Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් යානයක් පැහැරගත් ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා – සේපාල ඒකනායක

ගුවන්යානා පැහැරගැනීම් ගැන ඔබ කොතෙකුත් අසා ඇති, එවැනි දර්ශන අඩංගු චිත්‍රපට කොතෙකුත් නරඹා ඇති නමුත් එතරම් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද වැටහෙනවා ඇති. මක්නිසාදයත් ගුවන් යානාවක් පැහැරගෙන එයින් බේරී පලායාමට ඇති ඉඩකඩ අවම නිසාම හා ඒ හා බැදී ඇති නීතිමය රාමුව නිසාමත්. ලෝකය පුරාම ගුවන් යානා පැහැරගැනීම් වාර්ථා වෙනවා. නමුත් ලාංකිකයෙක් ගුවන් යානාවක් පැහැරගත් බවක් ඔබ අසා තිබේද?

ඉතින් අද ලිපිය තුලින් ගෙන එන්නට අදහස් කරන්නේ 1982 දී ඉතාලියේ අලිටාලියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක පිලිබදවයි.

මාතර කරතොටින් ජර්මනිය හරහා ඉතාලියට

සේපාල ඒකනායක (The Island)

1949 ජූනි මස 03 වන දින සේපාල ඒකනායක උපත ලබනුයේ මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ග්‍රාමයේ. හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයේ ඉගෙනුම ලබන සේපාල අවුරුදු 15දී තම පියාගේ නිවසින් වෙන් වී කොළඹට පැමිණෙනවා.

1972 දී බටහිර ජර්මනිය බලා පිටත්වන ඔහු එහිදී ඉතාලි ජාතික සුරූපිණියක් වූ ඇනා ඇල්ද්‍රොවන්දි මුණගැසෙනවා. එම මුණගැසීම කෙළවරවන්නේ 1977 දී ඇය සේපාලගේ භාර්‍යාව වීමෙන්.1980දී  ඉතාලියේ මොඩෙනා නුවර පදිංචිය ලෙස තොරාගන්නා ඔවුන්ගේ පුතුද උපත ලබන්නේ එහිදීයි. ඔහු නමින් ෆ්‍රී ඒකනායක.

ගුවන් යානය පැහැර ගැනීම

අලිටාලියා ගුවන් සමාගමට අයත් බෝයින් 747 වර්ගයට අයත් ගුවන් යානයක් (Wikimedia Commons)

කලක් ගතවන විට සේපාලගේ වීසා බලපත්‍රය අස්ථානගත වෙනවා. එය නැවත සාදවා ගැනීම සඳහා ඔහු ඉතාලියේ අදාල ආයතන වලට ඉල්ලිම් කිහිපයක්ම ඉදිරිපත් කරත් එම ආයතන සඳහන් කරන්නේ ඔහුට ලංකාවට ගොස් ඉතාලි එම්බසිය මඟින් නැවත ඉල්ලීම කරන ලෙස. එම තීරණය හේතුවෙන් ඔහු ලංකාව බලා පැමිණියත්  ඉතාලි එම්බසිය වීසා අයදුම් සඳහා වසර 6ක් බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා.

කිහිපවිටක්ම උත්සහා කෙරූ නමුත් වීසා ලබාගත නොහැකි වූ ඔහු තීරණය කරන්නේ ගුවන් යානයක් පැහැර ගැනීම තුළින් ඔහුගේ ඉල්ලිම ඉදිරිපත් කිරීමට යි.

ඒ අනුව ඔහු 1982 ජූනි 30 තම මිතුරන් කිහිපදෙනෙකු සමග ඉන්දියාවේ නවදිල්ලි නුවරට ලඟාවෙන්නේ ඔහුගේ ඉලක්කය සපුරා ගැනීමට යි. ඒ ඉතාලියේ අලිටාලියා ගුවන් සේවයට අයත් බෝයින් 747 වර්ගයේ AZ 1790 දරන ගුවන් යානයයි. එම ගුවන් යානය එදින ඉතාලියේ සිට නවදිල්ලිය හා බැංකොක් හරහා ජපානය බලා පියාසර කිරීමට නියමිතව තිබුණා. නවදිල්ලි නුවරදී සේපාල මේ ගුවන් යානයට ගොඩවන්නේ කෙසේ හෝ තම ඉල්ලීම් දිනා ගැනීමේ අටියකින්.

