මෙරු

ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?

මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්‍යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා කියල කවුරු හරි කිව්වොතින්

ඔබ මොකක්ද දෙන උත්තරය?

ජීවිතයේදී කියපු කරපු හොඳ දේවල් වලට කවදා හරි හොඳ ප්‍රිතිඵලයක් මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි…. ජීවිතයේදී නරක කියපු කරපු මිනිස්සුන්ට කවදා හරි ඒවායේ විපාක මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි,

තවත් ලෝකයක්.. තවත් ජීවිතයක්.. ගැන

තියෙන ඒ බලාපොරොත්තුව….!

සුළු පටු එකක් නෙමේ.

ඒ වෙනුවෙන් කීදාහක් මිනිස්සු ජීවත් වෙන්න ඇද්ද? කීදාහක් මිනිස්සු සටන් කරන්න ඇද්ද? එකිනෙකා මරාගන්න ඇද්ද? ජීවිත පූජා කරන්න ඇද්ද?

මිනිස්සු කැමති වෙයිද කිසිම කෙනෙක් කිසිම විදියකින් කවදා හරි ඒ බලාපොරොත්තුව තමාගෙන් උදුරගන්නවට?

ඒ බලාපොරොත්තුව මායාවක් විතරක් නම්.. ඒ බලාපොරොත්තුව මිත්‍යාවක් විතරක් නම්..??

මොනව වුනත්.. මරණින් පස්සේ තියෙනවාය කියලා ‘බලාපොරොත්තුවෙන’ මේ ජීවිතයට.. පැවැත්මට.. අනික් හැම දේකටම වගේ නියම වෙලා තියෙනවා මිලක්.. කරන්න සිද්ධ වෙලා තියෙනවා කැප කිරීමක්

එක එක ආගම් වල, එක එක විශ්වාසයන්ට අනුව නියම කරනවා එක එක ජීවන ක්‍රම.. ඒවා එකිනෙකින් පරස්පරවිරෝධී වෙනකොට එකිනෙක අතර ගැටීම වළක්වන්න බැහැ..

ඒ නිසයි ඒ ගැටීමේ ප්‍රතිඵල විදියට ලක්ෂ ගණනින් මිනීකඳු ගොඩ ගැහිල තියෙන්නෙ. ලේ ගංගා ගලල තියෙන්නෙ.

අවුරුදු දස දහස් ගණනක් මුළුල්ලේ බලාපොරොත්තුවේ ‘මිල’ මනුස්සයා ගෙව්වේ එහෙමයි.

මරණින් පස්සේ තියෙන.. තියෙනවාය කියලා හිතන ඒ ආලෝකය පස්සේ මෙරු රැළක් වගේ දුවනවා.. බලාපොරොත්තුවෙන් !

අපි මොහොතකට එමු ඔබයි මමයි ජීවත් වෙන සැබෑ ලෝකයට

මේ මට ටික කාලයකට කලින් යාලුවෙක් කියපු කතාවක්

“යාලුවගේ ගමේ හිටපු වයසක අම්මා කෙනෙක් පන්සලට ගිහින් කාලෙකට කලින් නැති වුන ඇගේ සැමියාට පිං පතල පන්සලට දානයක් දෙන්න හිතාගෙන. එහෙම ගිය ඇයට පන්සලේ හාමුදුරුවෝ කියල තියෙනවා පන්සලට දානේ එපා, සිමෙන්ති කොට්ට දෙක තුනක් ගෙනල්ලා දෙන්න කියල. වයසක අම්මා ඒකට කැමති වෙලා නෑ. ගෙදර දානේ උයලා බෙදාගෙන ඇවිත් හාමුදුරුවෝ කීපනමකට පූජා කරලා වැඳලා යනවා වගේ සතුටක් සිමෙන්ති කොට්ට කීපයක් ගෙනත් දුන්නාම වයසක අම්මා කෙනෙක්ට නොලැබෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බේරෙන්න බැරි තැන හාමුදුරුවෝ වයසක අම්මට කියල සිමෙන්ති කොට්ට ගේන්නේ නැතුව ඒ වෙනුවට දානේ ගෙනාවොත් ඒ වයසක අම්මා මැරුණ දවසක ඇයට පිං දෙන්නෙ නෑ කියල”

ජීවිතේ සැඳෑ සමය ගත කරන, මරණින් පස්සේ ජීවිතය යහපත් කරගන්න එක තමාට ඉතිරි වෙලා තියෙන එකම බලාපොරොත්තුව වෙච්චි වයසක මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් ලේසිද?

