මේ දින වල පල වෙන කාටූන් වලට අනුව යහපාලනය පටන් ගන්නේ හා ඉවර වන්නේ මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපති තුමා ගෙනි. එය වැරදි මතයකි. යහපාලනය යනු එක් පුද්ගලයෙකු නොවේ. අවුරුදු ගණනාවක සිට  නිර්වින්දන කර තිබූ ජාතියක් අවදි කිරීම එක් පුද්ගලයෙකුගේ වගකීම නොව සාමූහික වගකීමකි. යහපාලනය යනු කොයි ආණ්ඩුවක් යටතේ වුවත් තම රාජකාරිය කිරීම සඳහා සැදී බැදී සිටින රජයේ නිලධාරීන්ගේ වගකීමයි.  යහපාලනය යනු සිවිල් සමාජයේ සමාජයේ සංවිධානාත්මක කොටස් මෙන්ම යහපත් සමාජයක් අපේක්ෂා කරන පුද්ගලයන්ගේද වග කීමයි.  නමුත් මැතිවරණයක් සඳහා නාම යෝජනා බාර ගැනෙමින් තිබෙන මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ වල, විශේෂයෙන්ම යහපාලනය පිළබඳව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  වග කීම ගැන  මුලින්ම කතා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

පසු ගිය ජනාධිපති මැතිවරණයේදී අලජ්ජි ලෙස මැතිවරණ නීති කැඩු  පක්ෂයක් ලෙස යහ පාලනය නැවතත් ඇති කිරීම පිළබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුවිශේෂ වගකීමක් ඇත. ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ මුදලින් මැතිවරණ කාලයකදී නීති විරෝධී ලෙස පක්ෂ නායකයා ජයග්‍රහණය කිරීම සඳහා සිල් රෙදි බෙදුවේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයයි. සමෘධි ලාභීන්ගේ මුදලින්ම ඒ අයට හට්ටි මුට්ටි තෑගී කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේඅපේක්ෂකයා වෙනුවෙනි. පාඩු ලබන ලංගමයේ  බස් අයථා ලෙස යොදා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම පවූ සමා කර ගැනීමේ ඓතිහාසික  වග කීම මේ මොහොතේ එම පක්ෂය සතුය.

පක්ෂයක්  යනු සභාපතිවරයාගේ අභිලාෂය ක්‍රියාත්මක කරවන යාන්ත්‍රනයක් නම් එය යහපාලනය නොවේ. දුක්ෂරතා මධ්‍යයේ හෝ ඉදිරි  දින කිහිපය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති ලේකම් ඇතුළු පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය විසින් යහපත් නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ යන්න බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව  අවුරුදු 18 ට නොඅඩු  හා පසු ගිය අවුරුදු හත ඇතුලත අපරාධයකට වරද  කරු නොවුණු ඕනෑම පුරවෑසියකුට චන්දායකු වීම සඳහා වරම ලැබේ. රජයේ හෝ ආණ්ඩුවේ යම් යම් තනතුරු හොබවන්නන්ට හැර ඒ ඕනෑම චන්ද දායකයකුට මැතිවරණයකදී අපේක්ෂයකු ලෙස ද  ඉදිරිපත් විය හැක.

මාර්තු 12 ව්‍යාපාරය විසින්  එලි දැක්වුණු සාරධර්ම පද්ධතිය නීතියෙන් ක්‍රියාත්මක කළ හැක්කක්  නොවේ. මත පැන් වෙළදාමේ යෙදීම හෝ කැසිනෝ පවත්වා ගෙන නීති විරෝධී නොවේ.  එතනෝල් හොරට ආනයන කිරීම හෝ කුඩු වෙළදාමේ යෙදීම ගැන තවම කිසිම දේශපාලඥයකු වරද කරු වී දඩුවම් ලබා නැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චන්ද නීති කැඩුවේ මුළු රටටම පෙනෙන්නටය. නමුත් ඔහු එය සිදු කලේ දේශපාලනකරණීය වූ නිලධාරී යාන්ත්‍රණයක් හරහාය. ඒ නිසා කිසි දිනක ඔහු පුද්ගලිකව  වරදකරුවකු වී දඩුවම් ලැබීමක් සිදු නොවන ඇත. මේ තත්වයන් යටතේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඇතුළු පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයට ඇත්තේ  සදාචාරාත්මක වග කීමක් පමණය. හෘද සාක්ෂිය මත පදනම් වූ වග කීමක් පමණය. එම වග කීම කොතරම දුරට එම පක්ෂය විසින් කොතරම දුරට ඉටු කරන්නේ දැයි අපට අද හෙටම දැක ගන්නට හැකි වනු ඇත.

