රට ගිය ගොඩයාගේ කතාව- 4


ගොඩයා ගොඩ උනේ EVA AIR ගුවන් යානාවකට. සේරටම ඉස්සෙල්ල කියන්න ඕන මේ ගොඩයගෙ පළමු ගුවන් ගමන.
ගොඩයා අඩු තරමින් මාලදිවයිනටවත්, සාරි බිස්නස් කරන්න මැඩ්‍රාස්වලටවත් ගිහින් නෑ.
වෙලාව අළුයම 1.00 ට විතර ඇති. රෑ කෑම කෑවේ ගෙදරින් පිටත් වෙන්න කලින් හවස 7.00 ට විතර. excitement එක නිසා ගොඩයට බඩගින්නක් තිබුණේ නැති උනත් දැන් නම් බඩේ පනුවෝ එකා පිට එකා නැගල ගුස්ති ඇන ගන්නව.
කෙට්ටු ශරිරයක් ඇති, හීන් ඇස් ඇති ගුවන් සේවිකාවක් ඉංබිත්තං රට කජු පැකට් එකකුයි තිත්ත දොඩම් යුෂ වීදුරුවකුයි බැගින් බෙදා ගෙන ගියා.
හැටි විතරක් ඒකිගෙ. පිට ලෑල්ලක් වගේ. ඉස්සරහත් නෑ. පස්සත් නෑ. එන්න තිබුණේ ශ්‍රී ලන්කන් එකක. සියරට දේ- සිරි සැපදේ.

දැන් ගොඩයට මේ ලෝකෙ දෙයක් මතක නෑ. ආවේ කොහෙ ඉඳලද ? යන්නෙ කොහාටද ? ඉන්නෙ කොහෙද ? ගුවන් යානය එකම තැන නවත්වල තියෙනව වාගෙ .. අවට කිසි දෙයක් පේන්න නෑ.
ගොඩයා ලොස් ඇන්ජලීස් වලට ගොඩ බැස්සේ පැය 24 කට විතර පස්සෙ. ඒ වෙන කොට දෙතුන් වතාවක්ම කවදාවත් පාවිච්චි කරල නැති ටොයිලට් කඩදාසි පාවිච්චි කරල තිබුණු නිසා ගොඩයට දැනුනේ පුදුම අපහසුතාවයක්.

වෙලාව රෑ 8.00 ට විතර ඇති. මගී කොරිඩෝව දිගේ එළියට එන තම නෑ හිතවතුන් පිළිගන්න සූ ගාල සෙනග. සමහරු මල් පොකුරු අරන් ඇවිත්..එකට ඉඳන් පොටෝ ගන්නවා.. වැඩ හැටයි. ගොඩය හැම තැනම බැලුව පුසුඹ මල්ලිත් මල් ටිකක් අරන් ගොඩයා පිළිගන්න බලන් ඇති කියල. එහෙමයි පොරොන්දු වෙලා හිටියේ.
ගොඩයා හතර වටේ බැලුව. ඇවිද ඇවිද බැලුව. ඒ කෙළවරේ සිට මේ කෙළවර දක්වා කී වතාවක් එහාට මෙහාට යන්න ඇද්ද ?
බඩගිනියි.. චූ බරයි.. කක්ක බරයි. බෑග් එළියෙ තියල චූ කරන්න යන්නත් බෑ. ගොඩයට කොහොමටත් ඒ වැඩේට සෑහෙන වෙලාවක් යනව.
දැන් රෑ 12.00 ත් පහු වෙලා. පුසුඹ මල්ලි එන පාටක් නෑ. කෝල් එකක් දෙන්න විදියකුත් නෑ. ගොඩයගෙ හිත නොසන්සුන් හොඳටම. බඩගින්න – අපිරිසිදුකම- චූ බර-කක්ක බර — මේ සේරම එකට හිර වෙලා- අමතක වෙලා. හොඳ වෙලාවට පුසුඹ මල්ලි ගේ ගෙදර පොටෝ එකක් ගොඩය ළඟ තිබුනා. ඒක පිටි පස්සෙ ලිපිනයත් තිබුණ. ගොඩයා හිතුවා තවත් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියල. ගියා Information කවුන්ටරේට. එතන හිටි කළු ගෑණිත් ඒක වහල දාල ගෙදර යන්න ලෑස්තිය. ගොඩයා බොහොම අමාරුවෙන් කතා කරල එයා ගෙන් ඇහුවා ඒ ලිපිනයට ටැක්සියකින් යන්නෙ කොහොමද කියල.
45 මිනිට්ස් ට්‍රැෆික් කියල කියාපි. මොන හරුපයක්ද ඒ ?

