සිංහල බෞද්ධ කරන්දෙනිය හා ප්‍රාග්ධනය ගමට ඒම.

83057703



චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී යූඑන්පියේ දාහත් වසරක සාපය අවසන් කරමින් ජනාධිපති වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ එල්ටීඊඊය හා සාකච්ඡාමය විසදුමකට ඒමට හොද හිත ඇතිකර ගැනීමේ පදනමක් ලෙසයි. ඉතා ටික කලක් පැවති ඒ හොද හිත ඇති කිරීමේ උත්සාහය පුපුරා ගියේ එල්ටීටීඊය විසින් ත්‍රිකුණාමළයේ දී නාවික බෝට්ටුවකට පහර දීමෙන්.

ඒ පහරදීමත් සමග දකුණේ ජනයා තුළ කේන්තිය වෙරය හා ක්‍රෝධය පුපුරා යෑම ඇරඹුණේ අලුත් වටයකින්. එදා ඇල්පිටිය බස් නැවතුම් පළේ දී මට හමුවූ මිත්‍රයකු කතා කළේ ද දකුණේ සිංහල බෞද්ධ කෝපයේ හරස් පැතිකඩක් නිරූපනය කරමින්.
” සිංහල බෞද්ධ රට මුං විනාශ කරනව.සටන් විරාමයක් කියල මගුලක් ගෙනහල්ල හැමදාම කොටිය ශක්තිමත් කරනව. දැන් පේනවනෙ ගෙනාපු සාමෙ. අපේ කොල්ලො ටික මැරෙන එක විතරයි”

මිත්‍රයගෙ කතාවට මා මද සිනහවක් පෑවෙ උපේක්ෂා සහගතව.

මිත්‍රයට කේන්ති ආව. “ඇයි සද්දෙ නැත්තෙ” ” මේ විනාස වෙන්නෙ සිංහල බෞද්ධ රට බං”

මම ටිකක් හිනා උනා. හිනා වෙල කිව්ව ” නෑ බං මේ විනාස වෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම රට.” කියල.

මගේ මිතුරාගේ මුහුණ අදුරු උනා. ඇස් දෙක රතු උනා. කුල පීඩිතයෙක් වන මගේ මිතුරා ඉන් ඔබ්බට මුකුත් කිව්වෙ නෑ. හිත පෑරිච්ච මිනිහෙකුට තවදුරටත් මුකුත් කියන්න මා හිතුවෙත් නෑ. ඒත් මිතුරා යන්න ගියේ යමක් තේරුම් ගත් අයුරකින්.

ගාල්ල කියන්නෙ විවිධ කුල වලට අයත් ජන මිශ්‍රණයකින් යුත් දිස්ත්‍රික්කයක්. ගොවිගම, කරාව, සලාගම, වහම්පුර ආදී වශයෙන් ප්‍රධාන කුල වලට අමතරව තවත් කුල ගණනාවක් දිස්ත්‍රික්කය පුරාම විසිරී තියෙනවා. මුහුදු බඩ තීරයේ බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම, ගාල්ල හා හබරාදූව කරාව,සලාගම හා වෙනත් කුලයන් නියෝජනය කරන අතර රට අභ්‍යන්තර ප්‍රදේශ වල සිටින්නේ ගොවිගම ජනතාවයි. ඒ අතුරින් කරන්දෙනිය වහම්පුර ජනයාගේ ප්‍රදේශයක්.81243348