ඉතාලි රජයෙන් කරන ලද ඉල්ලීම්

මගීන් 340ක් පමණ රැගත් යානය ගුවන්ගත වී අඩි 35000 සීමාවට පැමිණ එය ස්ථායී වු පසු සේපාල ඔහුගේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ඒ තමන්ගේ ඉල්ලිම් සහිත ලිපියක් ගුවන් නියමුවාට ඉදිරිපත් කිරීම තුළින්. ඔහුගේ ලිපියේ පහත ඉල්ලීම අඩංගු වී තිබුණා.

  1. තම පුතා සහ බිරිඳ බැංකොක් ගුවන්තොටුපලට ගෙනවිත් දීම.
  2. ඩොලර් 300,000ක් තම ගිණුමට කප්පම් මුදල් වශයෙන් බැර කිරීම.
  3. ගුවන් යානය බැංකොක් ගුවන්තොටුපලේ ගොඩබැස්සවූ පසුවත් සියළු දොරවල් වසා තිබිය යුතු වීම හා තම ඉල්ලීම රේඩියෝ මඟින් පමණක් ඉතාලි/ බැංකොක් බලධාරීන්ට සන්නිවේදනය කිරීම.
  4. මුලා කිරීම් සිදු නොවිය යුතු අතර එසේ වුවහොත් ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ මඟින් යානය පුපුරුවාහරින අතර ඊට සමගමීව මොඩෙන නගරයේද පිපිරීම සිදුවනු ඇත.

ලිපිය දුටු ගුවන් නියමු ජියාර්ගෝ අමරෝසා වහාම යානය අඩි 25,000 දක්වා පහතට ගනු ලැබුවා. ඒ සිදුවිය හැකි හානිය අවම කර ගැනීමේ උපක්‍රමයක් ලෙසයි.

පැය කිහිපයක් ගතවන විට ඔහුගේ ඉල්ලිම ලබා දෙන බව තොරතුරු දැනගන්න ලැබෙනවා. පැය 30කට පමණ පසු මඟීන් රැගත් ගුවන් යානය බැංකොක් වෙත ලඟාවීමත් සමඟ සේපාල සියලු මගීන් මුදාහරිනවා.

පැහැරගැනීමෙන් පසු

සේපාල අත් අඩංගුවට පත්ව (Salem- News)

කෙසේවෙතත් තම බිරිඳ, පුතා සහ ලැබුණු මුදලත් රැගෙන කොහේ කොතනකට යනවාදැයි සේපාලට වැටහීමක් තිබුණේ නැති තරම්. එමෙන්ම සේපාල අතින් සිදු වූ වරද ද දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වුණා.

ගුවන් ගමන් නීති අනුව මෙම යානය ඉතාලියට අයිති වුවත් සිද්ධිය පිලිබඳ විමර්ශන කළ යුතුව තිබුණේ තායි බලධාරීන්. නමුත් බලධාරීන්ගෙන් සිදුවූ දෝෂයන් සහ ශ්‍රී ලංකා තනාපතිනිය වූ මානේල් අබේසේකර මහත්මියගේ ආරක්ෂාව නිසාම කරදරයකින් තොරව සේපාලට ලංකාවට පැමිණීමට හැකි වෙනවා.

නමුත් ඉතාලි රජය සේපාලව ඔවුන්ට භාරදෙන ලෙස බලපෑම් කරමින් ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එය එසේ නොවිය යුතු යන්නයි. එමෙන්ම අනෙක් අතට අන්තර්ජාතික අපරධකරුවෙකු ආරක්ෂා කරමින් සිටීම නිසාවෙන් ශ්‍රී ලංකාව උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටියා.

