සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙක සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (2) නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, එම තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට පැවරී ඇත.

කුසල්, තිසර සහ කුලසේකර බංග්ලාදේශ සිහින බොඳ කරයි

බංග්ලාදේශය ටෙස්ට් ක්‍රීඩා කරන විදෙස් රටකට එරෙහිව ලබන ප්‍රථම තරගාවලි ජයග්‍රහණය දැක බලා ගැනීමේ අටියෙන් කොළඹ SSC පිටියට පැමිණ සිටි බංගලාදේශ ආධාරකරුවන්ගේ සියලු බලාපොරොත්තු අද (01) බොඳවී ගියේය…

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධය තවමත් සුව අතට පත්වී නොමැති නිසාවෙන් මෙම තරග සංචාරය ද මැතිව්ස් හට අහිමිව යන අතර, ඒ නිසාවෙන් පිට පිට දෙවරක් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම මෙහෙය වීමේ වරම උපුල් තරංග හට ලැබී ඇත.

නිමා වූ බංග්ලාදේශ එක්දින තරගාවලිය තුල තරගාවලියේ වීරයා සම්මානය ජයග්‍රහණය කළ දක්ෂ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මෙම 20-20 සංචිතයට ඇතුළත් කර නොමැත. ඒ වෙනුවෙන් එක්දින තරගාවලියේ ලකුණු අතරට පැමිණි ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු තිසර පෙරේරා සංචිතයට ඇතුලත් කර ඇත.

“කුසල් මෙන්ඩිස් නිමා වූ එක්දින හා ටෙස්ට් තරගාවලිය තුල තම දස්කම් විශිෂ්ට ලෙස විදහා දැක්වූවා, ඔහු එක්දින හා ටෙස්ට් තරග සඳහා පමණක් යොදා ගෙන ඔහුගේ ක්‍රිකට් ගමන දිගටම පවත්වා ගෙන යාමට අප ඉඩ ලබා දෙනවා. මේ අවස්ථාව තුල ඔහු ඔහුගේ ක්‍රීඩා විලාසය වෙනස් කර ගත යුතු නැත” යැයි තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

කඩුලු රකින්නකු මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතය සඳහා ඇතුළත් කර ඇතත්, හෙට (3) පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණය කුසල් ජනිත් අසමත් වුවහොත්, එම හිදැස පිරවීමට සඳුන් වීරක්කොඩි සංචිතයට නම් කර ඇත. නිරෝෂන් දික්වැල්ලගේ ආබාධ තත්ත්වය තවදුරටත් පවතින නිසාවෙන් මෙම සංචිතයට ඔහු ද ඇතුළත්ව නොමැත.

පසුගිය ඕස්ට්‍රේලියානු තරගාවලියේ ක්‍රීඩා කළ වමතින් දඟ පන්දු යවන සචිත් පතිරණ සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා මැදපෙළ පිතිකරු ශෙහාන් ජයසූරිය සංචිතයට එක් කර ඇත.

ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය මෙහෙයවන අතර, ඒ සඳහා අත්දැකීම් බහුල නුවන් කුලසේකර හා 20-20 විශේෂඥයෙකු වන ඉසුරු උදාන සංචිතයට ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා 20-20 සංචිතය උපුල් තරංග (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් (යෝග්‍යතා පරීක්ෂණය සිදු කර නැත), ලසිත් මාලිංග, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් ශානක , විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න , චාමර කපුගෙදර, සීකුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය, සඳුන් වීරක්කොඩි (කුසල් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත්)

දෙරට අතර පළමු 20-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගය ලබන 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී රාත්‍රි 7.00 ට ආරම්භ වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට