RSS

171.මඩ

09 පෙබ.

20151218_123558

මම උපන් ඇඳුමෙන්.

මාව කට කට ගාලා වෙව්ලනවා.

ඒ ගමන්ම මම පිටිපස්සෙ දොරට පුලුවන් තරම් හයියෙන් තඩිබාන ගමන්.

“තාත්තේ, තාත්තේ, මේ දොර අරින්ඩෝ!”

මම දොරේ අණ්ඩ අල්ලලා හැකි වෙර දාලා පහලට කරකවලා තල්ලු කරන්න හදනවා. නමුත් වැඩක් නෑ.

මට එලියට එන්න කලින් දොරේ ඩෙඩ් බෝල්ට් එක ඉබේ ලොක් නොවෙන්න දාන්න තියෙන පෙත්ත උඩට දාන්න අමතක වුනා මම හිතන්නේ. දැන් මොකද කරන්නේ. ගෙට ඇතුල් වෙන්න වෙන ක්‍රමයක් නෑ. හැම ජනේලෙකටම ග්‍රිල් හයි කරලා.  ඉස්සරහ දොරට, මීටත් වඩා ෆුල්ම සිරා, මේ සම්මජ්ජාතියෙදි මෙලෝ යකෙකුට එලියෙන් අරින්න බැරි  ජාතියේ ඩෙඩ් බෝල්ට් එකක් හයි කරලා තියෙන්නේ.

මම මේ පට්ට පාන්දර, අමු හෙලුවෙන්,  සීතලේ ගැහි ගැහි මිදුලේ ඉන්නේ මගෙ වරදක් නිසා නං නෙමෙයි..

ඒක තනිකරම සූටියගෙ වැ‍රැද්ද. සූටියා  කිව්වේ අපේ බල්ලා.  ඌ කෙලින්නෙ තනිකර පිස්සු!

මම උදේම තුවායත් පටලගෙන් එළියට බැස්සේ රෙදි වැලේ වනලා තියෙන මගෙ ඉස්කෝලෙ යුනිෆෝම් එක ගන්න. ඒක වැලේ තිබුනේ නෑ, ඒක තිබුනේ  වත්ත පුරාම සී සී කඩ, කීතු කීතු වලට ඉරලා, ඒකත් මඩ ගොඩේ. මම මඩ නාගෙන කන්දෙක උස්සගෙන ඇස් රවුම් කරගෙන මා දිහා බලාගෙන ඉන්න ගොං සූටියට බණින අතරෙ  මූ පැන්න ගමන් මම පටළගෙන හිටපු තුවාය ඩැහැගෙන රිංගුවේ නැද්ද පෝර්ච් එකේ ලෑලි තට්‍ටුව යටට! අන්න දැන් ඌ ඒකත් කීතු කීතු වලට ඉරනවා.

මම සූටියවත් කීතු කීතු වලට ඉරනවා මටත් පෝර්ච් එක යටට රිංගන්න තරම් ඉඩ තිබුනා නම්…

“තාත්තේ! අනේ මේ දොර අරින්ඩකෝ. මට සීතලයි!”

තාත්තයි, තාත්තගේ මළ ඉලව් ඩෙඩ් බෝල්‍ටුයි!

අපේ ගෙදෙට්ට හොරු පැන්නට පස්සේ තමයි තාත්තට මේ සිකියුරිටි පිස්සුව හැදුනේ.  ලෝකෙ හදපු ඕනෙම සිකියුරිටි සිස්ටම් එකක් අපේ ගෙදර තියෙනවා මං හිතන්නේ. ඩෙඩ් බෝල්ට්ස්ද , ජනෙල් වලට ග්‍රිල්ද, CCTV කැමරාද, ඉන්ෆ්‍රාරෙඩ් මෝෂන් ඩිටෙක්ටර්ස්ද, පට්ටම සිරා අලාම් සිස්ටම් එකක්ද අරකද මේකද ඔක්කොම මදිවට ලියුම් පෙට්ටියෙ අර Neighborhood Watch ස්ටිකර් එකකුත් ගහලා තියෙන්නේ.

හැබැයි ඉතිං ඔය සිස්ටම් එකනම් සිරාම තමයි,  ඊයේ උදේ තාත්තට යතුර දාපු තැන අමතක වෙලා පැය දෙකක් අපි ගේ ඇතුලේ කො‍ටුවෙලා හිටියා එළියට යාගන්න බැරුව. අම්මයි ජෙනුයි මිල්ඩූරාවලා ආච්චිලගෙ ගෙදර ගිහින් ආයෙ කට උත්තරත් නෑ.  අන්තිමේදි අලාම් සිස්ටම් එක නිසා පොලිසියෙන් ඇවිත් තමයි දොර ඇරලා දුන්නේ.