එකවර කරුණු දෙකකින් ඉතිහාසගත වීම

India Abroad පුවත්පතේ ගුවන් යානාව පැහැර ගැනීම සම්බන්ධව පළවූ සටහනක් (Ilankai Tamil Sangam)

කෙසේ නමුත් සේපාල ඉතිහාසගත වන්නේ ගුවන් යානයක් පැහැරගැනීම නිසාම නොවේ. ඒ එවකට ගුවන් යානා පැහැරගැනීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ නීති සම්පාදනයවී නොතිබුණු නිසාවෙන්. එම නිසා සේපාලව අත් අඩංගුවට ගැනීමට එවකට නීතිය අනුව පැමිණිල්ලක් අවශ්‍යව තිබුණා. නමුත්  1982 ජූලි 3 වන දින වනතුරුත් පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් වී නොතිබුණු නිසා සේපාල නිදහස් මිනිසෙක් ලෙසයි ජීවත් වුයේ. නමුත් ජූලි 3 වන දින ඉතාලි තානාපති විසින් ගොනු කරන ලද පැමිණිල්ල හේතුවෙන් සේපාල ගාල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන  වැලිකඩ සිරගෙදරට ගෙන එනු ලබනවා. තානාපති කාර්‍යාලය මඟින්ම ඔහුගේ පුතු සහ බිරිඳ නැවත ඉතාලිය වෙත හරවා යවන්නේ ඉන්පසුවයි.

ගුවන් යානා පැහැර ගැනීම් සම්බන්ධ නීතී සම්පාදනය වන්නේ ඉන්පසුවයි. සේපාලට දඬුවම් ලබාදීමට නව නීති සම්පාදනය කිරීමට ජේ. ආර්. රජයට සිදුවනවා. මෙය ලංකා ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සම්පාදනය කරන ලද පළමු නීතිය ලෙස ඉතිහාස පොත් අතර ලියවෙනවා. ඒ අනුව 1982 ජූලි 26 දී ගුවන්යානා අපරාධ සම්බන්ධ පනතක් සම්මත වෙනවා. සේපාලගේ නඩු විභාගය නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේදී විභාග කරනු ලැබූ අතර සේපාල වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා.

සිරගත වීමෙන් පසු

ෆ්‍රී ඒකනායක සිය සොයුරු සොයුරියන් සමඟ (Hiru News)

අවසානයේ අවුරුදු 5කට සිරදඬුවම් නියම වන ඔහු සිරගතව සිටි කාලයේ නාට්‍ය නිෂ්පාදන කෙරූ බවද සඳහන්. කෙසේ නමුත් 1987 වසරෙදී ඔහුව නිදහස් කෙරෙනවා.

ඉන්පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමඟ විවාහ ගිවිස ගන්නා අතර එම විවාහයෙන් ඔවුන්ට පුතෙක් සහ දියණියක් සිටිනවා. සිරගත කර සිටියදී ලිවීම ප්‍රගුණ කළ ඔහු “උට සහ තොට” යන නමින් පොතක්ද ලියා තිබෙනවා. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙදී ඔහු පොදුජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒමට අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්ක වලදී විශාල වැඩකොටසක් කළ අයෙක්ද වෙනවා.

කෙසේ නමුත් මෙම පැහැර ගැනීම නීතියට පටහැණි වුවත් එහි යථාර්තය අමිහිරිය. ඔහු මෙවැනි කාර්‍යයකට පෙලඹෙන්නේ තම බිරිඳ හා දරුවා පිළිබඳ තිබූ අසීමිත ආදරය නිසාවෙනි. එලෙස බලන කල ඔහු අගය කිරීමක් ලැබිය යුතු පුද්ගලයෙකි. එමෙන්ම 1982 වසරේදී මෙවැනි ක්‍රියාවක් මැනවින් සංවිධානය කිරීමින් කෙසේ හෝ ඉල්ලීම් දිනා ගන්නේ තමන්ගේ නොපසුබට උත්සාහය ලොවට පසක් කරමින්.

මූලාශ්‍ර:- The Sunday Times, Wikipedia

Related Articles