හිතුවක්කාර ජීවිතය 03 – අාච්චිලා තරහ වෙලා…

හිතුවක්කාර ජීවිතය 02 මෙතැනින්…

au-1

පසුගිය සතිවල හිතුවක්කාරයා එක්ක යාළුවෙක් කිව්වා මෙහෙම,

‘‘මචං, මේ කතාවෙ කිසිම රතු ගතියක් නෑනේ. “

ඔව්, මං මුලින්ම කිව්වා වගේ හිතුවක්කාරයා රතු වෙන්නේ මීට අවුරුදු 6-7කට කලින්. (ඒ ගැන මෙතැනින්) ඉතිං මේ හිතුවක්කාරයා පුංචි අවධියේ එයාගේ සිතුවිලි, අත්දැකීම් සේරම මේ සමාජයේ සාමාන්‍ය ජන සංස්කෘතිය එක්ක බැඳිච්ච ඒවා. එහෙම සිතුවිලි ලෝකයක් වටා තමා මේ කතාව දැන් එතෙන්නේ.

හිතුවක්කාරයාගේ පවුල් පසුබිම ගැන මං කියලා තියෙනවනේ. මේ කියන්න යන්නේ හිතුවක්කාරයගේ ආච්චිලා, සීයලා තරහ වුණු කතාව. හිතුවක්කාරයගේ අම්මත් හිතුවක්කාර ජීවිතයක්, එයාගෙ අම්ම (හිතුවක්කාරයගේ ආච්චි)ට  අනුව. මොකද හිතුවක්කාරයාගේ අම්මා කියන්නේ කසාද බැඳලා වෙන්වෙලා ඉන්න මනුස්සයෙක් (ඒ ගැන අපි පස්සේ කතා කරමු.) එක්ක සම්බන්ධයක පැටළුණු ගැහැනියක්. ඇය වැඩ කරපු බිස්කට් පැක්ටේරියේ අයිතිකාරයත් එක්ක.

ඒ සම්බන්ධෙ රාගික සම්බන්ධයක් විතරද? එහෙමත් නැත්නම් අධ්‍යාත්මික සම්බන්ධයක්ද කියලා මතුපිටින් පෙනෙන කරුණු අනුව විග්‍රහ කරන්න යෑම බරපතල මුලාවක්. ඒ නිසා ඒ කාරණේ ගැන හිතුවක්කාරයාට තියෙන්නේ උදාසීන හැඟීමක්.

කොහොම වුණත් මේ සම්බන්ධයට හිතුවක්කාරයගේ ආච්චි, සීයා විතරක් නෙමෙයි මාමලා ඇතුළු නෑදෑ සනුහරේම බරපතලෙටම විරුද්ධතාවය ප්‍රකාශ කරලා. කසාද මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් පවත්වන කෙල්ලෙකුට ආසියාතික රටක පවුලක් විරුද්ධ නොවී ඉඳීද නේද?.

ඉතිං ඔය විදියට විරෝධතා මැද මේ සම්බන්ධය දිගටම ගියා. මේ දෙන්නා විවාහ වුණා. මේ විවාහයෙන් පස්සෙ හිතුවක්කාරයාගේ පවුලේ අය (අම්මා, අයියලා දෙන්නා, අක්කලා දෙන්නා, මල්ලී) හිටියේ මහගෙදර එක් පැත්තක. අනිත් පැත්තේ ආච්චි, සීයා, මාමලා දෙන්නා. මේ ගෙදර මැදින් වෙන්කෙරුණු බිත්තියකින් සියලු සබඳතා අවහිර කරලා තිබුණා. මේ බිත්තියට සවිකෙරුණු දොරත් වසා දමා තිබුණා.

ගැහැණියකට ඇගේ ජීවිතය තීරණය කරන්නට බැරිද?. දික්කසාද පිරිමියෙකුට ආලය කිරීම වරදක්ද?

ආසියාතික සමාජ පසුබිමට අනුව මේක යම් සමාජ පිළිකුලකට භාජනය වෙන කටයුත්තක්. පෞද්ගලික දේපල අයිතිය රැකගැනීම සදහා ඇතිවෙච්ච ඒක භාර්යා සංකල්පයට මරු පහරක්.

ඒ නිසාම හිතුවක්කාරයාගේ තාත්තාට තමන්ගේ දූදරුවෝ එක්ක ජීවත්වෙන්න තියෙන අයිතිය නැතිවෙනවා. ඔහු තමන්ගේ බංකොළොත් වුණු බිස්කට් ව්‍යාපාරය හැරදමා කොළඹ ගෙන්දගම් පොළවට පෙම් බඳින්න පටන් ගන්නවා. මේ කාලයේ හිතුවක්කාරයාගේ අම්මා ඇලුම් කම්හලක ජුකී මැෂිමක් සමග ජීවිත 07ක අනාගතය සරිකිරීම උදෙසා පොරබදන්නට පටන් ගන්නවා.

මේ සියල්ල අතරේ විස්කෘත පවුල බිදමා න්‍යෂ්ටික පවුල ගොඩනැගූ බර්ලින් තාප්පය බලා හිඳිනවා. හිතුවක්කාරයා කවදාවත් නොදුටු බටහිර ජර්මනිය දැකගන්නට හීන මවමින් ඉන්නවා.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.