Sinhala story Blog

මැයි 1, 2017

සමාවෙන්න: වෙන පිරිවිතරයකින්

Filed under: Uncategorized — arunishapiro @ 6:56 පෙ.ව.

රොස් රොක්ලින් (Rocklynne) (1913 පෙබරවාරි 21 – 1988 ඔක්තෝබර් 29) රොස් ලුවිස් රොක්ලින් (Rocklin) නැමැත්තා යොදාගත් අන්වර්ථ නාමයයි. ඔහු ඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධයන්හි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අවධියේ රචකයෙකි. එවක ප්‍රකාශනය වූ, පුදුම කතන්දර -Astounding Stories, අපූරු වික්‍රමාන්ත -Fantastic Adventures, ග්‍රහලෝක කතන්දර -Planet Stories වැනි ජනප්‍රිය (පල්ප්) විද්‍යා ප්‍රබන්ධ සඟරා කිහිපයකට ලියන ලද්දෙකි. 1939 පැවති ලෝකයේ පළමු විද්‍යා ප්‍රබන්ධ සම්මන්ත්‍රණයේ දී වෘත්තීය හැටියට ආරාධිත අමුත්තෙක් ලෙසින් ද සහභාගී වූයෙකි. සම්මාන ලාභියෙකි. එසේම ඔහුගේ නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ එකතුකර හැදෙන කෘතීන්ට බොහෝ විට ඇතුළු කෙරෙයි. එවැනි දේවල් හා කොතරම් සම්බන්ධ වූවත්, අගනා ප්‍රබන්ධ රැසක් එකතු කරන්නට සමත් වූවත්, එවක අතිශය ජනප්‍රිය වූ අයිසෙක් ඇසිමොව් වැන්නවුන් හා කරට කරට ජනප්‍රියත්වයක් දිනාගන්නට හේ අසමත් විය.

මේ ඔහු ලියූ කෙටි කතාවක සිංහල පරිවර්තනයයි. කොටස් වශයෙන් පළ කරමි. ගූටන්බර්ග් ව්‍යාපෘතියෙන් මෙහි මුල් නිර්මාණය මිලක් නොගෙවා ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

*****

සමාවෙන්න: වෙන පිරිවිතරයකින් – Sorry: Wrong Dimension

කර්තෘ: රොස් රොක්ලින්

ඉතින් බබාට සුරතල් රකුසෙක් හිටිය. බබා ඇරෙන්න වෙන කාටවත් ඌව පෙනුනේ නැහැ. කොහෙන්ද කියල කියන්න බැරි විදියට හිටිහැටියෙ පාත් වෙච්ච මිනිස්සු දෙන්නෙක්, රකුසට ලැයිසන් තියෙනවද නැද්ද කියල හොයන්න. ඉතින් ඒකේ ඇති අරුම පුදුම බව මොකක් ද?

දවස පුරාම බබා ඇඬුවේ නෑ. මොකද එයත් එක්ක සෙල්ලම් කරන්න රකුසෙක් හිටිය නිසා. ඒත් මං දැනන් හිටියේ නෑ එයත් එක්ක සෙල්ලම් කරන්න කෙනෙක් හිටිය බව. ඒ විතරක් නෙමේ ඒක රාස්සයෙක් කියලත් මං දැනන් හිටියේ නෑ. අවංකවම ඇත්ත කිව්වොත්, බබා ඉපදුන දවසේ ඉඳලා මේ තමයි මගේ ස්නායු පාලනය කරගන්න මට පුළුවන් වෙච්ච ප්‍රථම දවස. ඒ නිසා ඔහු අඬන්නේ නැත්තේ ඇයි කියල හොයල බලන්න මං ගියෙ නෑ. මදින්න තිබ්බ රෙදි ඔක්කොම මැදගත්ත -ඒ කිව්වෙ, ඔක්කොම රෙදි- ඒ වගේම හැරීගේ වැඩට යන්න අඳින ඇඳුම්වල අඩුපාඩු මහගත්ත. ඒ හැරෙන්න මම කියවන්න ප්‍රවේසම් කරලා තියගත්ත පහුගිය සැටඩේ ඉව්නින් පෝස්ට් පත්තර තුනක ගිය කතන්දර ටික කියවල ඉවර කළා. මේවා ඇරෙන්න, මගේ අසල්වැසියා මේබල්, එයයි මායි කෝපි කෝප්ප තුනක් බීලා ඉවර කළා. අපි දෙන්න කිචිබිචි සිනා සාගරයකත් ගිලුන. එක පාරක් ඒ විදියට හිනාවෙන හැටි, වැඩිවෙච්ච ගෙදර වැඩ වලින් වෙහෙස වෙලා වයස විසිතුනේ දී -ඇදිලා පෑදිලා ගිය නාකි ගෑණු දෙන්නෙක්- දැකල අපි දෙන්න වියරු වැටිලා වගේ හිටිය. හිනාව යාන්තම් නවත්ත ගත්තම, “ඒත් දෙයියන්ට ස්තූති වෙන්න මුළු දවසෙම බබා ඇඬුවේ නෑ!” කියල මම හිනාව අස්සෙ අමාරුවෙන් කියාගත්ත.

