ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් ක්‍රිකට් කණ්ඩායම් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වැදුනු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) දකුණු අප්‍රිකාවේ බෝලන්ඩ් පාර්ක් හිදී ක්‍රියාත්මක විය. එහිදී සත්කාරක දකුණු අප්‍රිකානු යෞවනයින් ලකුණු 77කින් පරාජය කල ශ්‍රී ලංකා යොවුන් පිළ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අමරණීය දිනයක් සනිටුහන් කරන්නට සමත් විය.

ප්‍රබලයින් නොමැති ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 5ක පරාජයක්

මේ දිනවල දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම….


මින් පෙර මෙම තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා තුනකදී එකිනෙකා හමුවූ අතර එම අවස්ථා තුනේදීම ජයග්‍රහණය අත දරන්නට දකුණු අප්‍රිකානුවන් සමත් විය. නමුත් තෙවරක්ම සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම පරාජය කල ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා දොරටු විවර කර ගත්තේය. නමුත් අවස්ථා තුනකදීම තම ජයග්‍රහණය පැහැරගත් ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගයේ ප්‍රතිවාදීන් බවට පත්වීම ශ්‍රී ලංකාව පැත්තෙන් කිසිසේත් සුබවාදී කරුණක් නොවීය.

අද අවසන් තරගයේදී පිට පිටම සිව්වන වතාවටත් ශ්‍රී ලංකාවට පරදවමින් තරගාවලි ජය අත්කර ගැනීම සඳහා දකුණු අප්‍රිකානුවන් බෝලන්ඩ් පාර්ක් හිදී සකසා තිබුනේ පන්දු යවන්නන්ට හිතකර වූ තණ තීරුවකි. එහිදී කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ කෙසේ හෝ වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අදිටනෙනි.

ඒ අනුව ඉනිම ආරම්භ කළ කලින් තරගයේදී ශතක ලාභීන් බවට පත්වූ නායක අවිශ්ක ප්‍රනාන්දුට සහ කඩුලු රකින පිතිකරු විශ්ව චතුරංගට අද සිදුවූයේ පන්දුවාර 6ක් ගතවීමටද මත්තෙන් නැවත ක්‍රීඩාගාරයට පියමන් කිරීමටයි. ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණියේ ප්‍රබලම තුරුම්පු දෙක වූ ඔවුන් දෙදෙනා ඉක්මනින්ම දැවී යාම ශ්‍රී ලංකාවට එල්ල වූ මරු පහරක් විය.

නමුත් පිතිකරණට හිතකර නොවූ තණතිල්ල මතදී ඉවසිලිවන්තව ක්‍රීඩා කල ශ්‍රී ලංකා යොවුන් මැදපෙළ පිතිකරුවන් තමන්ට හැකි පමණින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීම සඳහා දායක විය. ඒ වෙනුවෙන් අශේන් බණ්ඩාර හතරේ පහර 3ක් සමගින් ලකුණු 33ක් ද, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණු 20ක් ද රැස් කරමින් ආධාර විය. ඒ අනුව පන්දුවාර 44යි පන්දු 5ක් ගතවන විට ශ්‍රී ලංකා ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 156ක් ලෙස සටහන් විය. පන්දු යැවීමේදී රුවාන් ඩි ස්වාඩ් කඩුලු 3ක් ද කෙනාන් ස්මිත් කඩුලු 2ක් ද බිඳ හෙලූහ.

පන්දුවාර 50කදී ලකුණු 157ක් යනු ලඟා වීමට පහසු ඉලක්කයක් බව පෙනුනත් ශ්‍රී ලංකා යෞවනයින් ජයග්‍රහණය සඳහා සටන අත්හළේ නැත. ඒ අනුව ජයග්‍රහණය ස්ථිර වනතුරුම ප්‍රබල ප්‍රතිවාදීන්ට එරෙහිව පන්දුවෙන් දැඩි තර්ජනයක් එල්ල කළ ශ්‍රී ලංකාව පන්දුවාර 32යි පන්දු 4ක් ගතවන තැන ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරණ බල ඇණිය ලකුණු 79කට සීමා කළහ. කිසිදු දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේඩ් ක්ලාක් රැස්කලේ ලකුණු 16ක් පමණි.

තරග 10කින් සමන්විත වූ මෙම තරගාවලිය පුරාවටම තම වේග පන්දුවෙන් ශ්‍රී ලංකාවට අපමණ සේවයක් ඉටුකල නිපුන් රංසික අද පැවති අවසන් තරගයේදී එහි උපරිම තලයට එළැඹෙමින් ලකුණු 19ට කඩුලු 5ක් බිඳ හෙලීය. මීට අමතරව දඟ පන්දු යවන හරීන් බුද්ධිල සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා යෞවනයින් උපරිමයෙන් තම දක්ෂතා ප්‍රකට කළ මෙම තුන්කොන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට තරග 6කදී ලකුණු 292ක් ලබාගත් ශ්‍රී ලංකා නායක දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට තරග 5කදී කඩුලු 17ක් බිඳ හෙලූ නිපුන් රංසික සමත් විය. තවමත් 17 වැනි වියේ පසුවන නිපුන් රංසික අනාගතයේදී ශ්‍රී ලංකාවෙන් බිහිවන සුපිරි ක්‍රිකට් තරුවක් පිලිබඳ ඉඟි පළ කරමින් අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ ද වීරයාට හිමි කුසලාන දෝත දැරීය.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 44.5): ශේන් බණ්ඩාර 33, ප්‍රවීන් ජයවික්‍රම 20*, ශම්මු අශාන් 16, ක්‍රිශාන් ආරච්චිගේ 15, රුවාන් ඩි ස්වාඩ් 3/30, කෙනාන් ස්මිත් 2/29, මිචෙල් වෑන් බුරන් 1/17.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 79 (පන්දුවාර 32.4): ජේඩ් ක්ලාක් 16, මිචෙල් වෑන් බුරන් 15, මැතිව් බ්‍රීස්කි 13, රේනාඩ් වෑන් ටොන්ඩර් 11, නිපුන් රංසික 5/19, හරීන් බුද්ධිල 2/5, ප්‍රවීන් ජයවික්‍රම 2/13.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<