වෙහෙසෙන්නෝ

පුන ගැයුම:

වෙහෙසෙන්නෝ බර උහුලන්නෝ
එත්වා මා වෙතැ එත්වා
ඒ ඒ සියලුදෙනා කැඳවා
නිමව් ඔවුන් මම් සන්හිදුවා

දහඅට වසරක් කුදු ගැහිලා
සිටි ඒ ගැහැනිට පිහිටවුණේ
සමිඳුන් සුරතේ පහස ලබා
සුවපත් වූවා එ ලඳ වහා

සමාජයෙන් පිළිකුල් කැරැලා
ඈත් කරපු ලාදුරු දුගියා
ජේසුගෙ පාමුලැ වැඳ වැටිලා
කළ කෙන්කෙදිරිය ළය තැව්වා

අඬා ඇවිත් පොලොවේ හැපිලා
දූගේ විපත අම්මා කීවා
නොසැලෙන ඇගේ විස්වාසෙ තකා
ඇගෙ සිත සන්සිඳුවා යැව්වා

අබ්බාගතය පැදුරෙ තබා
උස්සා ගිය හැටි හතර දෙනා
වහළෙන් ගෙතුළට ඔහු බාවා
ජේසුට ආතුරයා පෑවා

කවුද අනේ අද සමාජයේ
අසරණයා හට අත දෙන්නේ
කොතැනද මෙවගේ අය නැත්තේ
අහක බලා ඇයි අප යන්නේ

ඔබට පසස ගී (6) 5 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න