මේ වයසක මිනිස්සු මරණින් එහා ජීවිතයට ගෙනියන්න පින් රැස්කරගන්න දඟලන්නේ හරියට විභාගයක් අතලඟ කලබලෙන් පාඩම් කරන පොඩි ළමයි ටිකක් වගේ

මේ පින් පොරයට මිලක් නියම කෙරෙන (ආගමික) ව්‍යපාර ඒ වටා ගොඬගැහෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට

අහවල් උත්තමයාගේ ගහක්, ප්‍රතිමාවක්, විහාරයක් වඳින්න කියල කවුරු හරි කියන වචනයක් පිළිගෙන අල්ලපු රටට බුරුතු පිටින් පොරකකා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන යන්නේ මේ පින් අකවුන්ට් එක වැඩි කරගන්නයි

අපි කවුද ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ප්‍රශ්න කරන්න? කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්

ඒ ගමන්ම තවත් කෙනෙක්ට අහන්න පුළුවන් හදි හූනියම්, අංජනම් බැලිලි, වශී ගුරුකම් විතරක් නෙමේ මිනිස්සු රවට්ටන ව්‍යාපාර සහ මේ පිං විකිණීම අතර වෙනසක් තියෙනවද කියලත්

මිනිසාව මෙපමණ කල් ජීවත් කරවපු බලාපොරොත්තුව සහ අන්ධ විශ්වාසය අතර වෙනස හරි හැටි තේරුම් බේරුම් කරගන්නකම් ඔය දෙකේම මිල අපිට මිනිස් හැඟීම් වලින්, ලේ ගංගා වලින්, මිනී කඳු වලින් ගෙවන්න වේවි.

මගේ ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලාවක කියවෙන මේ කතාවෙන් සටහන අවසන් කරන්නම්

“The ontological fallacy of expecting a light at the end of the tunnel, well, that’s what the preacher sells, same as a shrink. See, the preacher, he encourages your capacity for illusion. Then he tells you it’s a fucking virtue. Always a buck to be had doing that, and it’s such a desperate sense of entitlement, isn’t it?” – Rust Cohle ; True Detective

One response to “මෙරු

  1. ////ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?///

    @Jamis Banda
    එතකොට මේ ජීවිතයේ අවසානය කියන්නේ අවසානයමයි කියන්නේත් විශ්වාසයක් මිසක වෙන
    මොකක්ද?
    මරණයේන් පස්සෙ මනස හෝ සිතුවිලි හෝ ඉවර වෙනව කියන්නේත් ඉතාමත් දැඩි ඌණිතවාදි භෞතිකවාදි අදහසක්.
    එකක් ඒක පැරණි අදහසක්.අනික් කාරනාව මේක ජස්ටිෆයි කරන්නෙ නියුරොලොජි පාවිච්චි කරනව.උදාහරණයක් විදිහට මානසික සංසිද්ධින්ට මොලයේ ක්‍රියාකාරිත්වයේ තියෙන බලපෑම් මේ කට්ටිය දක්වනව.මේ මතය හුඟක් දෙනෙක් බයක් හැකක් නැතිව කියන්නේ මේ නියුරොලොජි වල
    තියෙන සොයාගැනීම් වලින් මරණයේන් ජිවිතය කෙලවර වෙනව කියල අදහස සපෝර්ට් වෙනව කියල මිත්‍යවක ගිලිල.එක්කො මේ මහත්ම මහත්මීන් නියුරොසයන්ස් දන්නෙ
    නෑ.නැතිනම් නියුරො කියල හිතං ඉන්නෙ වෙන දෙයක්.
    (බණ්ඩා එච්චර විශ්වාසයකින් මේ මරණයේන් පස්සෙ කෙලවර වීම ගැන කියල තියෙන හින්දා මම ගොඩාක් ආසාවෙන් මේ කාරනාව ජස්ටිෆයි කරන නියුරො සයන්ස් ෆැක්ට්ස් දැන ගන්න බලං ඉන්නවා.)

    ලිපියේ අවශේෂයට ඒ කියන්නේ මේක ඇත්ත හෝ බොරු උනත් බලපෑමක් නැහැ.
    මිනිස්සු කොහොමත් මේ ජිවිතයේ කරන්නෙත් නූපන් හෙට
    ගැන හූල්ල හූල්ල ඉඳල මැරිල යන එක.මගේ ෆෝන් එකේ ඉඳං යාන වාහන මේ ඔක්කෝම කියන්නේ මගේ ඒ අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව හින්දා එක එක උන් ඒකෙන් අවස්ථාවාදීව ප්‍රයෝජන ගත්තු හැටි.ආගමික සංස්ථාව කියල අමුතු විශේෂත්වයක් මොකක්ද?
    උදාහරණයක් විදිහට මේකෙ උපාසක අම්මයි,පාටි දාල ජොලියේ ඉන්න කෙල්ලෙකුගෙයි වෙනස මොකක්ද?
    දෙන්නාම අනාගතය ගැන මිරිඟුවක් ඇචීව් කරන්න දඟලල පොඩ්ඩක් සතුටු වෙනව.

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට