රතුපාට රැලි වැටුණු කවුළුදොරරෙද්ද

By Mordechai Ardon
By Mordechai Ardon

”එතන රතුපාට රැලි කර්ට්න් එකක් තිබුණා.”
සජීවි ඔහු ගැන ඇගෙ අවසාන මතකය
(ඇගේ සාක්ෂි සටහනෙනි)

හුළංදා ඔය දිගේ ගලාගෙන එන කඳුළු අඳුරන්න
චන්ද්‍රිකා වැව දියෙහි චන්ද්‍ර බිඹුවට මඳක් කන් දෙන්න
ඇඹිලිපිටි අහස යට ආයෙමත් ආදරෙන් සිපගන්න
එක අලුයමත් නැද්ද රතුපාට හීනයට සමුදෙන්න

හාදුවක් පළන්දා ‘චමත්කා’ සිලිටි නළලත
අඩදැණිව මා දෙපා මුල වැටී සුදු නෙලුම සිප
යළි වැළඳ ආදරය ගොඩ ගසා දෙකම්මුල් මත
ඔබ ගියා දුරුත්තට අතවනාගෙන අඳුර මැද

ඔබ නැටුව හැටි මැවේ ‘සෝර්බා වු ග්‍රීකයා‘ වගේ
මගේ බුදුනි හදිසි දොර කවුළු වෙද මේ සසර මඟේ
තටු නැතිව පිය හඹා යනු හැකිද සිහිනයක් දිගේ
කුස පිපෙන සුදු නෙලුම මත ඉහෙන පිනි කඳුළු මගේ

මැදියමට මධුදියර ඉහින්නට කළුවර ම ඕනෑද
රෑ මුරේ මහසොහොන් සමයමේ යන එවුන් ආවාද
මා නෙතග බුබුළු ලෑ සිහිනයේ කොලරයෙන් අල්ලාන
අඳුරු හිණිපෙළ මතින් කොහොම එළුවෙද සුසුදු පාවාඩ

මව් කුසක ඉඩ නැතිව වසුරු මත ඉපදිච්ච රකුසන්ට
මවුකුසක් දැක දැකත් අන්ධකාරයෙ ඇහැකි බුදුවෙන්න
කොටහළු නොවුණු රටක කොටහළු මගුල් කන්න පුළුවන්ද
බැරිවුණිද ගණඳුරට පෙර පිච්ච මල් සුවඳ ගෙට ගන්න

බිඳුණු වීදුරු කැබැලි හදවතේ පතුළතේ ඇනුනාම
ලේ ගලන්නැති නම් ඉතින් එයත් හදවතක් වෙනවාද
රතුපාට හීනයක උඩුබැලිව ඔබ නිදයි හැමදාම
රතුපාට රැලි වැටුණු කවුළු දොර රෙද්ද ළඟ මම තාම

2016 ජනවාරි 26.

සටහන; ඇඹිලිපිටියේ කොටහළු මගුලකදී පොලිස් ප්‍රහාරයකින් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ වූ ශෂිකා නිශාමනී ඔහු මිය යන විටද එක් දියණියගේ මවක මෙන්ම තවත් දරුවකු වෙනුවෙන් ගැබිණියකව සිටියා ය. අධිෂ්ඨානශීලීව නැගි සිටි ඇය සැමියාගේ ඝාතනය සම්භන්ධයෙන් ඇය දන්නා කාරණා නිර්භයව, එමෙන්ම නීත්‍යානුකූලව හෙළිදරව් කරලූවා ය. අවසන, සැමියා දඩයම් කළ ඝාතකයන්ගේ සෙවණැල්ල කෙමෙන් ඇය මතට ද වැටෙමින් පැවතිණ.

One thought on “රතුපාට රැලි වැටුණු කවුළුදොරරෙද්ද”

ප්‍රතිචාරයක් ලබාදෙන්න