කරන්දෙණිය ප්‍රදේශය හරහා යන එනවිටත් ඇල්පිටිය රජයේ රෝහලින් ලැබුණ ආරංචි අනුවත් ඒ දවස් වල ඇහැට කණට දකින්නට අහන්නට ලැබුනෙ ශෝකජනක සිද්ධීන්. එක්කෝ කුරුදු කැත්තෙන් කපල මරල, එහෙම නැත්නම් සිය දිවි නසා ගන්න ඇසිඩ් බීල, ඇළක ගගක පැනල, දබර කර ගැනීම්, කළකෝලාහල මෙකී නොකී කී විදිහට වාර්තා වුනේම ශෝකජනක හා සමාජීය වශයෙන් කනගාටුදායක සිද්ධීන්. ඒ වගේම ළමා මරණ, දුප්පත්කම, මන්දපෝෂණය, නිරක්තිය වැනි සමාජ නිර්ණායක සසදා බැලූ විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් නරක වාර්තා ලැබුනෙත් කරන්දෙණියෙන්.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙක වන්නේ ඌරගස්මන්හන්දිය හා මහේදණ්ඩයි. ඌරගස්මන්හන්දිය යම්තරමක භෞතික දියුණුවක් ලබා තිබුණ ද මේ මැතක් වනතුරුම මහේදණ්ඩ පැවතියේ පිළිකන්නක් පරිද්දෙන්. පොලීසිය, රෝහළ වැනි රාජ්‍ය සේවා සපයන ආයතනයන් හැරෙන්නට ආර්ථිකමය වශයෙන් වැදගත් වෙනත් කිසිම රාජ්‍ය ආයතනයක් කරන්දෙණියේ තිබුනේ නෑ. විදුලිය බල පහසුකම් ද බැංකු පහසුකම් ද කරන්දෙණියේ ජනතාවට ලැබුනේ නෑ.

1977 දී මැතිවරණ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ දී කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශය ඇති කළේ වහම්පුර ජනයා බහුතරයක් ජීවත් වූ ප්‍රදේශ එකට එක් කරමින්. ඉන් අනතුරුව පැවති 1977 මහා මැතිවරණයේ දී කරන්දෙණියේ මන්ත්‍රීවරයා බවට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ බන්දුල සේනාධීරට හෝ ඔහුගේ අකල් මරණයෙන් මන්ත්‍රී ධූරයට පත්වූ ඔහුගේ බිරිද දයා සේපාලී සේනාධීරට හෝ කරන්දෙණියේ සමාජ ප්‍රශ්න වලට විසදුමක් තිබුණේ නෑ. 1988 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ද 1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ද කිසිම පක්ෂයක් නියෝජනය කරමින් කරන්දෙණියෙන් මහජන නියෝජිතයකු තේරී පත් නොවීම මේ සමාජ ගැටළු තව තවත් ත්‍රීව්‍ර කළා.

