟාවලියට සහභාගී වූ කණ්ඩායම් අට කාණ්ඩ දෙකකට බෙදනු ලැබුණා. මෙයින් ‘ඒ’ කාණ්ඩයට එංගලන්තය​, ඉන්දියාව​, නවසීලන්තය සහ නැගෙනහිර අප්‍රිකාව ඇතුළත් වුණා. නැගෙනහිර අප්‍රිකාව කියා හැඳින්වුණේ කෙන්යාව​, උගන්ඩාව​, ටැන්සානියාව සහ සැම්බියාව යන රටවල ක්‍රීඩකයන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්

මේ අතර ‘බී’ කාණ්ඩයට බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්ථානය​, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත් වුණා.

මූලික වටවලින් පසු එක් එක් කාණ්ඩයේ හොඳම කණ්ඩායම් දෙක බැගින් තෝරාගෙන අවසන් පූර්ව තරඟ දෙකක් පවත්වා එහි ජයග්‍රාහකයන් අතර අවසන් තරඟය පැවැත්වීමට කටයුතු කෙරුණා.

මෙම තරඟවලදී එක් පිළකට ඕවර 60 බැගින් හිමි වූ අතර ටෙස්ට් තරඟවලදී මෙන් ම සුදු පැහැති ඇඳුම් ඇඳ රතු පැහැති පන්දුවලින් තරඟය ක්‍රීඩා කෙරුණා.

එකල එක්දින තරඟ යනු සාමාන්‍යයෙන් අලුත් ම අත් දැකීමක්. අද ඕවර 50 තරඟයකදී පවා ලකුණු 300 ඉක්මවා යාම සාමාන්‍ය දෙයක් වුණත් එවකට ඕවර 60 තරඟයකදී වුවත් ලකුණු 300 ඉක්මවා යෑම නිතර සිදු වූයේ නැහැ.

ගවස්කාර්ගේ ටෙස්ට් ඉනිම​

තරඟාවලියේ පළමු තරඟය ම ආන්දෝලනාත්මක එකක් බවට පත් වුණා​. ලෝර්ඩ්ස් පිටියේ පැවති මෙම තරඟයේදී එංගලන්තය ඉන්දියාව හා තරඟ වැදුණා. ඩෙනිස් අමිස් ලබාගත් ලකුණු 137 ද සමඟ එංගලන්තය ලකුණු 334 ක් ලබාගත්තේ කඩුලු 4 කට යි. ඉන්දියාව ලකුණු 335 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණියා​.

ඩෙනිස් අමිස් ඉන්දියාවට එරෙහිව (PA)

කෙසේ වෙතත් ඉන්දියාවේ ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් ක්‍රීඩා කළේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයකින්. ඔහු කිසිදු ආකාරයේ හදිසියක් පෙන්වූයේ නැතිවා පමණක් නොව ටෙස්ට් ක්‍රිකට් ඉනිමකට ද වඩා සෙමින් සිය පිත්ත හැසිරවූවා​. ඔහු සමස්ථ ඉනිමම පිටියේ රැඳෙමින් පන්දු 174 කදී ලකුණු 36 ක් පමණක් ලබාගත් අතර​ ඕවර 60 අවසානයේදී ඉන්දියාව කඩුලු 3 කට ලකුණු 132 ක් ලබා ගන්නට සමත් වුණා.

ගවස්කාර් මේ අයුරින් ක්‍රීඩා කිරීමට හේතුව පැහැදිලි වුණේ නැහැ. ඔහු කියා සිටියේ තණතිල්ල මන්දගාමී නිසා ආක්‍රමණකාරී පහර එල්ල කළ නොහැකි වූ බවයි. නමුත් එංගලන්තය ලකුණු 334 ක් ලබාගැනීමෙන් එම අදහස විහිළුවක් බව පැහැදිලි වුණා.

කෙසේ නමුත් ඉන්දියාව සහභාගී වූ අනෙක් තරඟවලදී ගවස්කාර් මෙසේ මන්දගාමී වුණේ නැහැ. ඉන්දියාව නැගෙනහිර අප්‍රිකාව සමඟ තරඟය කඩුලු 10 කින් ජය ගත්තත් නවසීලන්තයට කඩුලු 4 කින් පරාජය වුණා.

ජූනි 7 වනදා පැවති තවත් තරඟයකදී නවසීලන්තයේ ග්ලෙන් ටර්නර් ලකුණු 171 ක් නොදැවී ලබාගත්තා.

‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරඟවලට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ නවසීලන්තය යි.

ශ්‍රී ලංකාවේ තරඟ​

ශ්‍රී ලංකාව මුලින්ම තරඟ වැදුණේ බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟයි. ඒ ජූනි 7 වනදා මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී. මෙහිදී ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 86 ක් පමණක් ලබා ගත්තා. කොදෙව්වන් මෙම ඉලක්කය හඹා ගියේ එක් කඩුල්ලක් පමණක් දැවී යද්දී.

