milinda-prashna

2016/10/26 – ලංකාදීප

ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ගැටුම අවම කරන්නට ප‍්‍රයත්න දරයි. ශක්තිමත් කරන්නේ සබඳතාය. ඉවත්ව යන ඕනෑම ජනාධිපතිවරයෙකු අලූතෙන් පත්වන ජනාධිපතිවරයාට ලියන ලිපිය එරට ක‍්‍රමයේ එක් ශක්තිමත් සංකේතයකි. ධුරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා තම අවසාන ලිපිය ලියන අතර එය ලියන්නේ තම අත් අකුරෙන්ය. කවරයක බහා එම ලිපිය ජනාධිපති කාර්යාලයේ මේසය උඩ තබයි. අලූතෙන් පත්වන ඇමරිකානු ජනාධිපතිවරයා මුලින් කරන්නේ තමන්ගේ නමට ඇති එම ලිපිය කියැවීමයි. පක්ෂ අතර විවේචන, දේශපාලන අර්බුද, ජයග‍්‍රහණ හෝ පරාජය සම්බන්ධ පරිසරය කුමක් නමුත් මෙම ලිපි හුවමාරුව ගැඹුරු පණිවුඩයක් නිකුත් කරන බව සඳහන් කළ යුතුව තිබේ..

ඇමරිකාවේ හතලිස් වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් බුෂ් (ජේ්‍්‍යෂ්ඨ) ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ බිල් ක්ලින්ටන් ට ලියන ලද ලිපිය මේ දිනවල නැවත අවධානයට ලක්ව තිබේ. එයට හේතුව ඇමරිකානු ජනාධිපතිවරණයේ දැන් පවතින උණුසුමයි.

බුෂ් ජනාධිපතිවරයා ක්ලින්ටන්ට ලියන ලද කෙටි ලිපියේ සදහන් වෙන්නේ මොනවාද? ‘‘අවුරුදු හතරකට කලින් මෙම කාර්යාලයට එන විට දැනුන පුදුමාකාර ගෞරවය එසේම පවතින බව මට දැනේ. යනුවෙන් ලියන බුෂ් ඔහුගේ වචන වලින් කියන්නේ ක්ලින්ටන් එය එසේම ආරක්ෂා කරගනු ඇත යන සියුම් ඇඟවීමය. ඇමරිකානු ජනාධිපතිධුර කාලසීමාව අවුරුදු හතර බැගින් දෙවතාවකි. නමුත් ක්ලින්ටන් හා බුෂ් අතර තිබුණ ජනාධිපතිවරණ සටනින් බුෂ් පරාජය වෙයි. එක වතාවක් පමණක් ධුරයේ සිටි බුෂ් ප‍්‍රතිවාදියාට පරාජය වී එයින් පිටත්ව යන තීරණාත්මක අවස්ථාවේ මානසිකත්වය තේරුම්ගත යුතුය. ඇමරිකානු ජනාධිපතිවරයෙකු නොවී එය මෙරට සිදුවූයේ නම් ලියන ලියුමක ඇතුලත් විය හැකි කරුණු මොනවාදැයි අවධානයට යොමු කිරීම වැදගත්ය.

‘‘ධුරය උසුලන විට හුදෙකලා විය හැකි යැයි හිතෙන නමුත් තමන්ට තනිකමක් දැණුනේ නැත’’ යන්න බුෂ් එහි  සඳහන් කරයි. එයින් කියන්නේ සාමූහිකත්වය ගැනය. ‘‘ දුෂ්කර කාල පරිච්ඡේද වලට මුහුණ දෙන්නට සිදුවිය හැකිය.’’ ඔහු ලියා තිබේ. ‘‘ දරුණු විවේචන සහිත තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි නමුත් විවේචකයන් නිසා අධෛර්යයට පත්වන්නට හෝ අරමුණු කරගත් ගමනින් ඉවත් කරන්නට ඉඩ දෙන්න එපා’’ යැයි දක්වන්නේ තමන් අවවාද දෙන්නට දක්ෂ පුද්ගලයෙකු නොවන බව කාරුණිකව සඳහන් කරමින්ය.

‘‘ මෙම ලිපිය කියවන විට ඔබ අපේ ජනාධිපතිවරයා’’ බව හෙතෙම අවධාරණයෙන් දක්වයි. බිල් ක්ලින්ටන්ට සහ පවුලේ අයට සුබ පතන හෙතෙම රටේ වගකීම පවරන්නේ මෘදු වචන වලින්ය. ලිපියේ අන්තිමට ලියා ඇති වාක්‍යයෙන් එය කියා ඇත්තේ ‘‘ ඔබේ සාර්ථකත්වය අපේ රටේ සාර්ථකත්වයයි’’ කියමින්ය.

ඉතාමත් කෙටි ගැඹුරු අදහස් සහිත ලිපියකි. රටක් බාර දෙන්නට සුදුසු මෙවැනි ප‍්‍රඥාවන්ත මනුෂ්‍යයන්ට බව ඇමරිකානු පුරවැසියන් එකහෙලා පිලිගන්නා බව නිසැකය. නායකයෙකු තුළ තිබිය යුතු ශක්තිය, නායකත්වයක් සතු විය යුතු පුලූල් හදවත සහ එහි ඇති අප‍්‍රමාණ බලය වචන කිහිපයකින් මැනැවින් පිළිබිඹු වෙයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක නායකයින් රටේ නායකත්වයෙන් ඉවත්ව යන විට තමන්ගේ අනුප‍්‍රාප්තිකයා හමුවේ හැසිරෙන්නට ඉඩ ඇති අන්දම සංසන්දනය කරන්නට කැමැත්තක් නැත. මැත දශක ගණනාව තුළ රටේ සිදුවූ සිදුවීම් එයට සාක්ෂි සපයනු ඇත. ඉතිහාසයේ ඒවා ලියැවෙන්වෙන්නේ ඛේදවාචක හැටියටය. මෙරට දේශපාලනය හොඳ පැත්තට පරිවර්තනය කරන්නට පළමු පියවර ගත යුතු නායකයන්ය. ධුරයෙන් ඉවත්ව යන විට වැඩ භාරගන්නා අලූත් නායකත්වයට හෘදයාංගමව ආමන්ත‍්‍රණය කරන ලිපියක් ලියන සම්ප‍්‍රදායක් ඇති කළ යුතුය. නායකයන්ගේ ගමන අගය කරනු විනා දරුණු වෛරයට හේතු විය යුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ය. ගැඹුරු දර්ශනයකි.  එසේ නොමැතිව රට පාලනය කරන්නට බලය අල්ලා ගැනීම නොවේ.