hon-mp-rese

මේ තත්වය තුළ විපක්ෂයේ දේශපාලන කටයුතු පමණක් නොව පාලක යූඑන්පීයේ දේශපාලන කටයුතු ද කරන්දෙණිය ප්‍රදේශයේ පැවතියේ මහත් අර්බූදයකයි. 1989 සිට එක්සත් ජාතික පක්ෂ කරන්දෙණිය සංවිධායක වූ ජයන්ත ජයවීරට වඩා ආකර්ශනීය නායකත්වයක් ප්‍රදේශයට ලැබුණේ ගුණරත් වීරකෝන්ගෙන්. ජයන්ත වැඩි කලබලයක් නොමැති සන්සුන් පුද්ගලයකු වූ අතර වීරකෝන් කට සැර ක්‍රියාකාරී ගැම්මකින් යුතු අයෙක්. ජයන්තගේ නිවුණු ස්වරූපයට වඩා වීරකෝන්ගේ නොදැමුණු ස්වරයට ලැබුනේ ලොකු ආකර්ශනයක්. 1992 වනවිට යූඑන්පී විරෝධී දේශපාලනය මේ හැම ප්‍රදේශයකම තිබුණේ මෝදු වෙමින්. ඒ වනවිට ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්යවරයා වූ ගුණරත්න වීරකෝන් කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් වුණා. වහම්පුර ජනතාවගේ බහුතරය රැදුන කරන්දෙණියට ගුණරත්න වීරකෝන්ගේ නායකත්වය ලබාදුන්නේ ලොකු ගැම්මක්.ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඔහු ගුරුවරයකු ලෙස සේවය කිරීමෙන් ද ලැබූ පෞර්ශ්වය ඇල්පිටිය ප්‍රදේශයේ සමාජ පදනමක් ගොඩ නගා ගැනීම සදහා වීරකෝන්ට ලබාදුන්නේ ලොකු හයියක්. එමෙන්ම ඒ වනවිටත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නොයෙල් පත්මසිරි කාරියවසම්ව ඇල්පිටියේ ජනතාව විසින් පිළිකුල් කිරීමත් වීරකෝන්ට ලබාදුන්නේ ගැම්මක්. ඒ අනුව 1993 දකුණු පළාත් සභා මැතිවරණයෙන් පරාජිත වුවත් 1994 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ගුණරත්න වීරකෝන් පළාත් අමාත්‍ය ධූරයක් ද ලබා ගත්තා.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශය සාපේක්ෂව කුඩා ප්‍රදේශයක්. බෙන්තර ඇල්පිටිය, බද්දේගම, හිනිදුම වැනි විශාල ඡන්දදායක පිරිසක් ජීවත් වන මැතිවරණ බල ප්‍රදේශයන්ට සාපේක්ෂව කරන්දෙණියේ ඡන්දදායක පිරිස අඩුයි. ඒ නිසා කරන්දෙණියේ වහම්පුර ජනතාවගේ ඡන්ද වලින් පමණක් පාලිමේන්තු යෑමට හෝ පළාත් සභාවට යෑමට හෝ බෑ. ගුණරත්න වීරකෝන්ට පළාත් සභාවට යෑමට අවශ්‍ය අඩු ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ බෙන්තර ඇල්පිටියෙන්.

එහෙත් ගුණරත්න වීරකෝන්ගෙ දේශපාලනයට කුල සාධකය බලපෑම් කරන්නට වැඩි කල් ගියේ නෑ. කුලය අභිබවා දේශපාලනයක යෙදීමට ඔහුට අවශ්‍ය වුවත් තම ආධාරකරුවන්ගේ නොදියුණු ආකල්ප ඊට බාධා කළා. “අපේ උන්ට සලකන්නෙ නැතිව ගොවිගම උන්ට සලකන්නෙ ඇයි” යන ප්‍රශ්නය හමුවේ ගුණරත්න වීරකෝන් මුහුණ දුන්නේ ලොකු අභියෝගයකටයි. 1993/94 වකවානුවේ ඇල්පිටියේ ජනතාව සමග ඔහු ගොඩ නගා ගත් සම්බන්ධතා ක්‍රමයෙන් බිද වැටීමට වැඩි කල් ගියේ නෑ. එසේම කාරියවසම්ලා වෙනුවට ඇල්පිටියේ ජනතාවට විකල්පයක් ලැබීමත් මේ සබදතාව බිද වැටීම තීව්‍ර කළා.

තමන්ට අහිමිවන ඡන්ද පදනම හමුවේ තම බල පදනම් අලුතින් ගොඩ නගා ගැනීමට තරම් ගුණරත් වීරකෝන් දක්ෂයකු වීම ඇත්තටම අගය කළ යුත්තක්. ඇල්පිටියෙන් ඔහුට අහිමි වූ ගොවිගම ඡන්ද වෙනුවට අම්බලන්ගොඩ, රත්ගම හා බලපිටිය ප්‍රදේශයන්හි කරාව හා සලාගම ඡන්ද පදනම් ඔහු විසින් තහවුරු කර ගත්තේ තමා දැරූ පළාත් ධීවර ඇමති ධූරයේ ශක්තියෙන්. 1999 දී නැවතත් පළාත් සභා මැතිවරණයේ දී මෙන්ම 2004, 2010 පාර්ලිමේන්තු මහා මැතිවරණයන්ගෙන් ද ගුණරත්න වීරකෝන් ජයග්‍රහණය කළේ එසේ ගොඩ නගා ගත් ඡන්ද පදනම් වලින්. රාජපක්ෂ රෙජීමය තුළ කැබිනට් අමාත්‍ය ධූරයකට ජනාධිපති මහින්ද විසින් ඔහුව ඔසවා තබන්නේත් දෙදෙනා අතර ඉපැරණි මිත්‍රත්වයක ප්‍රතිඵලයක් ලෙසින්.