රාජ්‍ය නිලධාරීන්

යහ පාලනයසඳහා වැඩිම වගකීම ඇති කණ්ඩායම රජයේ නිලධාරීන්ය. ඉඳ හිට හෝ අපට ඒ බව මතක් කර දෙන්නේ මැතිවරණ දෙපාර්මේන්තුවයි.

පසු ගියදා පැවැත් වූ ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී මැතිවරණ කාලය තුල රජයේ දේපල එම මැතිවරණ කටයුතු සඳහා අපහරණය කිරීමට ඉඩ සලසන නිලධාරීන්ට අවුරුදු තුනක සිර දඬුවමක් හිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් තුමා විසින් දන්වා සිටියේය. ආයතන සංග්‍රහය මගින් රජයේ නිලධාරීනට  පවරා ඇති වගකීම ඉටු කිරීමට ඔවුන්  බැදී ඇති බවත් ඉහලින් ලැබූ අනසක අනුව තමන් ක්‍රියා කළ බව දන්වා සිටීමට ඔවුනට නොහැකි බවත් එතුමා  විසින් මතක් කර දුන්නේය.

මැතිවරණ සමයේ පමණක් ඕනෑම තත්වයක් යටතේ රජයේ දේපල අපහරණය කිරීමට සැලසීම  රජයේ නිලධාරියා වීසින් දඩුවම් ලැබිය හැකි වරදකි. ආයතන සංග්‍රහය මගින් ඔවුනට පවරා ඇති වගකීම ඉටු කිරීමට රජය නිලධාරීන් නීතියෙන් බැදී ඇත. ඉහලින් ලැබූ අනසක  අනුව තම ක්‍රියා කර බව දන්වා සිටීමට ඔවුනට නොහැකිය.

රජයේ මුදල් අපහරණයේ දී චෙක් පතට අත්සන තැබීම මන්ත්‍රී වරයා හෝ ඇමති වරයාට කළ නොහැකිය. පෑන අතට ගෙන එම අත්සන තැබීමේ හෝ නොතැබීමේ තීරණය එම නිලධාරියා සතුය.

සිවිල් සමාජය

යහ පාලනය යනු ක්‍රියාවලියකි. පූර්ණ කාලීන වගකීමකි. එය පිළිබඳව  විමසිල්ලෙන් සිට  නිරන්තර අරගලයේ යෙදිය හැකි කණ්ඩායම් දෙකක් ඇත. ඒ ශිෂ්‍යයන් හා පූජ්‍ය පක්ෂයි . අද ශිෂ්‍යයා හෙට කුටුම්බයකට වගකියන වැඩි හිටියකු වේ. ඒ තැන ගැනීමට වෙනත් තරුණ තරුණියෝඑක් වෙති .පූජ්‍ය පක්ෂයයනු  ප්‍රජාව  යහ මගට ගෙන යාමේ නියාමකයින් ලෙස ප්‍රජාව විසින් පවත්වා ගෙන යන කාණ්ඩයකි. 

අනිකුත් හුදී ජනයාට සංවිධානාත්මකව පොදු කටයුතු වල යෙදීම  සඳහා මුදල් අවශ්‍ය ය. වෙනත් පුද්ගලික හා සාමාජීය වගකීම් මැද්දේ සමාජ කටයුතු වල යෙදීම් ලෙහෙසි නැත. ඒ බව අලුත් පරපුර ලෙස හැදින්වෙන කණ්ඩායමක තරුණ නායකයකු මෑතකදී ප්‍රකාශ කරේ හැගුම් බරවය.  

ජනාධිපති

දේශපාලඥයින්ගෙන් සමන්විත ආණ්ඩුව හා නිලධාරීන්ගෙන් සමන්විත රාජ්‍යය අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම් මුල් පුරුක ජනාධිපතිවරයාය. ඊට අමතරව දේශපාලන පක්ෂයක සභාපති කම දැරීමේ අමතර වගකීමද ඔහු දරයි. වෙනත් කිසිම ජනාධිපතිවරයකුට වඩා සිවිල් සමාජයේ හොඳහිතද  එතුමාට අවශ්‍යය ය. වෙනසක් කරා යන ගමන ලෙහෙසි නැත. ඉතාලියානු දාර්ශනිකයකු වන අන්තෝනියෝ  ග්රෑම්චි පැවසූයේ “the old is dying and the new cannot be born; in this interregnum a great variety of morbid symptoms appear” යන්නය.  කුණු වන අතීතය වල දමා නැවුම් අනාගතයක් බිහි කිරීමට විලි වදින මේ ගමනේදී නොයෙකුත් විපරීත තත්වයන්ට මුහුණ දීමට ජනාධිපති තුමාට සිදු වේ. ඒ සදහා එතුමාට අවශ්‍ය දහිරිය ශක්තිය  ලැබේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.