මෙලොව පරලොව යා කළ පරණ අත්දැකීම. (හාහාහා)

එක්තරා දවසක ටැක්සියකට ගොඩවැදුනා මහත්මයෙක්. ඔන්න ඉතිං ගමන යනවා. හැල හොල්මනක්, සද්දයක් බද්දයක් නැතුව රියදුරා තමන්ගේ පාඩුවේ සුක්කානම කරකනවා. ඔය අතරේ හදිසියේම යමක් මතක් වෙලා ඒ ගැන අහන්න හිතාගෙන ඉස්සරහට නැඹුරු වෙලා මහත්තයා රියදුරාගේ කරට පොඩි තට්ටුවක් දැම්මා විතරයි…!!

හත්වලාමයි! ඒ පොඩි තට්ටුවට රියදුරා කොච්චර කලබල වුනාද කියනවානම් සියලු බාධක වාරණ අණ පනත් බිදගෙන දැන් ටැක්සිය පාර පුරා සී සී කඩ යනවා, දැන් මේ මනුස්සයට වාහනේ පාලනය කරගන්නත් බෑ. මිනිස්සුත් හප්පගෙන, බස් එකකත් ඔන්න මෙන්න කියලා වද්දගෙන, මහපාරෙන් පැනලා අන්තිමේදි ලයිට් කනුවක ඇනගෙන තමයි වාහනේ අන්තිමට නතර වුනේ.

ඒ නැවතිලත් තත්පර දහයක පහලොවක වගේ නිහැඩියාවකට පස්සේ තමයි රියදුරායි මහත්තයි ආපහු අහසින් පොලොවට පාත්වුනේ. මහත්තයා තවමත් සීට් එක බදාගෙන.

“ආපහු කවදාම හරි ඔබතුමා මගේ වාහනේට ගොඩවුනොත්, මෙන්න වැන්දා මහත්තයෝ. ඔය වැඩේ නම් කරන්න එපා“. රියදුරාගේ කටහඩ තාමත් වෙව්ලනවා.

තමන්ගේ වැරැද්දට කීප වතාවක්ම සමාව ඉල්ලලා මහත්මයා මෙහෙම කිව්වා. “අනේ මම කීයටවත් හිතුවේ නෑ ඔය පොඩි තට්ටුවට ඔහේ එච්චර කලබල වෙයි කියලා“.

එතකොට දෙපාරක් වටපිට බලලා රියදුරා මෙන්න මෙහෙම කිව්වා. “මහත්තයා දන්න බිබික්කම! අද තමයි මම මේ හා හා පුරා කියලා ටැක්සියක් පදින්නේ. පහුගිය අවුරුදු 25 තිස්සෙම මම පැද්දේ මල් ශාලාවේ මිනී කාර් එක“.

Leave a comment