කුමාව නොදන්නා අරා

ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ යනු මේ රටේ යුක්තිය සාධාරණය උදෙසා පෙනී සිටින්නට ගොඩනැගුව පක්ෂයය.

විජේවීර 1965 දී මේ ව්‍යාපාරය ගොඩනැගුවේ මේ රටේ සමාජවාදය හදන්නටය.  ලාභ ලැබීමේ අරමුණ මූලික කරගත් ධනවාදය වෙනුවට සියලු ජනයාට සමානාත්මතාව සුරකින සමාජයක් හදන්නටය. එහෙව් අරමුණින් සැදූ පක්ෂයේ වර්තමාන නායකයා අනුර කුමාර දිසානායකය. අනුර කුමාර දිසානායකට ශිෂ්‍ය සංගමය තුළ භාවිතා කළ නම අරවින්දය. අරවින්ද කියන්නේ නෙළුම් මලටය. සුවඳ විහිදුවන සියපතකටය. නමුදු කියන්නට කැතය. සුවඳ වෙනුවට ඊයේ විහිදුනේ ගඳක්මය. දැක්මෙන් නෙත් පුබුදුවන්නට අරවින්දය සමත් වන්නේ නමුදු ඊයේ දැනුනේ පිළිකුල් සහගත හැඟීමක්ය.

සලකුණ වැඩසටහනේදී විමල් කැටිපෙආරච්චි මාධ්‍යවේදියා අනුරගෙන් ප්‍රශ්නයක් අසන්නේය. ඒ “කුමාර් ගුණරත්නම්” නම් ක්‍රියාකාරිකයකු ඔබ පක්ෂයේ සිටියාද යන්නය. අනුරගේ පිළිතුර ගත් කටටම “නෑ” කියාය. කුමාර් ගුණරත්නම්ව ආණ්ඩුවේ සුදු වෑන් එකකින් පැහැරගෙන ගිය සමයේදී ජවිපෙ හිටපු නායකයා වන සෝමවංශ අමරසිංහ හෙවත් සිරි අයියා කිව්වේද “එහෙම හාදයෙක් අපේ පක්ෂයේ හිටියේ නැත” කියාය.

කවුද මේ කුමාර්?

kumara-Gunaratnam-133x150

ජවිපෙන් බහුතර ක්‍රියාකාරිකයන් පිරිසක් කැඩී ගිය සමයේදී මෙරට ජනමාධ්‍යවල ප්‍රධානතම මාතෘකාව වුණේ ඒකය. එකල ඉහත ඡායාරූපය පමණක් රජය සතුව තිබුණු අතර එය සෑම පුවත්පතකම පළකෙරිණ. කුමාර් ගුණරත්නම් යනු එවකට ජවිපෙ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ සහෝදරයෙකි. ඔහු ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවූ රංජිතම් ගුණරත්නම්ගේ සොහොයුරාය. 88-89 සමයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ අංශයේ නායකයා වූයේ මේ කුමාර් ගුණරත්නම්ය. එකළ ඔහු කුමාර් මහත්තයා, ගැමුණු ලෙස ද හැඳින්විණ. එහෙව් කුමාර්ය දැන් අනුරට අමතක වන්නේ. තමන්ට ඉංග්‍රීසි උගැන්වූ පක්ෂයේ අම්මා කෙනෙක්ගේ පුතෙක්වය අනුරට දැන් අමතක වන්නේ.

Kumar-Gunaratnam1-650x433

පසුගිය පාර්ලිමේන්තුවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට තෝරාපත්වීමට ඇති ඉඩකඩ අහෝසිකරන්නට ජවිපෙ මූලික වූයේද කුමාර් සමග ඇති ආරෝව නිසාය. රාජපක්ෂ රෙජීමය විසින් කුමාර්ව පැහැරගෙන ගිය අවස්ථාවේදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් කර කුමාර්ව බේරාගැනීමට හැකිවූයේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වූ නිසාය. අනුරලාට ඕනෑවෙන්නේ ඒ ඉඩකඩ වහන්නටය.