“තාත්තේ!!!” මම දොරට තඩිබාන ගමන්ම යටි ගිරියෙන් බෙරිහන් දෙනවා. මොනවා කලත් වැඩක් නෑ. එයා තාම බාත් රූම් එකේ ඇත්තේ. වටෙන් ගිහින් බාත් රූම් එකේ ජනේලෙන් කෑ ගැහැව්වනම් හරිනේ.  මම පඩි බැහැගෙන ගෙයි පැත්තකින් යනවා නාන කාමරේ ජනේලෙ ලඟට.

මොනවා? ෂවර් එකේ වතුර සද්දයක් ඇහෙන්නේ නෑනේ.

“තාත්තේ!” මම කෑ ගහනවා. “ඔයා  බාත් රූම් එකේද?’

සද්දයක් නෑ.

“තාත්තේ!”

“ඇන්ඩී?”

තාත්තගෙ හඬ. නමුත් නාන කාමරෙන් නෙවෙයි. ගේ පිටිපස්සෙන් ඇහෙන්නේ. එයාට ඇහෙන්න ඇති මම කලින් කෑ ගහපු එක. මම ආපහු පඩි කීපය නැගගෙන ගේ පිටිපස්සට දුවනවා. තාත්තා පිටිපස්සේ දොර ලඟ එලියේ හිටගෙන ඉන්නවා, ඉණ වටේ තුවායක් ඔතාගෙන.

“ඔයා මොනවද  කරන්නේ?” තාත්ත අහනවා.

“දැං ඔයාට තියෙන්නේ හරිනම්  ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න නේද? මොන පිස්සුවක් හැදිලද මේ හෙලුවැල්ලෙන් වත්ත පුරා දඟලන්නේ, උදේ පාන්දර?

“මේ මගෙ වැ‍රැද්දක් නෙවෙයි,” මම පහැදිළි කරනවා. “මම ඉස්කෝලෙ යන්න තමයි ලෑස්ති වෙවී හිටියේ. මම මේ රෙදිවැලෙන් මගෙ යුනිෆෝම් එක ගන්න මිදුලට ආවේ.  ඇවිත් බලනකොට සූටියා මගෙ යුනිෆෝම් එක කීතු කීතුවලට ඉරලා. ඒ මදිවට ඌ මගෙ ටවල් එකත් හොරකං කරා. මට ගෙට යන්න විදියක් නැතුව හිටියේ ඔයාගෙ මේ ඩෙඩ් බෝල්ට් නිසා.”

තාත්තා  හුස්මක් උඩට අරගෙන ඔලුව දෙපැත්තට වනනවා.

“හැම තිස්සෙම කාගෙ හරි පිට වරද පටවන්න තමයි බලන්නේ නේද?” තාත්ත කියන්නේ අප්‍රසාදයෙන්. “ඔයා කවද්ද ඔයා කරන වරදකට වගකීම බාර ගන්න පුරුදුවෙන්නේ?

“මම කියන්නේ ඇත්ත. සූටියට හොඳටම පිස්සු.”

“මේක අහගන්න,” තාත්තා කියනවා.”ඔක්කොටම ඉස්සෙල්ල  කරුණු හරියාකාරව පහැදිළි කර ගනිමු. පළවෙනි කාරණාව, සූටියට පිස්සු නෑ…”

තාත්තා කතා කරන අතරේ පෝර්ච් එක යටින් මතු වෙන්නේ සූටියා.

“තාත්තේ!” මම අනතුරු හඟවනවා.

“ඉන්න පොඩ්ඩක් ඔහොම මට කතාකරන්න දීලා, මැද්දට පනින්නේ නැතුව!” තාත්තා තදින් කියනවා.  “දෙවෙනි කාරණාව. ඔයාට ගෙට යාගන්න බැරි වුනේ මගෙ වරද නිසාවත්, මගෙ ඩෙඩ් බෝල්ට් වල වරද නිසාවත් නෙවෙයි.  මම ඔයාට පැහැදිළිව කියලා තියෙනවා කොහොමද ඩෙඩ් බෝල්ට් එක නිවැරදිව…”

“තාත්තේ,” මම කෑ ගහනවා. “ඕං පිටිපස්සේ!”

“මම දැං එක පාරක් කිව්වා, මම කතාකරනකොට බාදා කරන්න එපා කියලා. “තාත්තා ඔරවනවා.