“මගේ එක්කෙනත් නෑ,” මේබල් කිව්ව, එයගෙ බබා ඉපදෙන්න තව මාස හයක් තියෙනව.

“මේබල්, ඔයා මාව හිනාගස්සල මරනව,” මම කිව්ව, “පොඩ්ඩක් කමාකරන්න, මම මගේ අවුල් වෙච්ච කොණ්ඩෙ පීරාගන්න තෙක්, -මොකද මම ජරාවට ගිහින් නැහැ. හැරී එහෙම කිව්ව. ඔහු කියන්නෙ උසස් පෙළ පාසැල් කාලයේ සිට මේ වෙනකන් ඔහුට හමුවෙලා තියන පියකරුම කාන්තාව මමයි කියල- අනික, අපි විවාහ වෙලා අවුරුදු දෙකක්!”

මේබල් වියරුවෙන් තවත් නැළවෙද්දී මං ගියා බාත්රූම් එකට. මම බාත්රූම් එකෙන් එළියට එද්දී, ඇය වියරු වැටිල ඒත් වෙන විදියකට. ඇය හොයාගෙන ඇයි හැරී ජූනියර් අඬන්නේ නැත්තෙ කියල. ඇය බබාගේ කාමරේට ගිහින්. ඇයගේ මුහුණ බිත්තර කටුවක සුදු පාටට හැරිල.

“ඔහු මොකක්ද එකක් එක්ක සෙල්ලම් කරනව,” ඇය කියන්නට ගත්ත. “ඒකට පණ තියෙනව. මට ඇහුණ ඒක ආපහු හුරතලේට මුමුණනව.”

මම බබාගේ තොටිල්ලට අඩි තුනකින් දිව්ව… එකක් ලිට්ල් ජැක් හෝනර් තිබ්බ කොනේ, අනෙක ලිට්ල් බෝ ශීප් උඩ, අනෙක ඕල්ඩ් මදර් හබර්ඩ්ගෙ කබඩ් එක මත. “බබා!” මම කෑ ගහන්න ඔන්න මෙන්න තරම් හයියෙන් කිව්ව. ඒත් බබා සුරතල් විදියට හඬ පිටකරමින් සතුටින් සිනා වෙලා පුංචි කලිසම උඩින් එහාට මෙහාට පෙරලුනා. අලුත් දත් එද්දී විකන්න දීපු රවුම එක්ක ඔහු සෙල්ලම් කරනව. ඒත් මොකෙක් හරි ඒ රවුම ඇදලා උදුරගන්න හදනව. ඉතින් බබා ඒකට කැමතියි.

ප්‍රතිචාර 3 »

  1. font size එක ලොකු කරන්න පුලුවන්ද?
    කියවන්න අමාරු තරම් අකුරු පුංචියි.

    ප්‍රතිචාර විසින් jeewantha — ඔක්තෝබර් 1, 2018 @ 1:01 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.