අබිලිංවාහිනියේ පාදඩ මාධ්‍ය කලාව

 

කෝපි කඩේ අබිලිං ගේ විනෝදාංශය අහු මුළු වලට මුවා වී අනෙක් ගැමියන්ගේ ඕපාදූප සහ වැරදි හාරා අවුස්සමින් ඒවා තැනින් තැන පැතිරවීමය.

අබිලිංට වෙනත් කෙනෙකුගේ පුද්ගලිකත්වය ගැන අවබෝධයක් නැත. වෙනත් කෙනෙකුගේ ජීවිතය තුළට තමන්ට ඇතුළු වීමට ඇති අයිතිය සහ එහි සීමා පිළිබඳ දැනුමක් නැත. මනුෂ්‍යයෙකු වශයෙන් යහපත් සමාජයක් උදෙසා ඔහුගේ භූමිකාව ගැන අවබෝධයක් නැත.

ඔහු දන්නා එකම දේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය තුළට රිංගා එහි සැඟව ඇති දේ ලෝකයට පෙන්නා අනෙක් මිනිසුන් අතර වැදගත්කමක් දිනාගන්නට උත්සාහ කිරීමය.

ඒ අබිලිං නූගත් මෝඩ ගැමියෙක් නිසාය.

ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍යක් යැයි කියාගන්නා ස්වර්ණවාහිනියද වැටී ඇත්තේ අබිලිං වැනි නූගත් මෝඩ ගැමියෙක්ටත් වඩා පහත් තත්වයටය.

කෝපි කඩේ අබිලිං සේම මේ අබිලිංවාහිනියද අහුමුළු ගානේ තාප්ප ගානේ මුවා වෙමින් රටේ ජනතාවගේ වැරදි වීඩියෝ ගත කොට රටේ ජනතාවටම පෙන්වා තමන්ට වැදගත්කමක් හදාගන්නට උත්සාහ කරන්නේ සදාචාරයේ සීමා පිළිබඳ තම අනවබෝධය ලෝකයම ඉදිරියේ විදහා දක්වමිනි.

මේ අබිලිංවාහිනියට (ඇතුළු සියලුම නාලිකා වලට) තම ප්‍රේක්ෂකයාට රසවිඳිය හැකි ඒකාංගික නාට්‍යයක් වත් විකාශය කර ගැනීමට බැරිය. හරවත් වැඩසටහන නිර්මාණය කරගන්නට බැරිය. සමබර ලෙස දේශපාලන සාකච්ඡාවක් සංවිධානය කරගන්නට බැරිය. දේශපාලන සාකච්ඡාවලට එන දේශපාලකයන්ගෙන් කෙළින් ප්‍රශ්න ඇසීමට බැරිය. හරිහමන් ප්‍රවෘති විකාශයක් ඉදිරිපත් කරගන්නට බැරිය.

ඒ කිසිවක් බැරි වුවද ජනතාවගේ සුළු වැරැද්දක් පවා දුටු විට කැමරා අමෝරාගෙන ඒ වැරදි ජනතාවටම විකුණා සිය මඩිය තරකරගන්න නම් හැකිය.

අබිලිංවාහිනියට පුළුවන් ‘හරකයි පාර කියන්නේ’ කියමින් පහත් රැලි හදනා සිරසේ කුණු ඊටත් වඩා හොඳින් කොපි කිරීම පමණය

හතර දිග්භාගයේ කොහේ හෝ මරණයක්, අපරාධයක් කන වැකුණු සැනින් එහි දුව යන්නේ මිනීමස් ගඳට ඉව වැටුන දඩ බල්ලන් සේය.

දුකට පත් මිනිසුන්ගේ දුක පසුබිම් සංගීතයෙන් සහ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්නේ ක‍ඳුළු පවා මුදල් බවට පත් කර ගැනීමට තරම් පහත් තත්වයට වැටීමට කිසිදු ලජ්ජාවක් තමාට නැති බව ඔප්පු කරමිනි.

පෝය දින වලට සුදු ඇඳගෙන දහම් සාකච්ඡා කරමින්, භක්ති ගීත ගයමින් සෝවාන් වෙන්න ඔන්න මෙන්න සිටිනා සිල්වතුන් සේ රඟපාන අබිලිංවාහිනිය මාසයේ අනෙක් දිනවල හැසිරෙන්නේ රටේ ජනතාවගේ අඩු ලුහුඬුකම් ඉව අල්ලමිනි.

රටේ දේශපාලකයන්ට අභියෝග කරනා මාධ්‍යය කලාවන් විදෙස් රටවල තිබුනද අපේ අබිලිංවාහිනි වල මාධ්‍යය සදාචාරය මෙයයි.

පහත් තැනින් යයි ගලා ජලේ කියන්නා සේ බලය ඉදිරියේ ඇටිකෙහෙල් කෑ රිලව් සේ ගොළුවන මොවුන්ගේ මාධ්‍ය අවි දික්වන්නේ සාමාන්‍යය මනුස්සයෙක් කහ ඉරට එහායින් පාර මාරු වුන විට පමණි.