1994 දී පළාත් අමාත්‍යවරයකු ලෙස කරන්දෙණිය සංවර්ධනය කිරීමට මූලික වූ ගුණරත්න වීරකෝන් ඉඩම් බෙදා දීම, නිවාස සාදාදීම, රැකියා සැපයීම වැනි සම්ප්‍රදායී මහජන නියෝජිතයකුගේ කාර්යභාරය ඉටු කිරීමෙන් ලබා ගත්තේ ලොකු සාර්ථකත්වයක්. ඒ අනුව නිවාස 1000 ක් ඉක්මවන ගම්මාන දෙක තුනක්ම අලුතින් ඇති කළ අතර මහා මාර්ග, ක්‍රීඩාංගන වැනි යටිතල පහසුකම් ද පාසැල් පද්ධති හා පාළම් ආදිය ද ඉදිකරමින් කලක් පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණිය ප්‍රදේශය භෞතික වශයෙන් ඔසොවා තැබූවේ ලොකු උසකින්.

ඒ භෞතික සංවර්ධනය ජන ජීවිතයට ද ලොකු ගැම්මක් ලබාදුන් නිසාදෝ සමාජ තත්ත්වයේ එදා තිබූ පිරිහීම අද වනවිට සෑහෙන දුරකින් අවම මට්ටමකට ඇද වැටී අවසන්. නව ලිබරල් ආර්ථිකය නිසා ඇතිවන ඇති නැති පරතරය හා වෙනත් සමාජ ගැටළු සම්බන්ධයෙන් කරන්දෙණියත් පවතින්නේ අනෙක් ප්‍රදේශ හා සම මට්ටමක යන්න සත්‍යයක්. ඒත් කුල පීඩනය නිසා සමාජයේ පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණියට අලුත් ආලෝකයක් ලැබී ඇති බව සැගවිය නොහැක්කක්. සාපේක්ෂව බැලූ විට එදා කරන්දෙණියෙන් වාර්තා වූ මනුෂ්‍ය ඝාතන, සිය දිවි නසා ගැනීම් හා ඒවා සිදු කර ගැනීමේ දී යොදා ගත් අති අමානුෂික උපක්‍රම දැන් වාර්තා නොවන තරම්.

1977 දී තිබූ සමාජ වටපිටාව හා සංසන්දනාත්මකව බැලූ විට යම් ඉහළ මට්ටමක කරන්දෙණියේ ජන ජීවිතය පවතින්නේ වැදගත් සාධක දෙකක් මත යැයි පවසන්නට පුලුවන්. 1978 දී ලෝකයට ශ්‍රී ලංකාව නිරාවරණය වීමත් සමග ගලා ආ ප්‍රාග්ධනය ඊට එක් හේතුවක්. කුල සාධකය මත පදනම් වෙමින් සම්ප්‍රදායිකව කරගෙන ආ කුරුදු නිෂ්පාදනයට ඉහළ වටිනාකමක් ලැබීමත් ලෝක වෙළෙද පළේ විවෘත වූ රැකියා අවස්ථා තුළ කරන්දෙණියේ රැකියා වියුක්තිය අඩු වීමත් මේ ප්‍රදේශයේ ආර්ථිකයට ලොකු අස්වැසිල්ලක්. එසේ ගලා ආ විදේශ විනිමය නිසා කරන්දෙණියේ ආර්ථිකය ලැබුවේ ලොකු ජවයක්. ඒ නිසා කාලයක් පුරා මුළුගැන්වී තිබූ කරන්දෙනිය ආර්ථිකමය ලෙස ලැබූවේ ප්‍රබෝධයක්.

