වර්ෂාව හේතුවෙන් මඩ ගොහොරුවකට සමාන තත්ත්වයකට පත්වූ නිත්තවෙල ක්‍රීඩාංගණයේ මිනිත්තු 80ක් පුරා දෙපසට දෝලනය වූ තරගයක අවසන් සතුට තමන් සතු කර ගන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූයේ, විශිෂ්ට සටනක් දෙමින් තරගය බේරා ගැනීමේ අසලටම පැමිණි ධර්මරාජ ක්‍රීඩකයන්ගේ හදවත් බිඳ දමමින් ඔවින් ඇස්කි වාර්තා කල ඩ්‍රොප් ගෝලය හේතුවෙනුයි.

ඩී. එස්. අභියෝගයට පීතරයන්ගෙන් සාර්ථක පිළිතුරක්

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කෝඩුකාරයන් වන කොළඹ ඩී එස්. සේනානායක විද්‍යාලය සමඟ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගය…

මෙම තරගය ජය ගැනීමේ සියලු වාසි සහිතව පිටියට පිවිසි රාජකීය කණ්ඩායමට අමතක නොවන සටනක් දෙන්නට ධර්මරාජ කණ්ඩායම සමත් වූ අතර ප්‍රේක්ෂකාගාර පිරී ඉතිරී යන තරමින් නිත්තවෙල ක්‍රීඩාංගණයට එක් වූ රග්බිලෝලීන් හට අනර්ඝ රග්බි ගැටුමක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි විය. අවසානයේ කණ්ඩායම් දෙක වෙන් වූයේ ලකුණු 3ක පරතරයකින් වූ අතර එහි ජයග්‍රාහී අන්තය රාජකීයයන්ට හිමිවුණේ ලකුණු 18 – 15ක් ලෙසයි.

තෙතබරිත නිත්තවෙල ක්‍රීඩාංගණයේ තරගය ආරම්භ වීමෙන් පසු මුල් කාලයේ දී කණ්ඩායම් දෙකෙන්ම ප්‍රදර්ශණය වූයේ තරමක් දුර්වල තරග රටාවක්ය. කණ්ඩායම් දෙකේම පන්දු පාලනය ඉතා දුර්වල මට්ටමක පැවතී අතර ධර්මරාජ කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ අවස්ථා තවත් දුර්වල වූයේ ප්‍රමුදිත හසරංග හට කහ කාඩ්පතක් ලැබීම හේතුවෙනුයි. මේ අතර රාජකීය කණ්ඩායමට පළමු ලකුණු ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේ දඬුවම් පහරක් හරහායි. ගෝල කණු ඉදිරියේ ම මීටර් 35ක පමණ දුරකින් ලැබුණු මෙම අවස්ථාව සාර්ථක කර ගන්නට මොහොමඩ් ශාකීර් සමත් වූයේ රාජකීයයන් පෙරමුණට ගෙන එමිනුයි. (රාජකීය 03 – 00 ධර්මරාජ)

අනතුරුව තම ආක්‍රමණය ක්‍රමයෙන් දැඩි කළ ධර්මරාජ ක්‍රීඩකයන් රාජකීය ගෝල සීමාව ආක්‍රමණය කරන්නට සමත් වූ අතර ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ වෙහෙස අපතේ නොයැවූ පසුපෙළ ක්‍රීඩකයන් ද පන්දුව නිසි පාලනයකින් යුතුව බිනුර බණ්ඩාර වෙත භාර කිරීමෙන් අනතුරුව ඔහු පිටියේ කෙළවරකින් උත්සාහක දිනුම් රේඛාව පසු කරන්නට සමත් විය. ගිහාන් ඉෂාර මීටර් 30ක පමණ දුරක සිට ඉතා අසීරු කෝණයකින් හිමි වූ ප්‍රවර්නතය ද විශිෂ්ට අයුරින් එල්ල කිරීමත් සමඟ ලකුණු පුවරුවේ වාසිය ධර්මරාජ කණ්ඩායම දෙසට දෝලනය විය. (රාජකීය 03 – 07 ධර්මරාජ)

ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ උරහිස් මට්ටමට ඉහලින් සිදු කල වැළැක්වීමක් (High Tackle) හේතුවෙන් රාජකීය ක්‍රීඩක සාබිත් ෆෙරෝස් හට මිනිත්තු 10ක් සඳහා පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, රාජකීය ක්‍රීඩකයෙකු පන්දුව වෙනත් ක්‍රීඩකයෙකු වෙත යොමු කිරීමෙන් පසු ප්‍රමාද වී සිදු කළ වැළැක්වීමක් (Late Tackle) හේතුවෙන් ධර්මරාජ ක්‍රීඩක ගිහාන් මාලිංගව ද වරදකරුවන්ගේ ආසනය වෙත යැවීමට විනිසුරු අර්ශඩ් කාදර් පියවර ගැනීමත් සමඟ කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කිරීමට සිදුවූයේ ක්‍රීඩකයන් 14 දෙනා බැඟින් යොදාගෙනයි. කෙසේ වෙතත් නැවත පිටියට පැමිණීමේ අවස්ථාව ලද විගස ෆෙරෝස් තම වරදට වන්දි ගෙවන්නට සමත් වූයේ රාජකීය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමිනුයි. එහි ප්‍රවර්තනය ඔවින් ඇස්කි වෙතින් ගිලිහී ගිය ද රාජකීයයන් නැවත තරගයේ පෙරමුණට ගෙන එන්නට උත්සාහක දිනුම පමණක් ප්‍රමාණවත් විය. (රාජකීය 08 – 07 ධර්මරාජ)

ගිලිහී ගිය ලකුණු වාසිය වැඩි වෙලාවක් රාජකීයයන් සතුව පැවතීමට ඉඩ ලබා නොදුන් ගිහාන් ඉෂාර දර්ශනීය ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේ මීටර් 40ක් පමණ දුරක් සාර්ථකව පන්දුව යොමු කරමිනුයි. (රාජකීය 08 – 15 ධර්මරාජ)

ධර්මරාජ විද්‍යාලය තම ලකුණු වාසිය තවත් වර්ධනය කර ගත්තේ ප්‍රමුදිත හසරංග රාජකීය ක්‍රීඩක මිගාර මිහිසංක එල්ල කළ පා පහරක් හරස් කිරීමත් සමඟයි. එම පන්දුව රාජකීය ගෝල සීමාව වෙත ඇදී ගිය අතර එය උත්සාහක දිනුමක් බවට පත් කරගන්නට අවශ්‍ය වුනේ හසරංගගේ එක් ස්පර්ශයක් පමණයි. පළමු ප්‍රවර්තනය සාර්ථක කර ගත් කෝණයෙන්ම ලැබුණු මෙම අවස්ථාව ද නිවැරදි ඉලක්කය දෙසට එල්ල කරන්නට ගිහාන් ඉෂාර සමත් වූ නමුත්, වඩාත් වැඩි දුරක් පැවතීම හේතුවෙන් ගෝල කණු ඉහලින් ගමන් කිරීමට එම පහරේ ශක්තිය ප්‍රමාණවත් නොවීය. (රාජකීය 08 -15 ධර්මරාජ)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 08 – 15 ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ කරමින් එල්ල කල පා පහර නිසි අයුරින් ලබා ගන්නට ධර්මරාජ ක්‍රීඩකයන් අසමත් වූ අතර එයින් උපරිම ප්‍රයෝජන ගත් රාජකීය කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අතරින් හම්සා රීසා තම නම ඉදිරියෙන් උත්සාහක දිනුමක අයිතිය සටහන් කර ගනිද්දී, මොහොමඩ් ශාකීර් පහසු ප්‍රවර්තනයක් සාර්ථකව එල්ල කළේ ලකුණු තත්ත්වය යලි සමාන කරමිනුයි. (රාජකීය 15 – 15 ධර්මරාජ)

ඉන් අනතුරුව දෙවන අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය වන තුරුම කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට අසමත් විය. ධර්මරාජ කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක්ම උදා වුව ද, ප්‍රතිවාදී මීටර් 5 සීමාව තුල දී තෙවරක්ම ඉතා දුර්වල ආකාරයේ අතපසු කිරීම් හේතුවෙන් තම වාසිය අහිමි කර ගන්නා ලදී.

