අපේ වෙසක්…

Share

ජීවිතය හරි පුදුමාකාර, නො හිතන නො පතන දේ සිද්ධ වෙන, අමුතුම එකක්. බලාපොරොත්තු, හීන, අරමුණු, ඉලක්ක පිරිලා. මේ ලියන අපෙත් අපේ යහළුවන්ගෙත් ඉටු වුණ ඒ වගේ හීනයක් තමා සරසවි සිහින ය. අවුරුදු දහතුනක පාසල් ගමනට ආයුබෝවන් කියල අපි දැන් අලුත් ගමනක් පටන් ගත්තා. ඒ මීට මාස පහකට පෙර. ලංකාවේ හතර කොනෙන් ආපු ආගන්තුකයෝ දැන් එකම පවුලක්. සහෝදර කැලක්. විශ්වවිද්‍යාලය; නැත්නම් “කැම්පස්”එක කියන්නේ පොත පතටම සීමා වුණ තැනක් නෙමෙයි. හැම මාසෙකම එක එක වර්ණවත් උත්සව. අපේ වචනයෙන් කිව්වොත් “function”. තවමත් නවකයින් වන අපිට මේක වෙනස් අත්දැකීමක්. සමහර විට අභියෝගයක් කිව්වත් වරදක් නෑ.

එළඹුණු වෙසක් පෝය වෙනුවෙන් අපේ විශ්ව විද්‍යාලයේ අපේ පීඨය; කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨය, මැයි 8 වෙනි දා ලොකු වැඩසටහනක් සිදු කළා. එක් එක් වසරවල සිසුන්ට එක එක වැඩවල වගකීම පවරල යි මේක සංවිධානය වුණේ. අපිට පැවරුනේ වෙසක් කූඩු හදන්නයි, දන්සලට ඕනෙ දේවල් එකතු කරන්නයි, භක්ති ගීත කියන්නයි. බෞද්ධ සංගමයේ සභාපති ප්‍රධාන අයියල අපිට වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕනෙ විදිහ කිව්වා. Faculty එක වටේ එල්ලන්න වෙසක් කූඩු 1000ක් හදන්න තියෙනවා. ලෙසි වැඩක් නෙමේ. දන්සලට කොස්, මඤ්ඤොක්කා, බෙලිමල් හොයන එක නම් එච්චර දෙයක් නෙමෙයි. භක්ති ගීතත් කිසි අවුලක් නෑ. ඒත් කූඩු 1000ක්! මේක ඇත්තටම අභියෝගයක්. මොකද අපි lectures යන්නත් ඕනෙ, campus එකේ වෙන වැඩත් කරන්න තියෙනව, ගෙවල් දොරවල්වල වැඩත් තියෙනව. එහෙම කියල බෑනෙ. කොහොම හරි කරන්න ඕනෙ.

හිතුව වගෙම; කිව්ව වගෙම, අපි වැඩේ කරා!

වෙසක් එකට ලෑස්ති වුණ දවස් කිහිපය අපේ සරසවි ජීවිතයට අලුත් මතකයක් එකතු කළා. අපේ batch එකේ හැමෝම එක්ක එකට කාලය ගෙවන්න මේක හොඳ අවස්ථාවක් වුණා. ඒ අතරතුරේ සිද්ධ වුණ රසවත් සිද්ධීන් නම් එමටයි.

වෙසක් උත්සවයේ අපිට අදාළ වැඩ කොටස සංවිධානය කරන්න CO ල දෙන්නෙක් පත් කෙරුණා. ඒ අපෙ සිරියයි නියයි. පස්සෙ දෙන්නෙක් මදි කියල මොකාටත් වගකීම පැවරුණා. ඔන්න වැඩේ පටන් ගත්ත. මුලින්ම කොල්ලෝ කට්ටිය හොරණ ගියා උණ බට කපන් එන්න. ඒ අපේ ඩෙලාගෙ ගෙදරට. කට්ටිය උණ බටත් කපාගෙන, සමහරු කකුලත් කපාගෙන ආව. එගොල්ලෝ ඩෙලාගෙ අම්මගෙ කෑම ගැන තාම කතා කරනවා. ඊළඟට බට පතුරු කපල කූඩු “1000ක් හැදීමේ මහා සංග්‍රාමය”පටන් ගත්තා. කලින් හීනෙන් කූඩු දැක්ක සිරියා, දැන් දකින්නෙ කූඩුලු. කට්ටිය කතා වෙලා කූඩු හදන්න එන්න වෙලාවල් දා ගත්තා. හැබැයි ඉතින් ඕනෙම වැඩක් පටන් ගනිද්දි පොඩ්ඩක් හබක් වෙනවනේ. අපිටත් ඉතින් එහෙම වුණා. පළවෙනි දවසෙ කූඩු හදන්න ආවෙ “සූ” ගාලා නමදෙනයි. පිහි නෑ. කියත් නෑ. පිස්සු හැදෙනවනේ!

ඒත් අපේ අය අත ඇරියෙ නෑ. අනිත් අයවත් ගෙන්නගෙන වැඩේ ඉස්සරහට කරගෙන ගියා. කැපවීමෙන් වැඩ කරා. සමහරුන්ට කන්න යන්නත් අමතකයි කූඩු හදන්න ගත්තම. සමහරු blue side එකේ නින්දක් දාන් සැපට ඉන්න තිබ්බ වෙලාව කූඩු හදන්න යෙදෙව්වා. උක්කුවගෙන් ඇහුව නම් ඒ කෙනා කවුද කියලා කියයි. මේ විදිහට පියවරෙන් පියවර බට පතුරුවලින් කොටු හැදුණා. කොටු එකතු වෙල අටපට්ටන් හැදුණා. වෙසක් කූඩු මේ විදිහට හැදෙන අතරතුරේ වෙන වෙන කූඩු හදන්නත් සමහරු try එක දුන්නා. ඒ විදිහට හැදිච්ච කූඩුත් නැතුවාම නෙමෙයි. අපි හැමගේ ප්‍රාර්ථනාව ඒ හැදිච්ච කූඩු නො කැඩී ලස්සනට තියේවා කියලයි.

අටපට්ටම් සැකිලි හැදීගෙන යද්දි ඒව අලවන්නත් පටන් ගත්තා. සැකිලි ගණන අඩු වෙලා සුදු සව්කොළ ඇලවුණ කූඩු ගණන වැඩි වෙද්දි හිතට දැනුනේ කියාගන්න බැරි සතුටක්. ආඩම්බරයක්. මේ විඩිහට කූඩු හදන් යද්දි අපිට මේසයක් උඩ තිබිල හම්බ වුණා පැති සේරම අලවපු අටපට්ටමක්! අපි නම් සමාන්‍යයෙන් පැති දෙකක් ඉතුරු කරනවනෙ. වෙන කවුරු හරි හදපු එකක් වෙන්නැති. මොකද අපේ එකේ නම් ඔහොම බොළඳ අය නෑ. හැබැයි නැතුවමත් නෑ.මොකද සාමාන්‍යයෙන් කොටු හයක් එකට තියල බැන්දම ඉබේම ත්‍රිකෝණ කොටස් ටික හැදෙනව. එත් එක් කෙනෙක්කොටුවකු යි ත්‍රිකෝණෙකු යි දෙකම හදල ඒවා එකතු කරන්න ලොකු try එකක් දුන්නා. ඒ නයියා කියල කියන්න තරම් අපි කුරිරු නෑ. එත් ඉතින් නව අදහස් තියෙන තරුණයෙක්ට අවශ්‍ය ගෞරවය දෙන්න එපැයි නේද?

කට්ටිය එකතු වෙලා වැඩ කරන්න ගත්තම හොඳම fun එක තමයි සින්දු කියන එක. හැබැයි එවෙලෙට වැඩ ටික පොඩ්ඩක් නවතිනවා. මොකද උණ බට ටික drums වෙද්දි පිහි තලය cymbal clash එක වෙන නිසා. අපේ හුසන්ව අමතක කරන්නම බෑ මේක කියද්දි. කොටු හදන්න කිව්වට සමහරු හදන්නෙම දියමන්ති හැඩේ ඒවා. මෙච්චර කූඩු 1000 ක් හදලත් එක කූඩුවක්වත් හදන්න දන්නැති අයත් ඉන්නව. ජීවිතේ මුල්ම කූඩුව හදපු අයත් හිටියා. වැඩි විස්තර සිරියගෙන් අහල බලන්න ඕනෙ. අපේ බෞද්ධ නොවන යහළුවන්ගෙන් මේ වැඩේට කිසිම වෙනසක් නැතුව දායකත්වය ලැබුණා. සම්බුද්ධ තෙමගුල සැමරීමේ නියම අර්ථය නෙමෙයිද මේ?

Batch එකේ හැමෝම වගේ තමන්ට හැකි පමණින් දායකත්වය දුන්නා මේ වැඩේ ඇදගෙන යන්න. එහෙම නො කරපු අයත් නෑ නෙමේ. ඒ අයට අපේ සාතිශය සංවේගය! සුන්දර අත්දැකීමක් මග හරවා ගත්තට. කොහොම වුණත් වෙසක් වැඩ කටයුතු කෙරුණු මාසය තුළ අපි හැමටම විශේෂ වූ චරිත හිටියා. අපේ ජොරියව අමතක කරලම බෑ. කලට වෙලාවට කේතලයයි කෝප්ප හතරයි අරං ජොරිය එනවා. කොටින්ම කිව්වොත් කූඩු හදන්න පටන් ගත්ත දවසෙ ඉඳන් වෙලාවට වෙච්ච එකම දේ ඒක ද කොහෙද. තවත් අපිට හුරුපුරුදු දේවල් තිබුණා. අපෙ CO මොකාගේ ආදරණීය වදන් පෙළ “මොනවද රත්තරන් තව ගෙනත් ඕනෙ?””අනේ රත්තරන්….. තප්පරයක් දෙන්න මං මේක ඉවර කරන කල්…..”.

කට්ටිය වට කරගෙන නයි අරින්න හිරේ තරම් තවත් කෙනෙක් නෑ. ආ! ඇයි බිරන්! බලන බලන සැරේ පාත්තියක් දාගෙන නයෙක් අරිනව. අපේ කජ්ජ කළෙත් ඒකමයි. පාප්ප expert තමයි පවෙල්. එක දවසක් අපේ ජාදු පාප්ප කියල මොකද්ද එකක් හදන් ආවා. තාම අපි මේ ඒකට කියන්න නමක් හොයනවා! වෙසක් උත්සවය ගැන උණුසුමෙන් ගෙවුණ ඒ කාලයේ අපේ උණුසුම නැති කරන්න කට්ටියක් හිටියා. වෙන කවුද ඉතින් ice ගහපු set එක. ඒ පිළිබඳ වැඩි විස්තර අපේ “Ice”ec සභාපතිගෙන් අහන්නකෝ. තව අපිට අමතක කරන්නම බෑ; අපිට free rides දීල ලොකූ සහනයක් වුණ අපේ Uber ප්‍රවාහන සේවය. ඒකෙ වැදගත්කම අහන්න ඕනේ මන්නයගෙන්ම තමයි. Batch එකේ Number 01 Uber fan ඉතින් ජසින් තමයි. Open එකේ ඉඳන් posh එකට යන්නෙත් Uber එකේ කිව්වම ආයෙ වෙන මොන කතා ද!

විශේෂයෙන් මේ දේ කියන්න ඕනේ. එක පිරිසක් හිටියා හැමදාම campus එකෙන් එළියට බහින්නෙ රෑ නවය දහය පහුවෙලා. රෑ ගෙවල්වලට යද්දි පුදුම කට්ටක් කෑවෙ. එකෙක් කොටුවට බස් එකේ ගිහින් එතන ඉඳන් 2 km ක් 3 km විතර පයින් යනවා.තව එකෙක් කොච්චියේ ගම්පහටම යනව. මෙන්න මේ ගම්පහ set එකේනෙ අපේ පාල. මිනිහට කොච්චියෙ නින්ද යනවා.බහින තැන miss වෙයි කියල phone එකේ alarm එක තියලලු නිදියන්නෙ!

කූඩු හදන අතර වාරයේ භක්ති ගී practices ද කෙරීගෙන ගියා. ඒක බාරවහිටියෙ අපේ මැකා. මැකා සින්දු කියනකොට අපිට practice කරවන අයියලටත් ඇස් පිය වෙනවා. ඒ තරම් හැඟීම්බර, මිහිරි කටහඬක් තියෙන්නෙ. භක්ති ගී වෙනුවෙන් තවත් ගොඩ දෙනෙක් මහන්සි වෙලා වැඩ කළා. තව මීයා, පුම්බා, නියා, තකා, ඉරොශ් අමතක කරල බෑ. එක් කෙනෙක් auditions වලදි තමන් දන්නා එකම සින්දුව වන “දන්නෝ බුදුන්ගේ”ගායනා කර වැඩ පෙන්නුවත් පස්සේ වැඩේ අත ඇරියා. තවත් සමහරු මුලදි කට්ටියව ගෙන්න ගන්න සෑහෙන මහන්සි වෙලාඅන්තිම මොහොතෙ තමන් practices යන එක නැවැත්තුවා.

භක්ති ගී කියන අයගෙ whatsapp group එකේ වැඩිපුරම කතා වුණේ එදාට කට්ටිය අඳින සාරි හැට්ටෙ ගැනයි, කොන්ඩෙ බඳින විදිහ ගැනයි! කවුද මන්දා දවසක් ඇහුවා “අනේ හලෝ අපේ එදාට make up දානව ද කියල! සොත්තිට හරී සතුටුයි ඒ වගේ දෙවල් දකිද්දි. උදේ 6.30ට practices දැම්මට සමහරු 9.00 විතර වෙලා එද්දි නම් ඉතින් රතු කට්ට පනිනව. ඒත් දැන් කට්ටිය හොඳට ලැස්ති වෙලා ඉන්නෙ. අද හවසට බලමු කට්ටියගෙ වැඩ!

අපේ මේ පළවෙනි function එකට ගොඩක් මහන්සියෙන් වැඩ කරපු, කැපවුණ පිරිසක් ඉන්නව. අපේ CO ල තුන්දෙනා හැරුනුකොට ජලක්, පාල, කිත්තා, ජාදු, ශීබ්‍රා, කජ්ජා, බකිලා, ජසින්, අයියා, සූසා, සැපා, කොපුවා, තපිලා, ඩොයියා, හිරේ, ෂොයියා, සියාතු, ශීට්, ඈශ් ඒ අතරින් කිහිප දෙනෙක් විතරයි. ගෑණු ළමයි ගොඩ දෙනෙක් හමදාම රෑ වෙනකන් වැඩ කරා. ගෙවල්වලින් බැනුම් ඇහුවා. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ භක්ති ගී කියන stage එක හා සැරසිලි කටයුතු කරන්න මූලික වූ ඇමති, ඉසුරු හා තිලිනි. තවත් එක් විශේෂ කෙනෙක් මතක් කරන්න ඕනෙ. ඇත්තටම කිව්වොත්, අපේ මේ වෙසක් වැඩ කටයුතු පිළිවෙලට, සාර්ථකව සම්පූර්ණ කරන්න පුළුවන් වුනේ මේ පුද්ගලයා නිසයි. ඒක කවුරුත් පිළිගනියි. ඒ අපේ පවෙල්. පවෙල්ගේ මහන්සිය හා කැපවීම අපි කවුරුත් ඇස් දෙකෙන් දැක්කා.

මේ වෙද්දි අපේ campus එක වටේ වෙසක් කූඩු එල්ලලා, සරසලා ඉවරයි. 8 වෙනි දා මුලු faculty එක ම දවස පුරා බෞද්ධ වතාවත්වලට යොමු වෙනවා. හැමෝම සුදු ඇඳුම් ඇඳලා. හරිම පින් පාටයි. මේ පින් පාටට අපිත් හේතුවක් වුණා නේද? මේ දැනෙන සතුට, ආඩම්බරය, නිහතමානීකම, ශ්‍රද්ධාව කියන හැඟීමවල එකතුවට තනි පදයක් හොයා ගන්න අමරුවෙයි.

තෙරුවන් සරණයි!

සටහන : ප්‍රනීත් චන්ද්‍රසේකර
සංස්කරණය : උවිනි ගලගොඩ

 

 
Tagged : / /