ගුණරත්න වීරකෝන් අමාත්‍යවරයකු ලෙස මැදිහත් වී රාජ්‍ය ප්‍රාග්ධනය කරන්දෙණිය කරා ගලා ඒමට සැලස්වීමත් අමතක කළ නොහැක්කක්. විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් මගින් වාර්ෂිකව විශාල මුදලක් පොම්ප කිරීම ප්‍රදේශීය සංවර්ධනයේ දී වැදගත් සාධකයක්. මහජන නියෝජිතයකු නොමැතිවම කාලයක් පුරා පසෙකට වී තිබූ කරන්දෙණියට එසේ රාජ්‍ය ප්‍රාග්ධනය ගලා ඒම භෞතික සංවර්ධනයේ ලා සපයන්නේ ප්‍රබල දායකත්වයක්. එසේ රාජ්‍ය ප්‍රාග්ධනය කරන්දෙනිය කරා ගෙන ඒමේදී පැවති විවිධ බාධා ජය ගැනීමට ගුණරත්න වීරකෝන් සතුව තිබූ නොදැමුනු ස්වරය ද එක් සාධකයක්. වරක් රාජ්‍ය ආයතනයකට අයත් ඉඩම් මහජනතාවට බෙදාදීමේ දී අනුගනය කළ අනීතික ක්‍රමවේදයට බාධා කළ රාජ්‍ය නිලධාරියා නිහඩ කළේ ඔහුගේ හිසට පිස්තෝලයක් තැබීමෙනුයි. ඒ අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමය ද කරන්දෙණියේ සංවර්ධනයේ එක් පදනමක්.

ගෝලීය ප්‍රාග්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් නොතකා හැරීම ප්‍රබල සමාජ ගැටළු ඇති කළත් කරන්දෙනියේ වත්මන් ප්‍රබෝධයට ඒ සාධක දෙක විසින්ම දැරුවේ ලොකු අත්වැලක්. ගෝලීය ප්‍රාග්ධනය කරන්දෙණියේ අස්සක් මුල්ලක් නෑර ගලා ගිය නිසා වැඩවසම් කුල සාධකය අවලංගු කරමින් ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් ලෙස සමාජය ඉදිරියේ අභිමානයෙන් නැගී සිටීම සදහා එහි ජනතාවට ලැබී ඇත්තේ ලොකු අවස්ථාවක්. එසේම වෙනස් නොවූ රාජ්‍ය පාලන ක්‍රමවේද වෙනස් කරමින් තීරණ ගැනීමේ ලා ජනතාවට වාසි සහගත ලෙස ක්ෂණික පෙළබීමක් ඇති කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ග හා ආකල්ප මගින් ලබා දී ඇති ශක්තිය ද නොතකා හැරිය නොහැක්කක්.

යුග ගණනාවක් පුරා කරන්දෙනියේ ජනතාව පීඩනයට පත් කළ කුල සාධකය යම් තරමකින් හෝ අවලංගු කිරීමට ප්‍රාග්ධනය දරා ඇති වෙහෙස අපමණ වුවත් සංවර්ධනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් නොතකා හැරීම සමාජයේ බරපතල බිද වැටීමක්.

2 thoughts on “සිංහල බෞද්ධ කරන්දෙනිය හා ප්‍රාග්ධනය ගමට ඒම.

  1. Pingback: සිංහල බෞද්ධ කරන්දෙනිය හා ප්‍රාග්ධනය ගමට ඒම. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. වාර්තාවක් විතරයි කියලයි හිතෙන්නේ.

    කෙසේ වෙතත්, ඔය කියපු එක නමක්වත් මං නං අහලා නෑ.

    Like

Leave a comment