ප්‍රමාද වී සිදු කළ වැළැක්වීමක් හේතුවෙන් රාජකීය ක්‍රීඩක සාබිත් ෆෙරෝස් හට නැවතත් කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු පියවර ගත් අතර එය ඔහුගේ දෙවන කහ කාඩ්පත් අවවාදය වීම හේතුවෙන් රතු කාඩ්පතක් ලබා දී ඔහුගේ දිනයේ වැඩ කටයුතු අවසන් කරන්නට විනිසුරු අර්ශඩ් කාදර් හට සිදුවිය.

එතැන් පටන් තරග අවසානය සඳහා ඉතිරිව තිබූ මිනිත්තු 15ක පමණ කාලය තුල ධර්මරාජ ක්‍රීඩකයන්ට එක් ක්‍රීඩකයෙකුගේ වාසියක් හිමිවුව ද, එම අවස්ථාවෙන් පවා ප්‍රයෝජනයක් ගන්නට ඔවුන් අසමත් වීම කැපී පෙනුනි. තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී රාජකීය කණ්ඩායමට දඬුවම් පහරක් මගින් පන්දුව තම ගෝල සීමාවෙන් එපිටට යොමු කිරීමේ අවස්ථාව හිමි වූ අතර එමඟින් ලද පන්දුව පිටිය තුලට විසි කිරීමේ අවස්ථාව තරගයේ තීරණාත්මක මොහොත විය. නිසි අයුරින් පන්දුව ලබාගෙන ගෝල කණු ඉදිරියේ ස්ථාන ගත වී සිටි ඔවින් ඇස්කි අතට පන්දුව ලැබීමෙන් පසු තරගයේ කාලය ඉතිරිව තිබුනේ ඇස්කිගේ පා පහරින් පසුගිය බ්‍රැඩ්බි පලිහ තරගාවලියේ දී ත්‍රිත්ව ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටුනාක් මෙන්ම, ධර්මරාජ ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ හදවත් බිඳී යාමටත් විනිසුරුගේ තරග අවසන් සංඥාව නිකුත් වීමටත් පමණි. (රාජකීය 18 – 15 ධර්මරාජ)

මේ අනුව මේ දක්වා තරගාවලිය තුල අපරාජිත වෙමින් කාණ්ඩ ප්‍රසාද ලකුණු සටහනේ ඉසිපතන කණ්ඩායමට පමණක් දෙවැනි ස්ථානයකට පත් වන්නට රාජකීයයන්ට හැකි විය.

අවසන් ලකුණු තත්ත්වය: රාජකීය විද්‍යාලය 18 – 15 ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා : හම්සා රීසා (රාජකීය විද්‍යාලය)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

රාජකීය විද්‍යාලය

  • උත්සාහක දිනුම් : හම්සා රීසා, සාබිත් ෆෙරෝස්.
  • ප්‍රවර්තන : මොහොමඩ් ශාකීර්
  • දඬුවම් පහර : මොහොමඩ් ශාකීර්
  • ඩ්‍රොප් ගෝල : ඔවින් ඇස්කි

ධර්මරාජ විද්‍යාලය

  • උත්සාහක දිනුම් : බිනුර බණ්ඩාර, ප්‍රමුදිත හසරංග.
  • ප්‍රවර්තන : ගිහාන් ඉෂාර
  • ඩ්‍රොප් ගෝල : ගිහාන් ඉෂාර
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට