සදාකාලික තරුණිය

Girl with a Pearl Earring by Johannes Vermeer

හබුරු කොළයක රටා විසුරුණ
බෙලෙක්මය ‘රන් තැටිය’ කෙළවර
පෙළට බයියං ගුලි තානාගෙන
පුතුව කපුටෙක් බවට පත්කළ

පුතුන් හැංඟෙනකොට තැනින් තැන
‘කාක්’ කිය කිය ළඟට කැඳවන
කොළඹ කපුටන් කොළඹ ඇ හැටි
බයි කටින් කට කියා පහදන
තරුණියට අද වයස කීයද?

දඟබවේ කටු ඔටුණු පැළඳුව
බොකුටු කොන්ඩය පතුළ සැඟවුණ
කරඬු හොය හොය රැඳෙන මොහොතක
උකුනුවන්ටත් තටු පළන්දන

කතා නැතිකොට ඔලුව පද්දන
දුෂ්ට වසවර්ති ම ආත්මය
ශුද්ධවරභාවයට ඔසවන
තරම් ඉවසීමක් වගාකළ
තරුණියට අද වයස කීයද?

වතුර දැක්කම පණ කඩාගෙන
දුවන ඌරිත්තකු හොයා යන
කොහිල ගාලෙන් මඩ විමානෙන්
ඌ හොයාගෙන ළිඳට දක්කන

වතුර ඇද ඇද චරිත මව මව
පෙඟුණ අතපය කුණු අතුල්ලන
අලුත උපදින කතන්දරයට
සන්ලයිට් ගා යළිඳු නාවන
තරුණියට අද වයස කීයද?

හස්ති රජවුණු භීම සමයෙක
ගෙදර ඉදිකර මොන්ටිසෝරිය
අතිනි අල්ලා අකුරු හැඩකර
පළමු ගුරුවර චරිතයට බට

අකුරු වචනව කතා ලියැවෙන
අතීතයකට කතා කර කර
අනාගතයට කතා මැවුමට
කතා දහසක් හද නිධන් කළ
තරුණියට අද වයස කීයද?

වයිබරේ අත්තටු මවාගෙන
කතා අහුරක් තුඩින් අරගෙන
පියාඹාවිත් ළඟින් ඉඳගෙන
කතා මැද අඬ අඬ හිනාවෙන

යොහන්නස් ඒ සොඳුරු තෙලිතුඩ
සකල හැඟුමන් ඇහේ දියකර
මුතු කරාබුව ගෙන පැළැන්දුව
තරුණි රුවටත් වඩා ලස්සන
තරුණියට අද වයස කීයද?

-මංජුල වෙඩිවර්ධන
2017 ජූනි 23