ඔබත් සංවේදීද...?

"මම හරිම සංවේදී..."

මේ වචන තුන අද දවසට මට දෙවතාවක් අහන්න ලැබුනා. සරල සිංහලෙන් කියනවනම් සංවේදී පුද්ගලයෙක් කියන්නෙ ඉතාම පොඩි දෙයකින් පවා සැලෙන දුකට, වේදනාවට පත්වෙන කෙනෙකුට. අපි අතරෙ එහෙම අය ඉන්නවා. "අධි සංවේදී පුද්ගලයා" (Highly Sensitive Person - HSP) යන යෙදුම 1996 දී මුලින්ම හඳුන්වා දුන් මනෝ විද්‍යාඥ එලේන් . එන්. ආරොන් (Elaine N. Aron) කියන විදිහට සමාජයෙන් සියයට පහක් විතර සංවේදී අය... සමහරවිට මෙය සියයට විස්ස දක්වා විය හැකියි. බොහෝ විට මේ සංවේදී භාවය ලැජ්ජාශීලිත්වය හෝ බියසුලු බව ලෙස වරදවා වටහා ගැනෙන්නත් ඉඩ තියනවා.

ඉතින් මුලින්ම කියන්න ඕන මමත් ඔය අධි සංවේදී වර්ගයේ සත්වයෙක්. ඒක නිසා සංවේදී භාවයේ ආදීනව මම හොඳටම දන්නවා. බස් එකක යනකොට යන්තම් දුක හිතෙන සිංදුවක් ඇහුනොත් නොදැනීම ඇස් වලට කඳුලු එන එක මට නවත්තා ගන්න බෑ... මම දන්නවා මම වගේ තවත් අය ඉන්නවා...

බොහෝ විට සංවේදී වෙන්නෙ ගොඩක් බුද්ධිමත් අය, එහෙම නැත්නම් ඒකෙ විලෝමය වෙන්නත් පුලුවන්. අවට පරිසරයේ, සමාජයේ සහ තමා අවට සිටින අයගේ සුලු වෙනස් වීමක් වුනත් අනිත් අයට වඩා හොඳින් වැටහෙනවා වගේම දැඩිව බලපානවා සංවේදී අයට... මොන දේ වුනත් ඉක්මනින් තේරුම් ගන්න, ග්‍රහනය කර ගන්න සංවේදී අය දක්ෂයි... ඔය ගැන කියවෙන පැරනි සිංහල කියමනක් මට මතක් වෙනවා.

"තේරෙන එකාට ඉඟියත් ඇති; නොතේරෙන එකාට කෙල මෝලෙන් ඇනල කිව්වත් වැඩක් නෑ..."

ඉඟියෙනුත් තේරෙන්නෙ සංවේදී අයට... සංවේදී අය ඕනෙම ආයතනයකට හොඳ සේවකයො. එයාල බොහොම උනන්දුවෙන් තමන්ගෙ දෙයක් කරනව වගේ ආයතනයට ලැදිව වැඩ කරනව. මොකද එයාලගෙ හර්ද සාක්ෂිය පිලිබඳ දැඩි හැඟීමක් තියන නිසා. නමුත් ඒ වගේම සංවේදී බුද්ධිමත් කලමණාකරුවෙක් යටතේ මිස මීහරක් දක්කන බොස්ල ලඟ එයාලට වැඩි කල් ඉන්න බෑ.

හැබැයි ඔය මුලින් කිව්ව 'රෝග ලක්ෂණ තියන හැමෝම සංවේදී අයම නෙවෙයි... ඉතින් කොහොමද අපි සංවේදී අයයි ඒ වගේ වෙනත් අයයි වෙන් කරලා හඳුනා ගන්නෙ... අපි ඒ ගැන ඉදිරියට බලමු... මුලින්ම ඔබේ අදහස් සහ අත්දැකීම් කියන්නකො මේ ගැන... මට පුද්ගලිකව ලියනවානම් sinhavalokana@gmail.com වලට ලියන්න...

3 comments:

  1. සංවේදී කියන්නෙ "පොඩි දෙයකින් පවා සැලෙන දුකට, වේදනාවට පත්වෙන" කෙනෙක්ම නෙවේ ,මම නම් හිතන්නෙ ඉක්මනට යමක් කෙරෙහි ප්‍රතිචාර දකවන අයට තමා සංවේදී අය කියන්නෙ ඒක "දුකක්" වෙන්නත් පුලුවන් "සතුටක්" වෙන්නත් පුලුවන්

    ReplyDelete
  2. සංවේදී බව සමහර වෙලාවට කරදරයක්.. ඒ මොකද කියනවනම් අනිත් අය වගේ වටපිටාවේ වෙන දේවල් ගැන සරළ විදියට හිතලා ඉක්මනින් අමතක කරල දාන්න බැරි නිසා..

    ReplyDelete
  3. @Anonymous
    ඔබ කියන දෙයට මම සියයට සියයක්ම එකඟයි... ඒත් මම කිව්වෙ සංවේදී අයට බොහෝ වෙලාවට වෙන දේ... මා ඇතුලු මා දන්නා සංවේදී අය වැඩිපුරම විඳින්නෙ දුක්ඛ වේදනා මිසක් සුඛ වේදනා නෙවෙයි...

    @ හරිඳු

    ඒක තමයි මාත් කියන්නේ... සමහර වෙලාවට නෙවෙයි ගොඩක් වෙලාවට...

    ReplyDelete