සුනිල් වෙත්තමුණි ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 53 ක් ලබා ගත්තා (Getty)

කෙසේ වෙතත් කෙන්සිංග්ටන් ඕවල් හි පැවති මීළඟ තරඟයේදී ශ්‍රී ලංකා පිළ ඔස්ට්‍රේලියානුවන්ට තරමක හිසරදයක් බවට පත් වුණා. ඔස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහර දෙමින් කඩුලු 5 ක් දැවී ලකුණු 328 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පසුපස හොඳින් හඹා යන්නට වූ අතර ජෙෆ් තොම්ප්සන්ගේ වේග පන්දු හමුවේ සුනිල් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස් තුවාල ලබා පිටියෙන් ඉවත් නොවුණා නම් ඇතැම් විට ප්‍රතිඵලය වෙනස් වීමට වුවද ඉඩ තිබුණා. නමුත් ශ්‍රී ලංකාව ඕවර 60 දී කඩුලු 4 කට ලකුණු 276 පමණයි ලබා ගත්තේ.

සුනිල් වෙත්තමුණි ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟයේදී පන්දුවක් වැදී තුවාල ලද පසු (PA)

ජූනි 14 වනදා පාකිස්ථානයට එරෙහිව පැවති තරඟයට ශ්‍රී ලංකාව සහභාගී වූයේ වෙත්තමුණි සහ මෙන්ඩිස් නොමැතිවයි. එහිදී පාකිස්ථානය ඕවර 60 දී විකට් 6 කට ලකුණු 330 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ලකුණු 138 කට සියල්ලන් දැවී ගියා.

අවසන් කඩුල්ලේ සබඳතාව​

මෙම කාණ්ඩයේ තීරණාත්මක ම තරඟය පැවැතුණේ ජූනි 11 වනදා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදීයි. මෙහිදී පාකිස්ථානය ලකුණු 266 ක් රැස් කරගෙන කොදෙව්වන්ට ලකුණු 267 ක ඉලක්කයක් ලබා දුන්නා. කොදෙව්වන්ගේ නව වැනි කඩුල්ල ලකුණු 203 දී දැවී ගියේ පාකිස්ථානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු අැති කරමින්. නමුත් අවසන් පිතිකරු ඇන්ඩි රොබර්ට්ස් සහ ඩෙරික් මරේ අවසන් කඩුල්ලට ලකුණු 64 ක සබඳතාවක් ගොඩ නගමින් පාකිස්ථානයෙන් ජයග්‍රහණය උදුරා ගත්තා.

බී කාණ්ඩයෙන් අවසන් පූර්ව තරඟ සඳහා ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව තරඟ​

අවසන් පූර්ව තරඟ දෙක පවත්වන ලද්දේ ජූනි 18 වනදායි. ලීඩ්ස් හි හෙඩිංග්ලි හි පවත්වන ලද පළමු තරඟයේදී ඔස්ට්‍රේලියානුවන් එංගලන්ත පිළ ලකුණු 93 කට දවා ගත්තා. තම ඕවර දොළහ තුළ නිලකුණු ඕවර හයක් සමගින් ලකුණු 14 කට කඩුලු 6 ක් බිඳ හෙලූ ගැරී ගිල්මෝර් මෙහිදී ඔස්ට්‍රේලියාවේ වීරයා බවට පත් වුණා.

ගිල්මෝර් පිත්තෙන් ද දස්කම් දක්වමින් නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා. කඩුලු 6 කට ලකුණු 39 ක් ලබා ඉතා අසීරු තත්ත්වයක සිටි ඔස්ට්‍රේලියාව ඔහු සහ ඩග් වෝල්ටර්ස් විසින් ගලවා ගනු ලැබුණා.

අනෙක් අවසන් පූර්ව තරඟයේදී නවසීලන්තය පහසුවෙන්ම පරාජය කරමින් කොදෙව්වන් අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් තරඟය​

ජූනි 21 වනදා පවත්වන ලද අවසන් මහා තරඟයේදී ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී හමු වුණා. මෙහිදී මුලින් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 60 අවසානයේදී ලකුණු 291 ක් ලබාගත්තේ කඩුලු 8 කටයි. නායක ක්ලයිව් ලොයිඩ් ලකුණු 102 ක් ද, රොහාන් කන් හායි ලකුණු 55 ක් ද ලබා ගත්තා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට පිළිතුරු වශයෙන් සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 274 ක් පමණයි. මෙහිදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් 5 දෙනකුම දුවද්දී දැවී යාම විශේෂ සිදු වීමක් වුණා.

කවරයේ රූපය: ක්ලයිව් ලොයිඩ් ලෝක කුසලානය සමඟ (Getty)

Related Articles