ගෑණු බුරි වලින් සන්ස්ක්රුතිය බේරා ගනිමු

1479-Belly-Dance

වසර 2500ක් පැරණි ඉතිහාසයකින් සහ සංස්කෘතියකින් පැවත එන අප රටේ ජීවත් වන පින්වතුන්ගේ පින්වත් බවේ ගුණ වයන්නට ඔවුනට ධර්මය කියා දුන් බුදුන්ටවත් බැරිය. ඔවුන්ගේ සදාචාරය ගැන වර්ණනා කරන්නට ඔවුනට සදාචාරය කියා දුන් වික්ටෝරියා රැජිනටවත් නොහැකිය. ඔවුන් ඒ තරම්ම පින්වත්ය. ඒ තරම්ම සදාචාරවාදීය.

ඒත් කරුමය කියන්නේ සෑම උත්තරීතර පරමාන්තයටම පරිපූර්ණ වූ දේවලට මෙන්ම අපේ මේ පරම පිවිතුරු අධිසදාචාරවාදීන්ගේ පින්වත් බවටද කෙළවන මරමස්ථානයක් තිබීමය.

ආකිලීස්ගේ ශක්තිය ඔහුගේ විලුඹ ළඟ නැති වනවා සේ, සුපර්මෑන්ගේ ශක්තිය ක්‍රිප්ටනයිට් නැමති පාෂාණය ලඟ නැති වනවා සේ, මොවුන්ගේ පින්වත් සදාචාරවාදී බවට කෙළවෙන්නේ මේ මරමස්ථානය ළඟය.

ඒ මරමස්ථානය වෙන කිසිවක් නොව, ස්ත්‍රී ශරීරයයි. 

අපේ අධිසදාචාරවාදී පින්වතුන්ගේ සීලය බිඳී කුඩු සංසාර වී ඔවුනගේ මේ ඇන්ටික් සන්ස්ක්රුතියට කෙළවෙන්නේ ගෑණුන්ගේ කලවා, කකුල්, තන්ගෙඩි, පුකවල් සහ බුරියවල් නිසාය.

මොවුන් පාලකයන් පත් කරගැනීමේදී බලාපොරොත්තුවන මූලිකම කාරණා කිහිපයෙන් එකකි, මේ අවුරුදු බර ගාණක් පැරණි ඇන්ටික් සන්ස්ක්රුතිය රැකගැනීම. ආර්ථික වර්ධනය, අකුරට ක්‍රියාත්මකවන නීති පද්ධතිය, හොර මැර දූෂණ වංචා මර්ධනය, අධ්‍යාපන ක්‍රමය විදිමත් කිරීම වැනි කාරණා ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අහලකවත් නැත. සන්ස්ක්රුතිය සහ ආගම රකිනවා නම් ඒ අවශ්‍යතා බල්ලට ගියද සැනසීමෙන් නින්දට යාමට මොවුනට ඇහැකිය.

යුගයේ අවශ්‍යතාවය සහ සිය ජනතාවගේ සිතැඟි තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධිකින් යුත් පාලකයෙක් මේ ස්ත්‍රී ශරීරය නම් මරමස්ථානයේ එක් අංගයකින් අප රටේ සංස්කෘතිය සහ සදාචාරය බේරා ගැනීමට පියවරක් අරගෙනය. ඒ අපේ බස්නාහිර පලාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාය.

ඉසුර දේවප්‍රිය උත්තමයා විසින් ගන්නා ලද කාලීන වූද, ප්‍රඥා ගෝචර වූද පියවර නම් පාසැල් ගුරුවරියන් සහ නැටුම් හදාරන දැරියන්ට බුරිය නොපෙනෙන සේ ඇඳුම් ඇඳීම අනිවාර්‍ය කෙරෙන චක්‍රලේඛයක් ගෙන ඒමට යෝජනා කිරීමය.

ආඩම්බරයිය. නිකන් නෙමේය. තේරුමක් ඇතුවම ආඩම්බරයිය.

දැන් ඉතින් රටේ භාගයක්ම ප්‍රශ්න අහවර වුනා වගේය. මීට පස්සේ පාසල් වලට යන අධිසදාචාරවාදී පින්වතුනට තම දරුවා ඇතුළු මුලු පාසැලම ඉදිරියේ ගුරුවරියකගේ බුරියක් දැකීමෙන් ඇති විය හැකි ඇඟවෙව්ලීම, අධික ලෙස දහදිය පිටවීම, ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීම සහ ඔන් ද ස්පොට් ශුක්‍ර ධාතු පහවීම වැනි අතුරු ආන්තරා ගැන වද නොවී පහන් සිතින් සැනසිල්ලේ සිය රාජකාරී කරගෙන නිවෙස් බලා පිටත්ව යා හැක.

මේ කාලීන පියවර ගැනීමටත් පෙර සිටම පාසැල් බලධාරීන් විසින් පාසැල තුළට එන මව්වරුනට සාරිය ඇඳීම අනිවාර්‍ය කොට නිල නොවන නීතියක් දැමීමෙන් සහ අප සමාජයම ඒ නිල නොවන නීතිය ප්‍රශ්න කිරීමෙන් තොරව අනුගමනය කිරීමෙන් ස්ත්‍රී ශරීරය නම් වූ මරමස්ථානයෙන් අති පූජනීය වූ පාසැල් භූමිය ගලවා ගැනීමේ මූලික පියවර තබා තිබුනි.

