ඡන්දෙ දෙනවා…ද?


බස් එකේ කොන්දා ඉතුරු රුපියල් දෙක නුදුන්නම ඌට හොරාය කියලා බනින්න කොන්ද පණ තියෙන උඹ, පාර්ලිමේන්තු මන්ත්‍රීලා, ඇමතිලා, ජනාධිපතිවරු, උංගෙ මල්ලිලා, පුත්තු කෝටි ගණන් හොරකම් කරනකොට නොදැක්කා වගේ ඉන්නවා.

ට්‍රැ‍ෆික් එකක් අස්සෙ වාහන අස්සෙන් අස්සෙන් දදා, ඉර කපලා ඕවර්ටේක් කරන ත්‍රීවිල්කාරයට වාහනේ ශටර් එක ඇරලා “කොහෙද හු*** යන්නෙ?!” කියලා අහන්න උඹ බය නෑ. ඒත් ඇමතිලා සැර දාගෙන පාරවල් වහගෙන, මිනිස්සුත් යටකරගෙන යනකොට යනකොට මීක් නොකියා ඉන්න උඹ පුරුදුවෙලා තියෙනවා.

බස් එකේ ඉස්කෝලෙ යන ගෑණු දරුවෙක්ට ජැක් ගහන්න යන ජැක්සන් කෙනෙක්ගෙ අංගජාතෙ මිරිකලා එළියට දාන්න උඹ දෙපාරක් හිතන්නෙ නෑ. ඒත් මන්ත්‍රීලා අවුරුදු දොළහෙ, දාසයෙ ගෑණු ළමයි දූෂණේ කරනකොට, අර බලුකායෙන් මේ බලුකායෙන් උස්සන් යනකොට උඹ උඩ බිම බල බලා ඉන්නවා.

සිගරට් පැකට් වලට රූපමය අවවාද දාන්න කියලා රජයට බලකරන්න පෙත්සම් අත්සන් කරපු උඹ, ටෙලියක, ‍ෆිල්ම් එකක බොන, දුමක් උරන සීන් එකක් ආවම ළමයි ඒවා බලන් ඉඳලා පුරුදුවෙයි කියලා චැනල් මරු කරනවා. එහෙව් උඹ රට පාලනය කරන ලොක්කො එතනෝල් කන්ටේනර් පිටින් ගේනකොට, පාර අයිනෙ තියාන කුඩු විකුණනකොට ඔහේ කට පියාන ඉන්නවා.

කැම්පස් එකේදි කොපි කරන උං ගැන හොරෙන් ගිහින් ලෙචාලට ප්‍රොපාලට කේලම් කියපු උඹ, රටේ මහතැන්ලගෙ කොල්ලො හොර කොපි ගහලා විභාග පාස් වෙනවා, හොර උපාධි ගන්නවා ඔහේ බලාන ඉන්නවා.

එහාගෙදර ජනේලෙකින් ගේ ඇතුලට අත දාලා මේසෙ උඩ තිව්න මාලෙ හොරකම් කරගෙන ගිය එකාව ගමම එකතුකරලා වටකරගෙන තඩි බාපු උඹ, ආණ්ඩු කරවන උං රාජ්‍ය ආයතන කොල්ලකනවා බලාගෙන ඉන්නවා.

පාරෙ තොටේදි, ඉස්කෝලෙදි, ගමේ වැඩ වලදි, රස්සාව කරන කන්තෝරුවෙදි අසාධාරණයට විරුද්ධව නැගිටින උඹ, හෙටත් ගිහින් හොරුන්ට, කුඩුකාරයින්ට, මංකොල්ලකාරයින්ට, ස්ත්‍රී දූෂකයින්ට ඡන්දෙ දෙනවා…ද?
( උපුටා ගැනීම : Amanda Abeysooriya )

ප්‍රතිචාරයක් ලබාදෙන්න