“ඒ වුනාට තාත්තේ මම…,” මම කියද්දි මට පේනවා සූටියා කුරුමානම් අල්ලමින් තාත්තගෙ පිටිපස්සෙන් ගොදුරකට ලංවෙන කොටියෙක් වගේ ලංවෙනවා.

“තව එක වචනයක් කිව්වොත් බලාගත්තෑකි!” තාත්තා ගුගුරනවා.

සූටියා ගුවන් ගතවෙලා වාතය තුලින් පියාඹාගෙන එනවා. ඇවිත් එක පාරින්ම තාත්තගෙ ඉණවටේ දවටගෙන හිටපු තුවාය ඩැහැගන්නවා.

“මොන හ්..හුග්…!”තාත්තට කියවෙන්නේ ඉබේටම. විදුලි වේගයෙන් ආපහු හැරෙන තාත්ත දකින්නේ ඒ හා සමාන වේගෙකින් තුවායත් අරං පෝර්ච් එක යටට රිංගන සූටියාව විතරයි.

තාත්තා  කටත් ඇරගෙන අමු හෙලුබැල්ලෙන්   හිටගෙන ඉන්නවා.

“මම ඔයාට කිව්වා කියන එක කියන්න මං දැං කොච්චර අකමැති වුනත් තාත්තේ, මම ඔයාට කිව්වා කියලා නොකියම බෑ, කොච්චර අකමැත්තෙන් හරි. ඔයා සත පහකට මං කියන දේ ගණං…”

“කට වහප්, ඇන්ඩී!” තාත්තා කෑ ගානවා. “මේ ඔක්කොම ඔයාගෙ වරද.”

“මගෙ වරද? මොනවා?” මට මේක අදහගන්න බෑ. “එතකොට ඔයා කවද්ද ඔයා කරන වරදකට වගකීම බාර ගන්න පුරුදුවෙන්නේ?”

මේ වෙනකොට ඒ මාතෘකාව ගැන  තාත්තාගෙ තිබුණ උනන්දුව හොඳටම පිරිහිලා.

“දැං කතාව නවත්තලා එන්න ගෙට යන්න. ගිහිං ඇඳගෙන ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න.”

“ඒ වුනාට මං…මං…මං මොකක්ද අඳින්නේ?”

“ඔයා අක්කගෙ යුනිෆෝම් එකක් ඇඳං ඉස්කෝලෙ ගියත් මට කමක් නෑ,” තාත්තා කියනවා. මට අදත් පරක්කු වෙලා වැඩට යන්න බෑ. ඊයෙත් මිස්ට බේයින්ස්බ්‍රිජ්ට යකා නැගලා හිටියෙ මම පරක්කු වුනාට.”
තාත්ත පඩි නැගගෙන දොර දිහාට යනවා.

“එතකොට දොර?” මම උනන්දුවෙන් අහනවා. “ඔයාට ඩෙඩ්බෝල්ට් එකේ සෙයිෆ්ටිකැච් එක දාන්න මතක් වුනාද එලියට එනකොට?

“නැතුව?” තාත්තා ගොරවනවා.”ඔයා හිතුවද මටත් මේ ඔයාට වගේ අසිහිය කියලා, ඔච්චර සුලු දෙයක් අමතක වෙන්න?

තාත්තා පපුව පුම්බගෙන වීරයා වගේ හැඬල් එක කරකවලා දොර තල්ලු කරනවා.

මොකුත් වෙන්නේ නෑ.

තාත්තා ආයෙම උත්සාහ කරනවා.

ඒත් මොකුත් වෙන්නේ නෑ.

තාත්තා දොරේ ඔලුව ගහගෙන ගහගෙන යනවා.

“ඇයි දෙයියනේ මටම වෙන්නේ?

“ඩාං”

“ඇයි මේ මටම වෙන්නේ?”

“ඩාං”

“යකෝ මං මොන වරදක් කරාටද?”

“ඩාං”

********************************

ඉවසන්න. තව ඉවර නෑ.

********************************

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියු Mudmen කෙටි කතාවේ අනුවාදයකි.

Originally published @ මගේ ඩෙනිම

 

5 responses to “171.මඩ

  1. Ajith Dharma

    පෙබරවාරි 10, 2016 at 4:28 පෙ.ව.

    කියන දේ අහන්නේ නැති තාත්තලා

     
  2. KLS Kumar

    පෙබරවාරි 10, 2016 at 10:30 පෙ.ව.

    හොද වැඩේ අක්කට

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න