” you need a taxi ?” ගොඩයට තමාගෙ පිටුපසින් ටිකක් කරුණාවන්ත කට හඬක් ඇහුනා. ගොඩයා අර ලිපිනය පෙන්නුවා.
” යමු.. ඩොලර් 30 යි” ගොඩයා කිසි කතා බහක් නැතුව ටැක්සියට ගොඩ උනා. ටැක්සි මහත්තයා ඇසූ ප්‍රශ්න වලට දන්න විදියට උත්තර දුන්නා. දැන් වෙලාව පාන්දර 1.00 යි. එක එල්ලේ දිවෙන පාරක ටැක්සිය පැදවුනා. ඔය කාලෙ GPS ඇවිල්ල තිබුනේ නෑ. ටැක්සි මහත්තයා සිතියමක් බලා ගෙන ටැක්සිය එලෙව්වා. ගොඩයා ටැක්සි මහත්තයට කිව්වේ තමන් යන්නේ තමන්ගේ සහෝදරයගෙ ගෙදරට කියලයි. බොරුවක් නෙවෙයිනේ !

ටික වෙලාවකින් ටැක්සිය, විශාල කුළුණු , දොර ජනෙල් ඇති ගාම්භීර නිවසක් අසළ නැවතුනා.. ගොඩය අඳුර ගත්තා ගෙදර. වහාම ටැක්සියෙන් බැහැල ගිහින් දොරේ බෙල් එක ගහන්න හිතුවා.
ටැක්සි මහත්තයා ගොඩයා නැවැත්තුවා.
” වෙලාව 2.00 යි. ඕක හරියන වැඩක් නොවේ. උඹට වෙඩි කන්න වෙයි. මේක උඹේ සහෝදරයගෙ ගෙදර නම් වෙන්න බෑ”
” දැන් මොකද කරන්නේ.. මං ළඟ එච්චර ලොකු සල්ලියක් නෑ. පුළුවන් මාව මේ කිට්ටුව ලාබ හොටෙල් එකකට ගිහිල්ල දාපං”
” උඹ අවංක මිනිහෙක්. මං උඹට උදව් කරන්නම් .. අපි හෙට උදේ ආපහු මෙතනට එමු.. මේ මගේ කාඩ් එක. “

ගොඩයා ඉස් ඉසෙල්ලම කළේ නා ගන්න එක. උණු වතුර. නෑවට පස්සෙ මාර බඩගින්නක්. කන්න කිසි දෙයක් නෑ. බොන්න වතුර ටිකක්වත්. ගොඩයා කවදාවත් හොටෙල් එකක – මොටෙල් එකක නැවතිල නැති අමුම අමු ගොඩයෙක්. කරන්න දෙයක් නෑ.. පුසුඹ මල්ලිගෙ වයිෆ් – ගොඩයාගෙ නෑනා පුසුඹ මල්ලිට දෙන්න කියල එවාපු අළුවා කෑල්ලක්, හකුරු කෑල්ලක් එක්ක කාල ටැප් වතුර ටිකක් බීල නින්දට වැටුනා.
හරියටම උදේ 10.00 ට ටැක්සි මහත්තයා කතා කලා.
” මං උඹේ ඩ්‍රයිවර්.. ලෑස්ති වෙලා හිටපන්. මම 11.00 ට එනවා”

ගොඩයට පුසුඹ මල්ලී දී තිබුණු ලිපි අස්සේ තිබී තවත් ලිපිනයක් හම්බ උනා. ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙකුගේ.
ටැක්සිය වෙලාවට ආවා.
” අපි මෙහෙම කරමු. මගේ ළඟ තව ලිපිනයක් තියෙනවා. මගේ බ්‍රදර් හිටියෙ නැත්නම් අපි මේ ලිපිනයට යමු”
“උඹ හිතනවාද මෙයා උඹට උදව් කරයි කියා?”
ටැක්සි මහත්තයා සිතියම බැලුවා. මේක මේ ළඟ. අපි මෙතනට ඉස්සෙලම යමු.

මතු සම්බන්ධයි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න