වඩු කිරිල්ලිගෙ කතාව අහලා නැද්ද? අහපු අයත් ඇති, නොඅහපු අයත් ඇති. අහපු අයගේ මතකය අලුත් වෙන්නත්, නොඅහපු අයගේ රසවින්දනය සඳහාත්, විශේෂයෙන්ම අපේ දරුවන්ට කියාදීම සඳහාත්, මේ කතාව මෙහෙම සටහන් කරන්නේ, කුඩා කාලයේදී මට මේ කතාව කියාදුන්, මගේ අම්මා බුදුවේවා! කියන ප්‍රාර්ථනයත් සමගයි.
මගේ අම්මා ගුරු දෙගුරු කියන දෙවර්ගයටම අයත් වෙනවා. අම්මා නිවසේදී මට දෙගුරුන් ගෙන් එක්කෙනෙකු වූ අතර, පාසලේ පහල බාලාංශ පන්ති වලදී, මගේ පන්ති භාර ගුරුතුමිය වුණා.
ඒ කාලේ අදවගේ රූපවාහිනී කාටූන් තිබුණේ නැති නිසා, අම්මලා, කිරි අම්මලා, ආච්චිලා, සීයලා, කිරි අත්තලා, කියාදුන් මෙවැනි කතා වලින්, ඉතා අගනා චිත්තරූප, දරුවන්ගේ මනසේ වර්ධනය වූ අතර, ඔවුන්ගේ චින්තනය මෙන්ම චර්යාව වෙනස් කරන්නත්, එයින් යහපත් බලපෑම් ඇතිවුණා.
හොඳයි, මෙන්න මේකයි කතාව. හෝව්! කතාව කියන්න කලින් තවත් එක දෙයක් කියන්න තියනවා. කතාව අහන ගමන් හූමිටි තියන්න ඕනේ. එහෙමයි ඒ කාලේ අපේ වැඩිහිටියෝ, මේ කතා අපිට කියලා දුන්නේ.
ඔන්න එකෝමත් එක රටක වඩු කිරිල්ලියක් හිටියා. මේ වඩු කිරිල්ලී ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ගල ඇතුළට ගියා. වඩු කිරිල්ලී දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හෙව්වා, බිත්තරය ගල ඇතුලෙන් එලියට ගන්න. වඩු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා.
‘අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, අනේ ඒක අරන් දීපන් ගල් වඩුවෝ……….’ කියලා.
ගල් වඩුවා වඩු කිරිල්ලිට කිව්වා ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
ගල් වඩුවා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ඌරෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ඌරට කිව්වා,
‘අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාපන් ඌරෝ…………’ කියලා.
ඌරා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
ඌරා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ගිනිගොඩක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ගිනිගොඩට කිව්වා,
‘අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාපන් ගින්දරේ…………’ කියලා.
ගිනිගොඩ වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
ගිනිගොඩ කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, වතුර වලක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ වතුර වලට කිව්වා,
‘අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාපන් වතුරේ…………’ කියලා.
වතුර වල වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
වතුර වල කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, අලියෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ අලියට කිව්වා,
‘අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල බීලා දාපන් අලියෝ…………’ කියලා.
අලියා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
අලියා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, කටුස්සෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ කටුස්සට කිව්වා,
‘අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල, බීලා දාන්ඩ බෑ කිව්ව අලියාගේ, හොඬේ අස්සට රිංගපන් කටුස්සෝ…………’ කියලා.
කටුස්සා කිව්වා, ‘හරි හරි මං ඒ වැඩේ කරන්නං’ කියලා.
ඔන්න කටුස්සා දුවගෙන දුවගෙන ගියා අලියගෙ හොඬේ අස්සට රිංගන්ඩ,
අලියා බයවෙලා දුවගෙන දුවගෙන ගියා වතුර වල බීලා දාන්ඩ,
වතුර වල බයවෙලා ගලාගෙන ගලාගෙන ගියා ගිනිගොඩ නිවලා දාන්ඩ,
ගිනිගොඩ බයවෙලා ඇවිලීගෙන ඇවිලීගෙන ගියා ඌරව පුච්චලා දාන්ඩ,
ඌරා බයවෙලා දුවගෙන දුවගෙන ගියා ගල් වඩුවගෙ හේනේ තියන අල බතල කාලා දාන්ඩ,
ගල් වඩුවා බයවෙලා දුවගෙන දුවගෙන ගිහින්, ගල පලලා, වඩු කිරිල්ලිගෙ බිත්තරේ අරන් දුන්නා.
වඩු කිරිල්ලී කටුස්සට පින් දීලා, බිත්තරෙත් අරන්, සතුටෙන් ගෙදර ගියා.
මේ කතාවේ ආදර්ශය කුමක්ද කියා, ඔබ කියනවානම් හොඳයි.
2016 සැප්තැම්බර් මස 5 වැනි දින 0938 පැය
Comments on: "වඩු කිරිල්ලිගෙ කතාව" (6)
[…] වඩු කිරිල්ලිගෙ කතාව […]
ඕනම වෙලාවක උදව් කරන්න ඉන්නේ පොඩි මිනිහෙක් විතරයි… සම හරක් ලොකු එව්වො හරිම කුහකයි (අපේ ඔෆිස් එකේ ඉන්න බූරු වහන්සේලා වගේ )
හරියට හරි. ඒ නිසා තමයි මේ වහේ කතා සර්වකාලීන වටිනාකමක් ලබාගන්නේ.
By the way Sir, looking forward to read a blog post of military details 🙂
Your desire will be fulfilled very soon
[…] […]