බස්නාහිර පලාත් සභා මහ ඇමතිතුමා තබා ඇත්තේ එහි දෙවැනි පියවරය. රටේ ජනතාවටම ගැලපෙන මෙවන් පාලකයන් සිටීම ගැන අප ජනතාවක් වශයෙන් අවංකවම සතුටු විය යුතුය.

දැන් ඉතින් මේ ලක් පොළෝ තලයෙන් ගෑණු බුරි සදහටම තුරන් කල හැක.

මින් නොනැවතී ගෑණු ශරීරයෙන් අප සංස්කෘතිය ගලවා ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ජනතාව වශයෙන් රටේ පාලකයන්ට අප බලකර සිටිය යුතුය. ඉදිරියට තැබූ පියවර ආපස්සට නොගත යුතුය.

ඊළඟ පියවර ලෙස සාරි හැට්ටයෙන් පහළ බඳ කොටස(බඩ) උපරිම ලෙස නිරාවරණය කල හැකි ප්‍රමාණයන් සම්බන්ධව නිර්දේශ ගෙන ආ හැකිය. නම් කරන ලද අඟල් ප්‍රමාණයකට වැඩියෙන් බඳ නිරාවරණය කිරීම තහනම් කොට නීති සම්පාදනය කල හැක(අඟල් ගණන පසුව විද්වත් මඬුල්ලකගේ සාකච්ඡා වලින් තීරණය කල හැකිය). පාසල් වලට ඇතුළු වන ගුරුවරියන්ගේ බඩවල් පේන ප්‍රමාණය මැනීමේ වගකීම පාසැලේ ආරක්ෂක නිලධාරී මහතුනට ලබා දිය හැකිය. සංස්කෘතියට ආදරේ කරන ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව මේ වගකීම ඉෂ්ඨ කරනු නොඅනුමානය.

බුරියෙන් සහ බඩෙන් අප සංස්කෘතිය බේරා ගත් පසු තනය සහ පශ්චාත්භාගය වෙත හැරිය හැක.

සාරි හැට්ට නිසා තන් ඉලිප්පී පෙනීම සභ්‍යත්වයට නුසුදුසු බැවින් (අසභ්‍යය බැවින්) එසේ ඇඳීම තහනම් කල යුතුය. සාරි හැට්ටය සිය තනේ ප්‍රමාණයට වඩා ලොකුවට මසා හැඳීම අනිවාර්‍ය කල යුතුය. පාසැල් ගුරුවරියන්ගේ තන් මැනීම සඳහා ඒ සඳහාම විෂය භාර (අන්දරේ වැනි) ගුරුමහතෙක් පත් කල යුතුය.

සාරි හැඳීමේදී කාන්තා පශ්චාත්භාග එතරම් කැපී නොපෙනෙන නිසා මෙම නීති මුළු සමාජයටම බලපවත්වන නුදුරු අනාගතයේදී ගෑණු පස්සවල් වලින් සංස්කෘතිය බේරා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ විද්වත් සමාජ කතිකාවතක් සමාජය පුරා ආරම්භ කල හැක.

අරාබිකරයේ වෙසෙන ඉස්ලාම් අන්තවාදී සහෝදරයින් විසින් මෙවැනි ක්‍රම දැනටම ක්‍රියාත්මක කොට ඇති නිසා මේ ක්‍රමවේදයන්ගේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පැන නඟින්නේ නැත.

අපරාධකාරයන්ට දඬුවම් දීම සහ ගෑණු ශරීර වලින් සදාචාරය බේරා ගැනීම වැනි කාරණා වලදී මෙතරම් අප හා සමාන අදහස් දරණ ඉස්ලාම් අන්තවාදී සහෝදරවරු සමඟ අපි නොහොඳ නෝක්කාඩුකම් ඇති කරගැනීමට හේතුව සමහර විටෙක සිතා ගැනීමට පවා අපහසුය.

ඇසේ ඇති වනචරකම පාලනය කර ගත නොහැකි නිසා කල යුත්තේ ඇහැ දකින දේ පාලනය කිරීමය. මන්ද, එසේ නොකලහොත් මේ රටේ වෙසෙන සතර පෝයටම සිල්ගන්නා බොහෝ පින්වතුන් ගණනකගේ සිල් බිඳී ගොස් ඇත්ත ස්වභාවය එළියට ඒමේ අවධානමක් තිබෙන නිසාය.

තමාගේ හිතට එන අසික්කිත හැඟීම් පාලනය කර ගන්නට බුද්ධියක් නැති නම්, බුද්ධියෙන් සිතනා මිනිසුන් වෙනුවට ශිෂ්ණයෙන් සිතනා මිනිසුන් සිටින සමාජයක් වේ නම් ඒ සමාජයේ පින්වත් බව බුරි වසා හෝ ආරක්ෂා කල යුතුය.

ගෑණුන්ගේ බුරි වලින් ආරක්ෂා කල යුතු, ආගම සහ සංස්කෘතියෙන් උත්කර්ෂවත් කරනු ලබන පින්වතා ගේ ‘පැවැත්ම’ තහවුරු කල හැක්කේ එලෙසින්ය.

Leave a comment