සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

වැඩි අවදානම ක්‍රෙඩිට් කාඩ්ද? ඩෙබිට් කාඩ්ද?


ක්‍රෙඩිට් Credit කාඩ්පතක් / ණය කඩ්පතක් යනු ඔබට ඔබගේ බැංකුව හරහා ලැබෙන ඉලෙක්ට්‍රොනික ණය මුදලක් සහිත කාඩ්පතකි. එහෙත් ඩෙබිට් Debit කාඩ්පතක් / හර කාඩ්පතක් යනු ඔබගේම ගිණුමේ තැන්පත් කර ඇති ඔබගේම මුදල් ලබා ගත හැකි කාඩ්පතකි. එය ණය පහසුකමක් ලෙස සැලකිය නොහැක.

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත හෝ එහි අනුපිටපතක් Duplicate නිර්මාණය කොට ඔබගේ ණය සීමාව Credit limit වෙනත් අයෙකු විසින් ඔබගේ අවසරයකින් තොරව භාවිතා කිරීම එනම් අවභාවිතා කිරීම misuse අවාසනාවකට කරුණකි. එහෙත් ඔබගේ ඩෙබිට් කාඩ්පත හරහා ඔබගේ ඉතිරි කිරීමේ ගිණුමේ හෝ ජංගම ගිණුමේ මුදල් සොරා ගැනිම වඩාත්ම බරපතල ඛේදවාචකයකි.

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත හරහා ඔබ නොදැනුවත්ව වංචාවක් Fraud සිදු වූ විට ඔබට ඒ තුළින් ක්ෂණික මූල්‍ය හානියක් Instant Financial Damage සිදු නොවන තරම්ය. මන්ද යත් එම වංචාසහගත ගනුදෙනුව හෝ ගනුදෙනු ඇතුලත් මාසික ක්‍රෙඩිට් කාඩ් බිල්පත Monthly Statement ඔබ අතට පත්වන්නේ ගනුදෙනුව සිදු වී යම්කිසි දින ගණනකට පසුව බැවිනි. (වංචාසහගත ගනුදෙනුව සිදු වූ විගස බැංකුව මඟින් ඔබව දැනුවත් කෙරෙනු ඇත. එහෙත් ඒ සඳහා ඔබ ගෙවීම් කළ යුතු වන්නේ ඉහත සඳහන් කළ පරිදි මාසික බිල්පතක් ලැබීමෙන් අනතුරුවය)

ඒ අනුව ඔබගේ බැංකුව හරහා එම වංචාව පිළිබඳව යම් පියවරක් ගැනීමටද ඔබට කාලයක් ඇත.

එහෙත් ඩෙබිට් කාඩ් පතක් හරහා වංචාවක් සිදු වන විට එහිදී සොරා ගනු ලබන්නේ ඔබගේ ඉතිරි කිරීමේ ගිණුමේ හෝ ජංගම ගිණුමේ තැන්පත් කර ඇති ඔබගේම මුදල්ය. මූල්‍ය හානිය ක්ෂණිකය. සැබවින්ම කම්පා විය යුතු මහා ඛේදවාචකයකි.

මේ අනුව ඔබගේ වියදම් මාධ්‍ය ලෙස ප්‍රථම තෝරා ගැනීම Primary Spending Vehicle විය යුත්තේ ක්‍රෙඩිට් කාඩ්පත බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත සම්බන්ධයෙන් ඔබට ඇති වගකීම අඩුවෙන් තක්සේරු කිරීමක් මින් අදහස් නොකෙරේ. කිසියම් හෝ ගෙවුම් උපකරණයක් Payment Device ඔබ ලඟ තබා ගන්නේ නම් එය හා එහි දත්ත data (PIN අංක යනාදිය) ආරක්ෂා කර ගැනීම ඔබගේ මූලික වගකීමකි.

ඔබ සතු එවන් උපකරණ අස්ථාන ගත වී ඇති බව දැනගත් වහාම ඔබගේ බැංකුව අමතා එය තාවකාලිකව හෝ අක්‍රිය කිරීම ප්‍රඥාගෝචරය.

දශක දෙකකට පසු ලෝකයේ වැඩිම ඉලෙක්ට්‍රොනික කාඩ්පත් වංචා ප්‍රමාණයක් වාර්තා වූ කාල පරිච්ඡේදයක් අප පසු කරමින් සිටින බව  සිහිපත් කරමින් දැනට නවතිමු. සුභ දවසක් වේවා!  

Wall Street Journal ඇසුරෙනි