සම්බන්දන්, සංගක්කාර සහ අපි

Sambanthanපාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන්ට නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය. සම්බන්දන්ට විපක්ෂ නායකකම දිය යුතුයැයි රතු හිතුවක්කාරයා මීට දින කිහිපයකට පෙර යෝජනා කලේය. ඒ සටහනට මෙතැනින්. නව විපක්ෂ නායකවරයාට රතු හිතුවක්කාරයාගේ සුබ පැතුම්.


සංගක්කාර සමුගැනීමේ අවස්ථාවේදී තම බිරිඳ සිපගත්තේය. ඒ මොහොත සටහන් වූ ඡායාරූපය මූණුපොත හා වෙනත් සමාජජාල හරහාත්, වෙබ් අඩවි හරහාත් පැතිර ගියේය. සංගක්කාර ප්‍රසිද්ධියේ තම බිරිඳ සිපගැනීම අනාචාරී හැසිරීමක් බවත්, එය ලාංකේය ‘හැදියාව’ ට නරක ආදර්ශයක් බවත් කියමින් පළවූ අදහස් සුළුතරයකුත්, සංගක්කාර ප්‍රසිද්ධියේ තම බිරිඳ සිපගැනීම සංස්කෘතික වැට කඩොළු මායිම් බිඳ හෙළමින් සිදුකළ “විප්ලවීය/රැඩිකල්” ක්‍රියාවක් බව ප්‍රකාශ කරමින් විශාල අදහස් ප්‍රමාණයක් ද පැතිරිණි. එය මොහොතකට පසෙකින් තබමු.

දැන් සම්බන්දන්ට විපක්ෂ නායකකම ලබාදීම සම්බන්දයෙන් මධුමාධව අරවින්ද නමින් ඇති මූණුපොත් ගිණුමේ (මෙය ඔහු නමින් ඇති ව්‍යාජ මූණුපොත් ගිණුමක් ද යන්න නොදනී.)

// Madhu Madhawa Aravinda   – අනේ ආදරණීය සිහලුනේ, මට සමාවෙයල්ලා… මගේ පපුව ගොඩාක් රිදෙනවා..සත්තයි, උඹලා දේශපාලනය නිසා ආදරය කලා වගේම අපහාස කලත් මම තරහා උනේ නැහැ. ඒත් විපක්‍ෂ නායක හැටියට පත් වෙන නොමල කොටියා මාර්ගයෙන් මැරෙන්න දේශපාලන බෝම්බයක් වෙන්න බැරි උනාට මට සමාවෙයල්ලා…. මගේ ශ‍්‍රී ලංකා අම්මේ .. මට සමාවෙන්න. මියගිය 27600 විරුවණි මට සමාවෙන්න … සිංහල ජාතියේ ආදරණීය මිනිසුනේ මට සමාවෙයල්ලා …. මේ මහා පාවාදීම සිදුවෙනකොට මම ජීවතුන් අතර සිටියා …ඒකට මට සමාවෙයල්ලා …. කිසිදාක සමාව දෙන්නේ නෑ…. මේ පාවාදීමට එරෙහිව මැරුම් කන්න උනත් ලෑස්ති සිංහලයින්…..// 

වැනි ප්‍රකාශ සටහන් වනු ද පෙනේ. ඒ අතරේ සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලැබීම සම්බන්යෙන් සතුට පළකරමින් අදහස් ද පළවීමට සහ පුවත්පත් පිටු පුරා මෙය අගය කිරීමට ලක්වීමට නියමිතය.

විචාරකයන්ගේ සංතෘප්තිය උදෙසා ඒ කාරණය ඉතිරිකර සංගක්කාරගේ සිපගැනීමත්, සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලැබීමත් සමපාත වන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලමු.

මූලික මිනිස් හැගීම් වන ආදරය සෙනෙහස පවා උත්තරාරෝපිත ධනවාදයක් සහිත ලංකාව තුළ අර්ථකතනය වන්නේ ආර්ථික ක්‍රියාවලිය මගින් උත්පාද වන චින්තන පරිචයකිනි. ධනේෂ්වර පරිභෝජනවාදී ‘මධ්‍යම පාංතික’ දිවියක් ගෙවන සංගක්කාරලාට තම බිරිඳව සිපගැනීම ‘සාමාන්‍ය’යකි. එකී ධනේෂ්වර පරිභෝජනවාදී ආර්ථිකයක් තුළම වැඩවසම් ආසියාතික ‘සංස්කෘතික මිථ්‍යාව’ක දිවි ගෙවන ‘අබ සරණ’ චින්තනය සහිත ජනයාට බිරිඳව සිපගැනීම නිදන කාමරය තුළ පමණක් කළයුතු ‘ලිංගික’ ක්‍රියාවකි. ‘අබ සරණ’ චින්තනයෙන් බැහැරවූ “ටොයියන්ගේ” චින්තනය තුළ සංගක්කාරගේ සිපගැනීම ස්ථානගත වන්නේ ‘පොෂ්’ වැඩක් ලෙසය. සංගක්කාරගේ සිපගැනීම ඔවුන්ට අනුව “විප්ලවීය” වන්නේ එහෙයිනි. 