ජනතාවක් වශයෙන් මෙවන් පාදඩයන්ගේ මාධ්‍යය භාවිතාවයට එරෙහි වීමට, මෙවන් ජඩ මාධ්‍යයන් වර්ජනය කිරීමට කාලය එළඹ ඇත. අපට එරෙහි වීමට සිදුව ඇත්තේ අපේම පුද්ගලිකත්වයේ අයිතිය උදෙසාය.

අපේම වැරදි, අපේම කඳුළු, අපේම මළමිනී අපටම විකුණා මඩිය තද කරගන්නා අබිලිංලා හැංගී ‘මුවා’ වී සිටිනා අහු මුළු වලින් එළියට ඇදදමා ඔවුන්ගේ නිරුවත අපට පෙනෙන බව සියලූම මාධ්‍යය ජාල වලට දැනුම් දීමට කාලය එලඹ ඇත.

13 responses to “අබිලිංවාහිනියේ පාදඩ මාධ්‍ය කලාව

  1. Pingback: අබිලිංවාහිනියේ පාදඩ මාධ්‍ය කලාව | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. මේක මන් තදින් පිළිපදින දෙයක් ජේමිස්. එනම් සමාජයේ ප්‍රවර්ධනය නොකළ යුතු දේවල් වලින් පළමුවෙන්ම අයින් වෙන්න ඕනේ තමන්මයි. ජනමාධ්‍ය සියල්ලටම එයත් අදාළයි. තව දුරටත් කියවිය යුතු නැති වෙබ් අඩවි පවා මා කියවන්නේ නැහැ. මොකද එව්වයේ පැවැත්ම තියෙන්නේ අපේ අතේ මයි. අර කියමනක් තියනවනේ, නොදැනුම ආශීර්වාදයක් කියල. මේ වගේ ජනමාධ්‍ය වලින් දැනුම ලබන වට වඩා නොදැනීම ආශීර්වාදයක් ම තමා. 🙂

    Liked by 2 people

    • සම්පූර්ණයෙන් එකඟයි. මම ටීවී එක බලන්නේම නෑ. බලන්න දෙයක් නැති නිසා. මේ ළඟදි අසල්වැසියෝ ටෙලිනාට්‍යය යූ ටියුබ් එකෙන් බැලුවා. ටීවී එකේ බලන්න දෙයක් නැති නිසා. මේ වගේ අවස්ථාවන් වලදි ජනතාව විදියට සමාජ ජාල වලින් හරි මේ වගේ හැසිරීම් වලට විරෝධය දක්වන එක වැදගත්. නිහඬව ඉන්නවට වඩා හොඳක් වෙන්නේ ඒකෙන්

      Like

  3. මම පුද්ගලිකව ස්වර්ණවාහිනියේ පුවත් නැරබීම නතර කරල ගොඩක් කල්. එකට ප්‍රධාන හේතුව උනේ ඉහතින් ඔබ දක්වල තිබුන කොහෙහරි උන මරණයක් උන ගමන් දඩ බල්ලන් වගේ හැසිරිම්ක් තිබුන නිසයි.. මේක ස්වර්ණවාහිනියේ බොහෝකල් ඉදන් තිබුණු දෙයක්. මේක ස්වර්ණ වාහිනියට විතරක් අදාළ දෙයක් නොවේ අනෙක් විද්යුත් මාධ්‍යන්ටත් මේ කාරණය අඩු වැඩි විදිහට අදාලයි. RAIGAM කලින් කොමන්ටුවේ සදහන් කරලා තිබුන කතාවට මමත් 100%ක් එකගයි. මොකද අපි දන්නවා අපේ රටේ ජනතාවත් ඉල්ලන්නේ මේ වගේ කුණු රහක් තියන පුවත්. රටේ සිදුවිය යුතු දේශපාලනික හෝ සාමජිය ප්‍රතිසංස්කරණ හෝ එතනනින් පහලට ගියාම අඩුම තරමේ රටේ මේ වෙනකොට සිදුවන කාරනා පිළිබද රටේ බහුතර ජනතාවක් දන්නේ නෑ වගේම ඒවා පිළිබද දැනුවත් වෙන්නවත් ඔව්න්ට උවමනාවක් නැ. ඉතින් ඒ වෙනුවට ජනතාව සංවේදී වෙලා ඉනේ දවසේ වැරද්ද්ද වගේ පටු සීමාවක් තියන පුවත් වලට . ඒ ප්‍රේක්ෂක ඉල්ලීම සපයන එක කරන ගමන් එදාවේල හම්බ කරන එකයි මාධ්‍ය විසින් කරන්නේ. එතනින් එහාට ගියාම තමන් සපයන තොරතුරු පිළිබඳ වගකීමක්,වගවීමක් එහෙමත් නැත්නම් මාධ්‍ය සදාචාරක් ඔවුන්ට නැ. පැහැදිලිවම සමාජ ජාලා වලින් හරි ලොකු හඩක් නගන්න ඕනේ හැකි ඉක්මනින්.

    Liked by 2 people

    • සමාජ ජාලා වලින් යම් ප්‍රයෝජනයක් ඇත්නම් ඒ මෙවන් අවස්ථා වල ජනතාවක් වශයෙන් එකතු වී තමාගේ අදහස් ප්‍රකාශ කරන්න, විරෝධය දක්වන්න පුළුවන් කම තිබීමයි. කොටට අඳින නිළියන්ව බුලි කරනවට වඩා මේ වගේ වැඩක් කරන්න සාමූහිකව එකතු වෙන්න පුළුවන් නම් වටිනවා

      Like

  4. වරදි නොකර හිටහන් . එතකොට හරිනේ… උඹෙනුත් මොනවා හරි වෙලා ස්වර්ණවාහිණියේ පෙන්නුවාද?

    Like

    • පළවෙනි කරුණ, වැරදි නොකර ඉන්න කාටවත් බැහැ. දැනුවත්ව හෝ නොදැනුවත්ම හැමෝගෙන්ම වැරදි සිද්ධ වෙනවා

      දෙවනි කරුණ, මිනිස්සු අතින් එහෙම වැරදි වුනාය කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ කොහේවත් යන කැමරාවක් උස්සගත්ත සල්ලිකාරයෙක්ට ඒක වීඩියෝ කරලා ඌට ඕන විදියට පාවිච්චි කරන්න/විකාශය කරන්න අයිතියක් තියෙනවාය කියලා

      තුන්වැනි කරුණ, අබිලිංවාහිනියේ ජඩ වැඩ වලට විරුද්ධ වෙන්න ඒවා ජඩ වැඩ වීමම ප්‍රමාණවත්. යමකට විරුද්ධ වෙන්න ඒ දේ මට වෙනකල්ම බලාගෙන ඉන්න ඕන කියන එක නම් ඔයාගේ තියරිය, ඔයා ඒ විදියට ඉන්න. සාමාන්‍යයෙන් මොළයක්, හදවතක් තියෙන මිනිස්සු අහල පහල ගෙවල් ගිණිගද්දි මගේ ගේ නෙමේනෙ කියලා උඩ බලාගෙන ඉන්නේ නෑ. ගිණිගන්න ගේ කාගෙද කියලා හොයන්නේ නැතුව ගින්න නිමන්න පුළුවන් දෙයක් පුළුවන් විදියට කරනවා.

      ඔයා ගිණිගන්නේ මගේ ගේ නෙමේනෙ කියලා අනිත්පැත්ත හැරිලා නිදාගන්න. නොදැනීම ඔයාගේ ගෙදරටම ගින්න පැතිරුනාම ඔයා ප්‍රමාද වැඩියි මිත්‍රයා. එච්චරයි මට කියන්න තියෙන්නෙ

      Like

  5. හැම තැනම තියන කුණු හොය හොයා අවුස්සා ගඳ ගැස්සවීම රේටින් අගය වැඩි කරගන්න අබිලිංවාහිනී වල ට කුණු අවුස්සා ගඳ ගස්සන එකටයි එක එකාට කෙලවෙන හැටි පෙන්නන එකටයි . වැඩි දෙයක් මෙච්චර කාලෙකට තිබුණෙ නෑ. අබිලිං වාහනී වලට වඩා දේවල් ඇටෙන්පොත්තෙන් මෝරන්න ඉස්සලම ළමයින්ව අල්ලගෙන f m නාලිකාවලින් කරගෙන යන ජාතික මෙහෙවරට උපහාර පුදන්න ජේමිස් බණ්ඩාට අමතක උනාද ? .

    Like

    • මට අමතක වෙලා නෙමේ වෙලාව තියෙන හැටියට ඔය හැම මාතෘකාවක් ගැනම කතා කරමු, එකින් එක. ඔබ ඔය කතා කරන්නේ රියැලටි ටීවී වගේ දේවල් සඳහා කුඩා ළමුන්ව යොදාගන්නා එක ගැන නම් ඔය ගැන ලියන්න මම අදහස් කරගෙන ඉන්නේ. ඔබ අදහස් කරන්නේ ඊට අමතරව වෙනත් යමක් නම් ඒ මොකක්ද කියලා සඳහන් කරන්න.

      Like

      • ඔබ සඳහන් කරන කොයි එකත් එකයි.ඔබ ලියා ඇත්තේ මේ ජඩමාධ්‍ය කලාව ගැන දැනෙන්න සාකච්ඡා කරපු ලිපියක් හිතවත. ඒ ගැන ස්තුති යි

        Liked by 1 person

  6. Haven’t watched that channel in ages, and was wondering what prompted this post. Saw the clip today. That was a blatant invasion. I wonder whether we have no regulatory guidelines for this sort of thing, as the victim might not go through the huge fuss of suing them.

    Like

ප්‍රතිචාරයක් ලබා දීමට