කුමාර්ගේ දේශපාලනය කෙසේවෙතත් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට ඇති ඉඩකඩ විවෘත වන්නට ඕනෑය. 88-89 සමයේදී ජවිපෙ සාමාජිකයන් ඝාතනය කරන්නට ආරක්ෂක අංශවලට ඔත්තු ලබාදුන්නායි ජවිපෙ චෝදනා කළ එකල ස්වාධීන ශිෂ්‍ය සංගමය නියෝජනය කළවුන් සමග පයුරුපාසානම් තබාගන්නට අනුරලාට ප්‍රශ්නයක් නැත. තම සාමාජිකයන් ඝාතනය කළ ශ්‍රීලනීපය හා එජාපය සමග දේශපාලන රමණයන්හි යෙදෙන්නට වර්තමාන ජවිපෙට ප්‍රශ්නයක් නැත. එහෙත් තම දේශපාලන ඉතිහාසයේ සටන් සගයෙකු වූ කුමාර් ගුණරත්නම්ව මතක නැත.

දැන් බලන්නට වෙන්නේ මේක අනුරට පමණක් පොදු චර්යා ප්‍රශ්නයක්දැයි කියාය. නැත. අනුරට පමණක් නොවේ සෝමවංශ අමරසිංහටද මේ චර්යා ප්‍රශ්නය තිබුණි. එපමණක්ද, නැත. ජවිපෙ ක්‍රියාකාරීන්ව සිට පසුව ජන අරගල ව්‍යාපාරය සමග වෙන්ව ගියාවූ ලලිත්-කුගන්, ආණ්ඩුවේ මිලිටරි යාන්ත්‍රණයෙන් පැහැරගෙන ගියාට පසු ඒ සඳහා සාක්ෂි දීමට උසාවි යාම ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැහැර හැරියේය. 2010 වසරේ දී හිටපු හමුදාපති ෆොන්සේකා සිරගතව සිටියදී ඔහු නිදහස් කරගැනීමේ අරමුණින් ජවිපෙ ගාල්ලේදී පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසියෙන් පහරදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, පාර්ලි‍මේන්තු මන්ත්‍රී අජිත් කුමාර, පලාත් සභා මන්ත්‍රී නලින් හේවගේ ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. මෙම ලියුම්කරුද ඒ අතර විය. එම නඩු විභාගය පැවැත්වෙත්දී ජවිපෙ දෙකඩ විය. පසුව ජවිපෙ නීතිඥයන් පෙනී සිටියේ ජවිපෙ ඉතුරු වූ සාමාජිකයන් පිරිස සඳහා පමණි. එළෙසින්ම මෙය ජවිපෙ පුද්ගල චර්යාමය ගැටළු ලෙස ඉදිරිපත් වුවද සැබැවින්ම මේ පද්ධතියේ ප්‍රශ්නයකි. ප්‍රතිසංස්කරණවාදය වෙත ගොදුරුවන පක්ෂයක ඉරණමය. ඡන්දයෙන් පැරදුණු පසු සිහිනයෙන් අවදිව මාක්ස් ලෙනින්ව සොයන පක්ෂකය ඛේදවාචකය මෙයය. නරඹන අයට කියන්නට ඇත්තේ ජවිපෙ ඉස්තාලයේ දැන් අශ්වයන් නැති නිසා දොර ඇර තිබුණද වසා තිබුණද ප්‍රතිඵලයක් නැත කියාය.

2 Comments Add yours

  1. අනුර නොදන්නවා වෙන්න පුලුවනි කුමාර්ව.

    😉

    මොකද අනුර 2010 දී අර්ජුන එක්ක සිඩ්නි ඇවිල්ලා තියපු රැස්වීමට කුමාර් ආවේ නෑ. පස්සේ කුමාර් පක්‍ෂෙන් ඛැඩුනට පස්සේ අණුවර මෙල්බර්න් ඇවිල්ලා සිඩ්නි නොඇවිත් ගියා!

    Liked by 1 person

    1. ඔව්නෙ. හැබැයි වෙබ් එකක ගහලා තිබුනා අනුර මීට කලින් සත්‍යාගාරය ප්‍රෝගෑම් එකට ඇවිත් කුමාර් තමන්ගේ පක්ෂයේ හිටියා කියලා කියනවා.

      Like

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.