ඉහත කී ආසියාතික වැඩවසම් සංස්කෘතික චින්තනයේම තවත් අංගයක් වන ජාතිවාදය කරපින්නා ගත් ‘අබ සරණ’ චින්තකයෝ

//මේ මහා පාවාදීම සිදුවෙනකොට මම ජීවතුන් අතර සිටියා …ඒකට මට සමාවෙයල්ලා …. කිසිදාක සමාව දෙන්නේ නෑ…. මේ පාවාදීමට එරෙහිව මැරුම් කන්න උනත් ලෑස්ති සිංහලයින්…..//

ආදී ලෙස සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලබාදීමට එරෙහිව මරාගෙන මැරීමට සූදානම් වුවත් ‘බයියන්ගේ’ චින්තනය කොතැනද, එයට ප්‍රතිවිරුද්ධ අන්තය නිරායාසයෙන් අත්පත් කරගන්නා ‘ටොයි චින්තකයෝ’ (පට්ට සිරා වැඩක් කරලා. සම්බන්දන්ට විපක්ෂ නායකකම දීලා. එළම තමා.) ලෙස තමන්ගේ චින්තන පරිචය සකසා ගන්නෝය. සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලබාදීම ඔවුන්ට අනුව “විප්ලවීය” වන්නේ එහෙයිනි.

සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලබාදීම යනු දඟ කොල්ලෙකුට මොනිටර්කම බාරදීම වැන්නක් බව මිතුරෙකු සඳහන් කළේය. විපක්ෂ නායක ධුරය වැනි ‘සෙරමොනියල්’ තනතුරකින් දෙමල ඊලමක් නියෝජනය වේ යැයි සිහින දකින වැඩවසම් චින්තකයන්ට දුන් එම කනේ පහර වෙනුවෙන් ඔහුට රතු හිතුවක්කාරයාගේ ස්තුතිය.

යූ ටියුබය තුළ බෙදාහැරෙන යම් සංවේදී වීඩියෝ පෙළක් ඇත. පඩිපෙලක් නැගගන්නට අපහසුව සිටින මහළු කාන්තාවක් බොහෝ අය විසින් නොසලකා හරිමින් යනු පෙනේ. ඒ අතරේ ඇයට උදව්වන්නට තරුණයෙක් ඉදිරිපත් වේ. ඒ සමගම සැඟවී සිටිනා ගායක කණ්ඩායමක් පැමිණ මේ තරුණයාගේ ක්‍රියාව අගය කරමින් ගීත ගායනා කරයි. මේ ආකාරයේ විවිධ සිදුවීම් සහිත වීඩියෝ පෙළක්ම මුදා හැරෙමින් පවතී. සමාජ ජාල හරහා කඳුලු පෙරමින් මේ වීඩියෝ නරඹා සංවේදී වන බොහෝ දෙනාට මෙවැනි සෑම මිනිසෙකුටම සාමාන්‍ය වියයුතු මිනිස් ක්‍රියා “පට්ට ඉමෝෂනල් මෙයා!” වන්නේ ඇයි? මේ නව ලිබරල් ධනවාදය තුළ අනෙක් මිනිසා වෙනුවෙන් පැවතිය යුතු සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් පවා බිඳදමන තරගකාරී ස්වභාවයක් ඇතිකර තිබීමයි. ශිෂ්‍යත්ව විභාගයේ සිට රැකියාවක් ලබාගැනීම, විවාහය පවා තරගකාරීත්වයට ඇදදමා තිබෙනුයේ, තමාගේ අනෙකා සමග තරගයක් කරා මනුෂ්‍ය සබඳතා ද ඇදදමා ඇත.

ඉදින් එහෙව් සමාජයක ආර්ථික ක්‍රමවේදය ඇතුළු මුළුමහත් සමාජ ක්‍රමයම වෙනස් කරන තුරුම යාචකයෙකුට රුපියල් විස්සක් ලබාදීමත් පට්ට වැඩක් වෙන අතරේ සංගක්කාරගේ සිපගැනීමත් – සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය ලබාදීමත් “විප්ලවීය” වනු ඇත.

– රතු හිතුවක්කාරයා –

One Comment Add yours

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.